ඊයේ රාත්‍රියේ ඉරානයේ භූ චලන කිහිපයක් සිදුව ඇතැයි මෙහ්ර් (Mehr) ප්‍රවෘත්ති ඒජන්සිය අද (13) වාර්තා කළේය.
ටෙහ්රාන් අගනුවරට පෙරදිගින් පිහිටි පාර්ඩිස් ප්‍රදේශය වෙතින් සුළු භූ කම්පන නවයක් වාර්තා වන බව එහි සඳහන් ය. එය, නුදුරේදී ඉරාන අගනුවර අවට සිදු විය හැකි ප්‍රබල භූ කම්පන ව්‍යසනයක් පිලිබඳ අනතුරු ඇඟවීමක් බව ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන භූ විශේෂඥයෝ පෙන්වා දෙති. ප්‍රදේශවාසීහු ඒ පිලිබඳ බිය පළ කරති.
අගනුවර වටා සහ එහි පෘථිවි අභ්‍යන්තරයේ සමුච්චිත භූපටල චලන පීඩන හේතුවෙන් අනාගතයේ, වඩා ප්‍රබල භූ කම්පන සිදු වීමට වැඩි ඉඩක් ඇතැයි විශේෂඥයෝ සඳහන් කරති.
එම ප්‍රදේශය නිරන්තර සුළු භූ චලන වාර්තා වන කලාපයකි. එහෙත්, ඊයේ එක පෙළට සිදු වූ කම්පන මාලාව දුලබ සිදුවීමකැයි ඔවුහු පවසති.
පෙරදිග ටෙහ්රාන් පළාත වෙතින් ඊයේ රාත්‍රී එක පෙලට වාර්තා වූ එම භූ චලන මාලාව ඉරානයේ අතිශය ක්‍රියාකාරී භූකම්පන කලාපයක් සේ ගැනෙන මෝෂා භූ කම්පන භ්‍රංශ රේඛාව ආසන්නය තෙක් දැනුණු බව ද සඳහන් ය. ඉන් එක් භූ කම්පනයක් රිච්ටර් මාපක 4.6ක් තරම් අගයක වූ බව ද වාර්තා වේ.
කෙසේ වෙතත්, එම සුළු භූ චලන හේතුවෙන් කිසිදු පුද්ගල හෝ දේපළ හානියක් සිදු ව නැත.

එම චලන, ඉදිරි අනතුරක් බොහෝ සෙයින් පහ වීමට හේතු විය හැකි පෘථිවි අභ්‍යන්තරයේ ඒකරාශී වූ ශක්තිය මුදා හැරීමක් ද, නොඑසේව, ටෙහ්රාන් භ්‍රංශ රේඛාව ආසන්නයේ, ඉදිරියේ සිදු විය හැකි ප්‍රබල භූ කම්පනයක් පිලිබඳ අනතුරු ඇඟවීමක් දැයි මෙතෙක් අනාවරණයව නැත.
ටෙහ්රානය ආසන්නයේ ක්‍රියාකාරී භ්‍රංශ පද්ධතිය පමණක් නොව, සීග්‍ර නාගරික සංවර්ධනය සහ අධික ජන ඝනත්වය ද දින දින උත්සන්න වන භූ කම්පන අවදානමට හේතුවකි. ඊට මුහුණ දීම පිණිස එහි ජනගහනය පෙර සූදානමේ තැබීමේ වැඩපිළිවෙළක් ද නොවන තරම් ය. ශක්තිමත් නොවන බොහෝ යටිතල ඉදිකිරීම් හේතුවෙන් ඉතා සුළු භූ චලනයක දී වුව, සිදු විය හැකි ව්‍යසනය බරපතල බව විශේෂඥ මතය ය. ඒ හේතුවෙන් එවන් අවස්ථාවකදී හදිසි සහන ප්‍රතිචාර ක්‍රියාත්මක කිරීම ද බාධාවට ලක් වේ.
ටෙහ්රානයේ, අතිශය ක්‍රියාකාරී උතුරු ටෙහ්රාන්, මෝෂා සහ රේ භ්‍රංශ රේඛා ආසන්නයේ මිලියන 14ක ට අධික ජනගහනයක් වාසය කරති. ඉදිරියේ, ඒ ආසන්නයේ භූ කම්පනයක් සිදුවුවහොත් උද්ගත විය හැකි හානිය අතිශය බරපතල බව භූ විශේෂඥයින් විසින් පුන පුනා පෙන්වා දී තිබේ.
ඉරානය ද ලොව අතිශය ප්‍රබල භූ කම්පන සිදුවන රටවල් අතරට ඇතුළත් ය. 2003 වසරේ දෙසැම්බර 26 දා, දකුණු ඉරානයේ බැම් නාගරික කලාපයේ සිදු වූ දරුණු භූ කම්පනයෙන් පුද්ගලයින් 30,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් විය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Series of tremors near Tehran renew concerns over major quake risk







