ජෝෂප් විජෙයි තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස අද (10) දිවුරුම් දුන්නේ ය.
ඒ, තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් ඉදිරියේදී ය.
ඒ අනුව තමිල්නාඩුවේ නව මහ ඇමති විජයිගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් නව දෙනෙකුගෙන් සමන්විත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම මූලික කැබිනට් මණ්ඩලය මගින් දේශපාලන අත්දැකීම්, තරුණ නියෝජනය, තාක්ෂණික විශේෂඥයන් නියෝජනය කිරීමට විජයි උත්සාහ කර තිබේ.
එමෙන්ම පක්ෂයේ ආරම්භයේ සිට ඔහු සමග සිටි ඔහුගේ ප්‍රධාන කණ්ඩායමේ සාමාජිකයන්ට ද ඔහු ප්‍රමුඛත්වයක් ලබා දී තිබුණි.
චෙන්නායි හි නේරු ශ්‍රවණාගාරයේ පැවැත්වූ එම දිවුරුම් දීමේ උත්සවයට කොන්ග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධිද සහභාගි වී තිබුණි.
තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනය උඩුයටිකුරු කරයි
පසුගිය සඳුදා තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ අතර එහිදී තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනය උඩුයටිකුරු කරමින් දශක හයකට ආසන්න කාලයක් තිස්සේ පැවති DMK සහ AIADMK යන ද්‍රවිඩ පක්ෂ දෙකේ ඒකාධිකාරය බිඳ දැමීමත් විශේෂත්වයකි.
ආසන 234 කින් සමන්විත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 108 ක් ලබා ගැනීමට ජෝෂප් විජේගේ 'තමිලග වෙට්ට්‍රි කළගම්' (TVK) පක්ෂය සමත් වූ අතර, එය බහුතරය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා ආසන 10 ක් අඩුවීම කාගේත් අවධානයට ලක් විය.
ඒ අනුව මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගෙන් යුත් තමින්ලාඩු කොංග්‍රස් පක්ෂයේ (තමිල්නාඩු කොංග්‍රසය යනු, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ තමිල්නාඩු නියෝජනයයි) සහය ලබා ගැනීමෙන් පසු විජෙයි බදාදා ආණ්ඩුකාර රාජේන්ද්‍ර අර්ලේකර් හමුවී රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
කෙසේ වෙතත් එහිදී ඔහුට තවත් සහය අවශ්‍ය බවට උපදෙස් ලැබීමෙන් අනතුරුව DMK පක්ෂය සමඟ සන්ධානගතව තරඟ කළ CPI සහ CPI(M) පක්ෂ ද ඔහුට සහය දීමට එකඟතාවය පල කර තිබුණි.
ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු එකතු වුවද එයද බහුතරය පිහිටුවීමට ප්‍රමාණවත් නොවිය.
කෙසේ වෙතත් ඊයේ දිනයේ VCK පක්ෂය සිය මන්ත්‍රීවරුන් දෙදෙනාගේ කොන්දේසි විරහිත සහයෝගය ලබා දීමට එකඟ වීමත් සමග විජෙයිට අවශ්‍ය වූ සමස්ත මන්ත්‍රී ධූර 118 සම්පූර්ණ වී තිබේ.
එසේම DMK මිත්‍ර පක්ෂයක් වන ඉන්දීය යූනියන් මුස්ලිම් ලීගය ද සහය පළ කර තිබූ අතර ඒ අනුව විජයිගේ සන්ධානය මන්ත්‍රීවරුන් 120 ක සුරක්ෂිත බහුතරයක් ලබා ගැනීමට සමත් විය.







