ඉරාන විප්ලවීය හමුදා, ඊශ්‍රායලය වෙත නවතම මිසයිල ප්‍රහාරයක් දියත් කළහ.
සැල්වෝ මිසයිල යොදා ගනිමින් ඊශ්‍රායල ඉලක්ක වෙත එම ප්‍රහාර සිදු කර තිබේ. දකුණු ලෙබනනයේ සිදු කළ ඊශ්‍රායල ප්‍රහාර වෙත ප්‍රති-ප්‍රහාර ලෙස, එම ප්‍රහාර සිදු කළ බව, ඉරානය කියයි.
යළි, 'ප්‍රති ප්‍රහාර' එල්ල නොකරන ලෙස ද, ඔවුහු ඊශ්‍රායලය වෙත අනතුරු ඇඟවූහ. ඉරාන ප්‍රහාර එල්ල කෙරුණේ ඊශ්‍රායලයේ නසරත් ආසන්නයේ පිහිටි රාමාත් ඩේවිඩ් ගුවන් කඳවුර වෙතය. එම මිසයිල ප්‍රහාර සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ව්‍යර්ථ කෙරුණු බව, ඊශ්‍රායලය කීය.

ඊයේ (7), ජනපති ට්‍රම්ප්, නිව් ජර්සි හි පිහිටි සිය බෙඩ්මින්ස්ටර් ගොල්ෆ් නිකේතනයේ සුවෙන් පසු විය. ඔහු, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු සමග පැය භාගයක් පමණ දුරකතනයෙන් කතා කළේය.
ඉරානය හා ගිවිසුම් ගතවීමට ඉතා ආසන්න බැවින්, තව දුරටත් පහර නොදෙන්නැයි, ජනපති ට්‍රම්ප් එහිදී, අග්‍රාමාත්‍ය, නෙතන්යාහු දැනුම්වත් කළේය.
සියල්ල පසෙක තබා අද (8) අළුයම, ඊශ්‍රායල හමුදා බටහිර සහ මධ්‍යම ඉරානයේ සන්නද්ධ ඉලක්ක වෙත යළි ප්‍රහාර එල්ල කළහ.

දෙපස ප්‍රහාර එක්සත් ජනපද - ඉරාන ගිවිසුමකට බාධාවක් නොවේ යැයි, ජනපති ට්‍රම්ප් කීය. "අපි එයාට එපා, එපා කියනවා.. ඒත්, එයා ගහනවා," නෙතන්යාහු ගේ මුරණ්ඩුකම ගැන ට්‍රම්ප් එසේ පැවසීය.
නව ප්‍රහාර හමුවේ අද, ගෝලීය ඉන්දන මිල 2%කින් සහ ඔබ්බෙහි ඉහළ ගියේය. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක ඉදිරිය, ඇමෙරිකානු ඩොලර් 95 සීමාව ඉක්මවා ඇති අතර එය තව දුරටත් ඉහළ යනු ඇතැයි, අපේක්ෂා කෙරේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/08/2026
(
මුලාශ්‍ර :
Israel hits Iran with new strikes despite Trump admonition
Israeli military says it struck targets in western and central Iran







