සහායක පක්ෂ හා විපක්ෂයෙන් එම පත්කිරීමට දැඩි විරෝධයක්
පසුගියදා තමිල්නාඩුවේ මහ ඇමැතිවරයා ලෙස පත් වූ ජෝසප් විජේ තම උපදේශකයකු ලෙස පත් කළ ජ්‍යොතීර්වේදී රිකී රාධන් පණ්ඩිත් වෙට්‍රිවේල්ගේ පත්වීම අවලංගු කර තිබේ.
දේශපාලනයට ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ගෙන ඒම සම්බන්ධයෙන් විජේගේ දේශපාලන සගයන් සහ විරුද්ධ පක්ෂවලින් එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේ රජය පැය 24ක් ඇතුළත පත්කිරීම ඉල්ලා අස්කර ගෙන තිබේ.
ඒ අනුව රිකී රාධන් පණ්ඩිත් වෙට්‍රිවේල්ගේ පත්වීම බලපැවැත්වුණේ එක් දිනකට පමණි.
විජේගේ දේශපාලන ගමන පිටුපස මඟ පෙන්වන බලවේගය වූයේ වෙට්‍රිවේල් වන අතර විජේගේ දේශපාලන පක්ෂයේ නම සහ ආරම්භ කිරීමේ වේලාව මෙන්ම දිවුරුම් දීමේ උත්සවයේ වේලාව නියම කර ඇත්තේ ද වෙට්‍රිවේල්ය.
මැතිවරණයට පෙර පණ්ඩිත් වෙට්‍රිවේල් විජේට “සුනාමියක් වැනි ජයග්‍රහණයක්” අත්වන බව ප්‍රකාශ කර තිබූ අතර විජේගේ තමිල්නාඩු වෙට්‍රි කසාගම් පක්ෂය තමිල්නාඩුවේ ආසන 234න් ආසන 108 දිනාගැනීමට සමත් විය.
විජේ තම උපදේශකයකු ලෙස පණ්ඩිත් වෙට්‍රිවේල් පත් කළේ ඔහු විජේගේ විශ්වාසදායකයකු වීම හේතුවෙනි.
වෙට්‍රිවේල් තමිල්නාඩු ජ්‍යෝතිර්වේදියකු ලෙස සේවය කරන අතර ඔහුට වෛදික ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය, භාවනා පදනම් කරගත් මග පෙන්වීම සහ සංඛ්‍යා ශාස්ත්‍රය පිළිබඳ දශක හතරකට වැඩි පළපුරුද්දක් ඇත. හිටපු මහ ඇමතිනි ජයලලිතා ජෙයරාම් ඇතුළු ඉහළ පෙළේ සේවාදායකයින් පිරිසක් ඔහුට විය. රිසර්ව් බැංකු නියෝජ්‍ය අධිපති ජගතීෂ් කපූර්, GIC සභාපති සෙන්ගුප්තා, IDBI සභාපති චක්‍රවර්ති, මුම්බායි මහාධිකරණ විනිසුරු ගිරිෂ් ගෝඛලේ, නිළියක වන මනීෂා කොයිරාල, තේ මණ්ඩල සභාපති ෂෝම් ශේඛර් සහ හිටපු ජම්මු සහ කාශ්මීර මහ ඇමති ඕමාර් අබ්දුල්ලාගේ බිරිඳ වන පායල් අබ්දුල්ලා ඇතුළු ප්‍රමුඛ පුද්ගලයින් කිහිප දෙනෙකුට ඔහු තම සේවය සපයා තිබේ.
උපදේශකයකු ලෙස ජ්‍යෙෂ්ඨ නායක එල්.කේ. අද්වානි සමඟ ද කටයුතු කර ඇති ඔහු ඉන්දියාව, ඩුබායි සහ ශ්‍රී ලංකාව වැනි රටවලද සංචාරය කර තිබේ.
ඉන්දියානු දේශපාලනඥයන් ජ්‍යෝතිර්වේදීන් කෙරෙහි දැඩි විශ්වාසයකින් පසුවීම සාමාන්‍ය දෙයකි.. කෙසේ වෙතත්, දේශපාලනයේ දී විජේට “සුනාමියක් වැනි ශක්තියක්” ලැබෙනු ඇතැයි වෙට්‍රිවේල් පළ කළ අනාවැකිය, DMK-AIADMK යන පක්ෂ දෙකේ බලය බිඳ දැමීමට TVK පක්ෂයට යම් ශක්තියක් ඇති කළේය.
(lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)







