ලොව විශාලතම ආර්ථික බලවතුන් වන චීනය සහ එක්සත් ජනපදයේ සාමූහිකත්වය ගෝලීය ආර්ථික ප්‍රවර්ධනයට ඉමහත් රුකුලක් බව ව්‍යාපාරික ප්‍රජාව උපුටා දක්වන 'චයිනා ඩේලි' (www.chinadaily.com.cn ) වෙබ් අඩවිය පවසයි.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ නිල සංචාරයක නිරත වෙයි. බෙයිජිඞ් නුවර දී ඔහු චීන ජනපති ෂී ජින්පිංග් හමුවන්නේය. ඉරාන ගැටලුව ඔවුන්ගේ සාකච්ඡා හි ප්‍රධාන මාතෘකාවකි.
වසර නවයකට පසු එක්සත් ජනපද නායකයකු චීනයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වේ. ඔහුගේ දෙවන චීන සංචාරය ද එය ය. මීට පෙර සිය ප්‍රථම ධුර කාලයේ, 2017 වසරේ ජනපති ට්‍රම්ප් චීනයේ නිල සංචාරයක නිරත විය.
මේ අතර, තායිවානයට නිදහස ලබා නොදෙන බවට චීනයේ දැඩි ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි එරට තායිවානය පිලිබඳ කාර්යාලය අද නිවේදනය කළේය.
චීනය විසින් හිමිකම් කියන තායිවානය, ප්‍රජාතාන්ත්‍රික පාලනයක් යටතට පත් කිරීම පිලිබඳ අර්බුදය දෙදින චීන - එක්සත් ජනපද නායක හමුවේ න්‍යාය පත්‍රයේ තවත් සුවිශේෂී අංගයකි.

තායිවානය ස්වෛරී දිවයිනක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ආලෝකය බවත්, චීනයට එහි කිසිදු හිමිකමක් නොවන අතර එල්ලවන පීඩනය හමුවේ කිසිදා දණ නොනමන බවත් චීනයේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන තායිවාන ජනපති ලායි චිඞ්-තේ (Lai Ching-te) අවධාරණය කර සිටී. ඊයේ (12) කොපන්හේගන් සමුළුව ඉදිරියේ ඔහු මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත්, බෙයිජිඞ් නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ, චීනයේ පිහිටි තායිවාන කාර්යාල ප්‍රකාශක, ජැඞ් හාන් (Zhang Han), තායිවානය යනු චීනයේම කොටසක් බවත්, කිසිදා එය ස්වාධීන රාජ්‍යයක් සේ නොපැවති සහ ඉදිරියේ ද එසේ නොපවතින බවත් පැවසීය.
" ලායි චිඞ්-තේ ට එම බොරුව පුන පුනා කිව හැකියි; තව දහස් වාරයක් වුව ජප කළ හැකියි. හැබැයි, ඒ බොරුව, බොරුවක්ම මිස කිසි දා මිහිපිට යතාර්ථයක් නොවන්නක්," ඔහු කීය.
තායිවානයේ නිදහසට එරෙහි වීමේ තීරණය ශිලාවක් සේ ස්ථාවර බවත්, සිය ස්වෛරී භාවය ඉල්ලා තායිවානය සිදු කරන ඕනෑම ප්‍රයත්නයක් 'කුඩු පට්ටම්' කිරීමට චීනය සතු ශක්‍යතාව බිඳ හෙලිය නොහැකි බවත්, ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, තායිවානය, චීන පාලනය යටතේ එක්සත් කිරීම මෙතෙක් ගැටුමින් තොර සාමකාමී මාවතක පවතින්නකි.
එක්සත් ජනපදය යනු තායිවානය සතු ප්‍රබලතම ජාත්‍යන්තර පිටු බලය සහ අවි සැපයුම්කරු වේ. පසු ගිය දෙසැම්බරයේ එක්සත් ජනපදය, තායිවානය වෙත එතෙක් මෙතෙක් සිදු කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11ක විශාලතම අවි ගනුදෙනුව නිවේදනය කළේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Ahead of Trump-Xi summit, China warns on US arms sales to Taiwan







