"ඉරාන හමුදාව දැන් අවුල් ජාලයකි. ඔවුන්ගේ නාවුක සහ ගුවන් හමුදාවල වැඩි හරිය දැන් අහවරය. ඇහැ වෙලාම ගොස් ය - ඔවුන් මුළුමනින්ම පරාජයට පත්ව ඇත. දැන්, ඉරානයේ කියුම් පමණි, කෙරුම් කිසිත් නැත. මැද පෙරදිග හිංසකයා ඉවර ය.
ගිවිසුමකට එන්නට ඔවුන් කල් ගත්තා වැඩිය. දැන්, ඔවුන්ට කණගාටු වනවා මිස, කරන්නට වෙනත් දෙයක් ද නැත. මේ කරපු දේට ඔවුන්ට වන්දි ගෙවන්නට වෙනවාමය!!! ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්," එක්සත් ජනපද ජනපතිවරයාගේ ටෘත් ගිණුමේ නවතම සඳහන එය වේ.
ෆොක්ස් නිව්ස් වාර්තාකරුවකු හා දුරකතනයෙන් කතා කළ ජනපති ට්‍රම්ප්, ඔහු ඉරාන බලාගාර සහ පාලම් විනාශ කිරීම පිණිස නව ප්‍රහාර නියෝග නිකුත් කිරීමට ඉතා ආසන්න බව කියා ඇතැයි, රොයිටර්ස් පුවත් සඳහන් කරයි. එහෙත්, තවමත් එම පටිගත සංවාද හෝ උපුටා දැක්වීම් එහි පළ නොවේ.
ටෘත් ගිණුමේ, ට්‍රම්ප් සිය නවතම අදහස් දැක්වීමෙන් පසු, ගෝලීය ඉන්දන මිල යළි ඉහළ ගියේය. ඊට පෙර, අද උදෑසන, යුරෝපීය වෙළඳපොළ පැවති පසු ගිය මිල නිමාවට ආසන්න උච්චාවචනයන්හි දෝලනය වූ එම මිල, මේ වන විට සීග්‍ර වැඩි වීමක පවතී.
බ්‍රෙන්ට් ඉදිරිය ඇමෙරිකානු ඩොලර් 1.74කින්, එනම්,1.9% කින් ඉහළ ගියේය. ඒ අනුව, ග්‍රිනිච් වේලාවෙන් 1127ට එම බොරතෙල් බැරලයක නව මිල, ඇමෙරිකානු ඩොලර් 93.19ක් විය. වෙස්ට් ටෙක්සාස් අතරමැදි බොර තෙල් ඉදිරිය ද ඇමෙරිකානු ඩොලර් 1.91ක්, එනම්, 2.17%කින් ඉහළ ගියේය. එම බැරලයක නව මිල, ඇමෙරිකානු ඩොලර් 90.11ක් ලෙස සටහන් විය.
මීට ටික වෙලාවකට පෙර, ඕමාන වෙරළ තීරයට ඔබ්බෙහි යාත්‍රා කරමින් පැවති ඉන්දන නෞකාවකට එක්සත් ජනපද මිසයිල ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු අතුරුදන්ව, තවත් සාමාජිකයකු තුවාළ ලබා ඇතැයි, වාර්තා වේ. එය, පලාවු රාජ්‍යයේ ධජය යටතේ, රසායන හෝ ඉන්දන නිෂ්පාදන රැගෙන, ඕමානයේ සොහාර් වරායට නාවුක සැතපුම් 20ක් ඊශාන දෙසින්, යාත්‍රා කරමින් සිටි සෙටෙබෙලෝ නම් නෞකාවකි. එම ප්‍රහාරය, අප්‍රේල් 13 දා සිට එක්සත් ජනපදය විසන් ක්‍රියාත්මක, ඉරාන වරාය තහනම නොතකා යාත්‍රා කිරීමට එරෙහිව එල්ල කරන ලද්දකි.
මේ අතර එක්සත් ජනපදය විසින් ඉරාන අභ්‍යන්තරයේ අපේක්ෂා කළ මහජන කැළඹීම ද කඩා කප්පල් වන සෙයකි. "මම ඉරානය සහ එක්සත් ජනපදය අතර සබඳා ඇතිවනවාට ඉතා කැමැත්තෙන් පසුවනවා. එහෙත්, ඒ ඉරාන අපේක්ෂා මැඩ පැවැත්වෙන, බලහත්කාරී ස්වරූපයකින් නොවේ," ටෙහ්රාන් පදිංචිකරුවකු වන අරෙෆ් රමේසානි පැවසීය.
"ඔබට ගැහුවොත්, ඔබද පෙරළා පහර දිය යුතුයි," හොසේන් නේජ්හාඩ් නම් ටෙහ්රානයේ තවකකු කීය.
ඉරාන WANA පුවත් ඒජන්සිය එම තොරතුරු වාර්තා කළේය.
එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, යුරෝපීය සන්ධාන සහ තවත් රටවල් මේ වන විට, ඉරානය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඒ, අන්තවාදී ඉරාන රාජ්‍ය හිතවාදී කල්ලි විසින් විරෝධතාකරුවන්, ජනමාධ්‍යවේදීන් සහ යුදෙව්වන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණ සිදු කිරීම හෙලා දකිමිනි. ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය, එහි බුද්ධි සංවිධානය, ඛඩ්ස් බලකාය, සහ ඉරාන බුද්ධි සහ ආරක්ෂක අමාත්‍යංශය වෙත එම ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් සෘජු චෝදනා එල්ල කර තිබේ.
"අප රටවල් සහ එහි ජනතාව, එම මරණීය කුමන්ත්‍රණයන්ගෙන් ආරක්ෂා කිරීම පිණිස, එක්ව නැගී සිටීමේ තීරණාත්මක පියවරකට එක්සත්ව පිවිස සිටින්නෙමු. ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුව මේ දැන්, එම අකටයුතු සියල්ල අවසන් කළ යුතු ය," එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නවතම නිවේදනයේ දැක්වේ.
හරකත් අෂාබ් අල්-යමින් අල්-ඉස්ලාමියා නම්, ඉරාන හිතවාදී කල්ලිය විසින් මෑතක යුරෝපය පුරා සිදුකළ ප්‍රහාර ද එමගින් හෙලා දැක තිබේ.
(සටහන, Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )
මුලාශ්‍රය :
Iran war live: Trump says Iran 'will pay the price' for taking too long to negotiate a deal







