ගෝලීය බලශක්ති අර්බුදය, දේශීය ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම අවධානයට ගෙන පියවර කිහිපයක් යටතේ වියදම් පාලනයට
කටයුතු කළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය, නරේන්ද්‍ර මෝදි අවධාරණය කරයි.
ඒ අනුව, ඉන්දියාව තුළ ඉන්දන සංචිත ආරක්ෂා කිරීමට, නිවසේ සිට රාජකාරි කිරීමට, සංචරණ සීමා පවත්වා ගැනීමට මෙන්ම, ආනයන පාලනයට පියවර ගැනේ.
ඒ යටතේ, කොවිඩ් - 19 වසංගත සමයේ මෙන්, නිවසේ සිට රාජකාරී ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට සහ මාර්ගගත ක්‍රමයට සාකච්ඡා හා සම්මන්ත්‍රණ පැවැත්වීමට නිර්දේශිත ය.
මේ පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍යවරයා, පවත්නා තත්ත්වය යටතේ විදෙස් සංචිත ආරක්ෂා කිරීමට උපරිම දායකත්වයක් ලබා දිය යුතු බව පැවසීය.
පෞද්ගලික ප්‍රවාහන පහසුකම් වෙනුවට හැකිතාක් පොදු ප්‍රවාහන සේවා සහ සමූහ ගමන් රථ පරිහරණය කරන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දියාව ලොව තෙවන විශාලතම ඉන්දන ආනයනකරු සහ පරිභෝජකයා ය.
කෙසේ වෙතත්, ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වුව, තවමත් ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි, මධ්‍යම රජය පවසයි. වත්මන් අර්බුදය හමුවේ, ලොව ඉන්දන මිල තව දුරටත් ස්ථාවරව පවත්වාගෙන යන රටවල් කිහිපය අතරට ඉන්දියාව ද ඇතුළත් ය.
- රත්‍රං මිලදී ගැනීම නවතන ලෙස ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් එරට ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඉන්දීය ජනයා ආවාහ - විවාහ උත්සව පිණිස රත්‍රං භාණ්ඩ මිලදී ගැනීමට අධික වියදම් දරති.
- විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම පිණිස අවම වශයෙන් වසරක කාලයක් තෙක් අත්‍යවශ්‍ය නොවන විදෙස් සංචාර වෙතින් බැහැරව සිටින ලෙස අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් ඉල්ලීය.
- සෞඛ්‍ය සහ දේශානුරාගය පිලිබඳ අවධානයට ගෙන, පිසින තෙල් භාවිතය අඩු කරන ලෙස ඔහු එරට පවුල් සාමාජිකයන් වෙත උපදෙස් නිකුත් කළේය.
- පොහොර භාවිතය හරි අඩකින් අඩු කරන මෙන් ඔහු ගොවීන්ගෙන් ද විශේෂ ඉල්ලීමක් සිදු කළේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය
Modi urges limits on fuel use, travel and imports to save forex







