එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) පස්වරුවේ චීනයේ බෙයිජිඞ් නුවරට 'සැපත්' විය. එරට ජනපතිවරයකු දශකයකට පමණ පසු චීනයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.
ට්‍රම්ප් රතු පලසෙන් වැටුණා ද?
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් - මාර්කෝ රුබියෝ, යුද ලේකම් - පීට් හෙග්සෙත්, එරට තාක්ෂණ ව්‍යාපාරික දැවැන්තයින් වන ඇපල් සමාගමේ ටිම් කුක් සහ ටෙස්ලා හි එලොන් මස්ක් වැන්නන් ද ට්‍රම්ප් ගේ දූත පිරිසට අයත් වූහ.

බෙයිජිඞ් ගුවන් තොටුපොළේ දී එක්සත් ජනපද ජනපති ඇතුළු පිරිස, හමුදා ආචාර සහ චීන සිසු-සිසුවියන්ගේ සුබ පැතුම් මැද රතු පලස් මතින් ඉමහත් හරසරින් පිළිගැනිණි.
එහෙත්, ඔහු පිළිගැනීමට චීන ජනපති, ෂී ජින්පිංග් ගුවන් තොටුපොළ වෙත නොපැමිණීම, එක්සත් ජනපද ජනපතිවරයාට සිදු කළ අපහාසයකැයි ජාත්‍යන්තර දේශපාන විචාරකයෝ පවසති.
"ඒක මහා අපහාසයක්. ට්‍රම්ප් ට නිකම්ම නිකන් නිකමෙක් විදිහට චීනෙට ගොඩ බහින්න සිද්ධ වුණා," දේශපාලන විචාරක බ්‍රයන් ඇලන් එක්ස් (X) පණිවුඩයකින් කියා සිටියේය.
ජනපති ට්‍රම්ප් පිළිගැනීමට ගුවන් තොටුපොළට පැමිණ තිබුණේ, චීනයේ එක්සත් ජනපද තානාපති, චීන උප ජනාධිපති සහ විදේශ අමාත්‍යංශ නිලධාරීන් දෙදෙනකු පමණි.
ධවල මන්දිරය, එය රතු පලස් පිළිගැනීමක් ලෙස හැඳින්වුවද, ඇත්ත වශයෙන්ම, චීනය විසින් එක්සත් ජනපදය වෙත දක්වා ඇත්තේ 'තුන්වන ලෝකයේ' රටකට දක්වන සැලකීමක් පමණක් බව, ඇලන් කියා සිටියේය.

ඔහුගේ එම ප්‍රකාශයට බොහෝ දෙනක් ප්‍රතිචාර දක්වා සිටියහ. මීට පෙර චීන ජනපති, එරටට පැමිණි විදෙස් නායකයින් පිළිගත් අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද ඊට ඇතුළත් විය. 2018 වසරේ චීනයේ සංචාරයට පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් පිළිගැනීමට ජනපති, ෂී ජින්පිංග් ගුවන් තොටුපොළටම පැමිණියේය.
2017 වසරේ නොවැම්බර මස ජනපති ට්‍රම්ප්, මෙලනියා ට්‍රම්ප් සමග ප්‍රථම වරට චීනයේ නිල සංචාරයේ යෙදුණු අවස්ථාවේ ද බෙයිජිඞ් ගුවන්තොටට පැමිණ සිටියේ චීන රාජ්‍ය උපදේශක, යැන්ග් ජියිචි ය. අනතුරුව, චීන ජනපති විසින් ඔහුව පිළිගැනුණේ බෙයිජිඞ් අධිරාජ මාළිගා සංකීර්ණයේ කෞතුකාගාරයේදී ය. එම වසරේම අප්‍රේල් මස, චීන ජනපති, ෂී ජින්පිංග් එක්සත් ජනපද නිල සංචාරයට එක් වූ අවස්ථාවේ, ජනපති ට්‍රම්ප් විසින් ඔහුව පිලිගැනුනේ ද ගුවන් තොටුපොළේ දී නොව, ෆ්ලොරිඩා පාම් වෙරළේ පිහිටි මාරෙලාගෝ ඓතිහාසික නිකේතනයේදීය.
ට්‍රම්ප්ගේ ඉල්ලීම

"ලොව අති විශිෂ්ට නායකයකු වන ෂී ගෙන් මම මුලින්ම එක දෙයක් ඉල්ලා සිටින්න කැමතියි. චීනය විවෘත කරන්න. එවිට මේ අති දක්ෂ ජනතාවට සිය අපූර්වත්වය මීට වඩා ක්‍රියාවට නංවන්න හැකි වේවි, මහජන සමූහාණ්ඩුව තවත් ඉහළට ඔසවා තබන්න හැකි වේවි," ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක එසේ සඳහන් කළේය.
බෙයිජිඞ් නුවර පැවැත්වෙන දෙරට රාජ්‍ය නායක සමුළුවට තායිවානය, වෙළඳ ගනුදෙනු සහ ඉරානය පිලිබඳ සාකච්ඡා ද ඇතුළත් ය.
සරු අස්වනු

නායක දෙපළ චීනයේ 'දිව්‍ය ආරාමය' (Temple of Heaven) නැරඹීමට ද ගියහ. එය දැකීමෙන් අමන්දානන්දයට පත් ජනපති ට්‍රම්ප්, චීනය ලස්සන රටකැයි මාධ්‍යයට පැවසීය. බෙයිජිඞ් අධිරාජ මාළිගා සංකීර්ණය හෙවත් 'තහනම් නගරයට' කි.මී. 7ක් පමණ දකුණින් පිහිටි එම ආරාමය, 1420 දී පමණ මිඞ් අධිරාජයාගේ සමයේ ඉදි කරන ලද්දකි. පැරණි සයිප්‍රස් සහ පයින් වෘක්ෂයන්ගෙන් වට වූ එය වත්මන, ජනප්‍රිය සංචාරක ආකර්ෂණයකි. බෙයිජිඞ් වැසියෝ එහි තායි චී සටන් කලාව ප්‍රගුණ කරති, චෙස් ක්‍රීඩාවේ සහ නර්තනයේ යෙදෙති.
කෘෂි වගාවේ සරු අස්වනු පතා, ඉතිහාසයේ චීන අධිරාජයෝ එම ආරාමයේ යාඥා කළහ.
කෘෂි ගනුදෙනු පිලිබඳ කතා බහ ට්‍රම්ප්ගේ මෙවර චීන සංචාරයේ ද ඉහළින් ම පවතින මාතෘකාවකි. එක්සත් ජනපද ගොවීහු චීනයෙන් සෝයා බෝංචි සහ එම බීජ, වෙනත් බෝග සහ මස් වර්ග විශාල ලෙස මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙති.
චීනය විවෘත කිරීමේ වැඩපිළිවෙළට එක්සත් ජනපද සමාගම් විශාල කාර්ය භාරයක් සිදු කරමින් ඇතැයි ජනපති ෂී කියා සිටියේය. දෙපාර්ශ්වයට ම විපුල ඵල සහිත එම වැඩපිළිවෙළ ඔහුගේ වෙසෙස් ඇගයීමට ලක් විය.
"එක්සත් ජනපදය හා පවතින අන්‍යොන්‍ය සහයෝගිතාව චීනය සාදරයෙන් පිළිගන්නවා, චීනය තුළ එක්සත් ජනපද සමාගම් වෙත පෘථුල ඉඩ ප්‍රස්තා බිහි කිරීම අපේ අපේක්ෂාවයි," හෙතෙම පැවසීය.
දෙපැයකට අධික කාලයක් පැවති දෙරට නායකයින්ගේ සාකච්ඡා වලින් අනතුරුව ජනපති ෂී, ජනපති ට්‍රම්ප් කැටුව ආ එක්සත් ජනපද සමාගම් ප්‍රධානීන් හමු විය.
චීන ජනපති අනතුරු අඟවයි
මේ අතර, ට්‍රම්ප් සහ ෂී ජනපති හමුව පිලිබඳ තායිවානයෙන් කළ විමසීමකදී තායිවානය වෙත එක්සත් ජනපද සහාය යළි යළිත් තහවුරු කර ඇති බවත්, ඒ පිලිබඳව, එක්සත් ජනපදය වෙත රජයේ අති මහත් කෘතඥතාව පල කරන බවත්, තායිවාන රාජ්‍ය කැබිනට් ප්‍රකාශිකා මිෂෙල් ලී පැවසීය.

තායිවානය දිවයිනකි. එය ස්වෛරී රාජ්‍යයක් ලෙස සැලකෙතත්, ඇතැම් රටවල් මෙතෙක් එය නිල වශයෙන් පිළිගෙන නැත. එහි වැසියෝ ඡන්දයෙන් සිය නායකයින් තෝරා පත් කර ගනිති. සීමා නිර්නයෙන් ප්‍රකාශිත ස්වරී කලාපය ස්වාධීන රාජ්‍ය පාලනයට නතු ය. තායිවානය සතුව එරටට අයත් යුධ හමුදාවක්, විදෙස් ගමන් බලපත්‍රයක් සහ මුදල් ඒකකයක් ද පවතී.
එහෙත්, චීන රජය එය තමන් සතු බිමකැයි පවසයි. එය සන්නද්ධ බලය යොදා නතු කර ගැනීමේ සූදානමක පසු නොවන බව ද කියා සිටී.
'චීන සමූහාණ්ඩුව' යනු තායිවානය හැඳින්වෙන විධිමත් නාමය වේ. දශක ගණනක් තිස්සේ, චීන රජයේ නිල අයිතිය තමන් සතු බව තායිපේ කියා සිටියේය. එහෙත්, 1971 එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී එම ආසනය බෙයිජිඞ් වෙත හිමි විය.
වත්මන, තායිපේ හා ද්වීපාර්ශ්වික සබඳා පවත්වන්නේ රටවල් 12ක් පමණි. ඉන් බහුතරය ද බෙලිසෙ සහ තුවාලු වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා රාජ්‍යයන් ය. කෙසේ වෙතත්, ප්‍රධාන පෙළ බටහිර රවල් සහ එක්සත් ජනපද සන්ධානයේ පසුවෙන ආර්ථිකයන් රැසක් තායිවානය සමග නොනිල සබඳතාවේ පසු වෙති. චීන සමූහාණ්ඩුවේ විදෙස් ගමන් බලපත්‍රය එම රටවල දී පිළිගැනෙන අතර තායිවාන අගනුවර සහ එම රටවල් අතර තානාපති සබඳතා ද පැවැත්වේ.
චීනය සහ එක්සත් ජනපදය අතර ද්වීපාර්ශ්වික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හි තීරණාත්මක සාධකය තායිවානය බව චීන ජනපති ෂී ජින්පිංග්, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ සෘජුවම කීය.
"එය හොඳින් හසුරුවන්නේ නම්, අප දෙරට අතර සබඳතා සාමාන්‍ය ස්ථාවර තලයේ පවතීවි. එසේ නොවුණහොත්, අප දෙරට මුහුණට මුහුණ ගැටෙවී. එවිට, සමස්ත චීන - එක්සත් ජනපද සබඳතා අතිශය භයානක තැනකට ඇද වැටෙන ගැටුම් ඇතිවේවි. එබැවින්, තායිවානයේ නිදහස සහ තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය පවත්වා ගැනීම යන දෙක අසංගතයි," ෂී අනතුරු ඇඟවීය.
ජනපති ට්‍රම්ප්ගේ සංචාරයට එක් වූ එක්සත් ජනපද සමාගම් දැවැන්තයෝ චීන ගමන ගැන සතුටින් පසු වෙති. එම සංචාරයෙන් සිය සමාගම් වෙත, චීනයේ ව්‍යාපාරික අවස්ථා රැසක් උදා වන බව ඔවුන්ගේ අපේක්ෂාවය.
ඉදිරි තෙවසර තුළ සහ ඔබ්බෙහි ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය පිණිස ඵලදායී, උපායමාර්ගික සහ ස්ථාවර සබඳතා ප්‍රවර්ධනයට නායක දෙපළ ගිවිස ගත් බව ජනපති ෂී පැවසීය.
අද, චීන වේලාවෙන් ප.ව. 6 ට ජනපති ට්‍රම්ප් ජනපති ෂී ඇරයුමින් රාජ්‍ය භෝජන සංග්‍රහයකට සහභාගී වන්නේය.
(සටහන | EXPRESS සහ Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Trump-Xi summit live: Talks in Beijing include Taiwan, trade and Iran







