ඉරානය සමඟ පවතින ගැටලුව සම්බන්ධයෙන් ස්ථාවර එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, එරටට එරෙහිව නැවත වරක් මිලිටරි ප්‍රහාර දියත් කිරීමට එක්සත් ජනපදය "ඕනෑවටත් වඩා සූදානම්" බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටී.
සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුව වන 'ෂැංග්‍රි-ලා සංවාදය' (Shangri-La Dialogue) අමතමින් පෙන්ටගන ප්‍රධානියා මේ බව අවධාරණය කළේය.
මැදපෙරදිග කලාපයේ දරුණු ආර්ථික සහ දේශපාලනික බලපෑම් ඇති කළ මෙම ගැටුම නිමා කිරීම සඳහා වොෂින්ටන සහ ටෙහ්රාන නියෝජිතයින් නවතම සාම යෝජනාවලියක් සකස් කිරීමට වෙහෙසෙමින් සිටින පසුබිමක, පෙන්ටගන ප්‍රධානියාගෙන් මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.
"අප සතුව අවශ්‍ය තරම් ආයුධ ගබඩා තිබෙනවා"
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙග්සෙත් කියා සිටියේ, "අවශ්‍ය වුවහොත් ප්‍රහාරක ක්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීමට අප සතු හැකියාව උපරිමයි. ඒ සඳහා අවශ්‍ය විශිෂ්ටතම සහ අධික ප්‍රමාණයේ යුධෝපකරණ තොග (Stockpiles) අප සතුව පවතිනවා" යනුවෙනි.
එමෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින ඉරාන අර්බුදය හමුවේ වුවද එක්සත් ජනපදය ආසියා-පැසිෆික් කලාපීය ආරක්ෂාව පිළිබඳව දක්වන අවධානය කිසිසේත් අඩු කර නොමැති බව ඔහු පැවසීය. චීනයේ දිනෙන් දින ඉහළ යන මිලිටරි බලය කෙරෙහි කලාපීය රටවල් දැඩි අවධානයකින් පසුවිය යුතු බව පෙන්වා දුන් හෙග්සෙත්, ඇමරිකාවට එකවර පෙරමුණු දෙකක රාජ්‍යතාන්ත්‍රික සහ මිලිටරි මෙහෙයුම් හැසිරවීමේ පූර්ණ ශක්තිය පවතින බව ප්‍රකාශ කළේය.
"ඉදිරි කෙටි කාලය තුළ අපගේ වෙඩි බලය (Firepower) දෙගුණ, තෙගුණ හෝ සිව් ගුණයකින් ප්‍රවර්ධනය වන අයුරු ලෝකයට දැකගත හැකි වේවි. ලොව පුරා අපගේ සියලු ආරක්ෂක ක්‍රියාන්විත සඳහා නියමිත අරමුදල් නොඅඩුව සම්පාදනය කර තිබෙනවා" යැයි ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ට්‍රම්ප්ගේ රතු ඉරි (Red Lines)
පෙන්ටගන ප්‍රධානියා පෙන්වා දෙන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ඉතා ඉවසිලිවන්තව කටයුතු කරමින් සාමකාමී එකඟතාවක් අපේක්ෂා කරන බවයි. එහෙත්, ඕනෑම සාම ගිවිසුමකදී ඇමරිකාවේ ප්‍රධාන කොන්දේසියක් වන "ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉඩ නොතැබීම" යන 'රතු ඉර' (Red Line) වෙනස් නොවන බව ද ඔහු පැවසීය.
මේ අතර, ඉරාන ගැටලුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ විශේෂ ආරක්ෂිත කුටියක (Situation Room) ජ්‍යෙෂ්ඨ උපදේශකයින් සමඟ පැය දෙකකට අධික කාලයක් විශේෂ සාකච්ඡාවක නිරත වූ බව ධවල මන්දිර ආරංචි මාර්ග තහවුරු කරයි.
පසුගිය අප්‍රේල් මාසයේදී දෙපාර්ශවය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ කිරීමට නියමිතව ඇති අතර, එම කාලය තුළ තිරසාර සාම ගිවිසුමකට එළඹීම වොෂින්ටනයේ අපේක්ෂාව වී තිබේ. කෙසේ වෙතත්, පාකිස්ථානයේ මැදිහත් වීමෙන් සිදුවන මෙම සාම සාකච්ඡා මධ්‍යයේ වුවද, පසුගියදා ඉරානයේ බන්දාර් අබ්බාස් (Bandar Abbas) වරාය ඉලක්ක කර ගනිමින් ඇමරිකාව එල්ල කළ ප්‍රහාර සහ ඊට ඉරානය දැක්වූ ප්‍රතිප්‍රහාර හේතුවෙන් කලාපීය නොසන්සුන්භාවය තවමත් ඉහළ මට්ටමක පවතී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Pentagon chief says U.S. ready to restart strikes on Iran if no deal







