බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය, ජෝන් හීලී ඊයේ (11), සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඒ, හමුදා වියදම් සම්බන්ධයෙන්, ජාතික ආරක්ෂාව පිණිස රාජ්‍ය සම්පත් ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිඥාවෙන් බැහැරව කටයුතු කිරීම පිලිබඳව අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් හට චෝදනා එල්ල කරමිනි.
තියුණු විවේචනවලින් යුත් විවෘත සන්දේශයක් ද සමගින් ඔහු සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය. මෙම අනපේක්ෂිත ඉල්ලා අස්වීමෙන්, දැනටමත් දේශපාලන අභියෝගයකට මුහුණ දී සිටින අග්‍රාමාත්‍ය ස්ටාර්මර් තවදුරටත් දුෂ්කරතාවට පත්වනු ඇතැයි, විචාරකයෝ පවසති. රාජ්‍යය ඉදිරියට ගෙන යාමට, අමතර මූල්‍ය පහසුකම් නොමැති අවස්ථාවක ආරක්ෂක වියදම් වැඩි කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය දැඩි විවේචනයට ලක්ව පවතී.
පසු ගිය මාස කිහිපය තිස්සෙම එරට ආරක්ෂක සහ මුදල් අමාත්‍යංශ අතර ඉදිරි ආරක්ෂක අවශ්‍යතා පිණිස මූල්‍ය සම්පත් භාවිතය පිලිබඳ අභ්‍යන්තර සාකච්ඡා පැවැත්විණි. ඉකුත් වසරේ එලි දැක්වීමට නියමිත වූ බ්‍රිතාන්‍ය ආරක්ෂක ආයෝජන සැලැස්මද ප්‍රමාද ව පවතින අතර හමුදා වියදම් ඉහළ නැංවීමේ අවශ්‍යතා ඉටු කර ගන්නේ කෙසේ දැයි ගැටළු මතුව තිබේ.

රුසියානු හමුදා බ්‍රිතාන්‍ය සයුරු කලාපය නිරන්තරයෙන් ආක්‍රමණය කිරීම හේතුවෙන් මතුව ඇති තර්ජන හේතුවෙන් ඉක්මන් රාජ්‍ය ආරක්ෂක සැලැස්මක අවශ්‍යතාව හමුදා නායකයින් විසින් අවධාරණය කර තිබේ. රජය ද ණය පියවා ගැනීමේ උග්‍ර අර්බුදයක පසුවන අතර බදු ගැටලුව දශක ගණනක එහි ඉහළම තලයට පැමිණ ඇත.
ඊයේ, බ්‍රිතාන්‍යයේ ප්‍රබලතම අමාත්‍යවරයකුගේ එම ඉල්ලා අස්වීම සිදු වන්නේ, අග්‍රාමාත්‍ය ස්ටාර්මර් බලය රැක ගැනීමේ අප්‍රතිහත ප්‍රයත්නයක නිරත මොහොතකය. එරට සෞඛ්‍ය අමාත්‍ය, වෙස් ස්ට්‍රීටින් ද ඉකුත් මැයි මස ඉල්ලා අස්විය. රාජ්‍ය තනතුරු කිහිපයක් හෙබවූ ඇන්ඩි බර්න්හැම් ද නායකත්ව තරගය පිණිස ඉදිරිපෙළ දේශපාලනයට පිවිසීමේ තැතක පසු වේ.
"දිනෙන් දින ඉහළ යන තර්ජන හමුවේ, රාජ්‍යය ආරක්ෂා කිරීමේ ජනතා අභිලාශය වෙත රජය සතු සම්පත් උපයෝජනයට ඔබේ නොහැකියාව ප්‍රදර්ශනය කළා, භාණ්ඩාගාරය අකමැත්ත ප්‍රකාශ කළා," හීලී සිය ලිපියෙන් අග්‍රාමාත්‍යවරයාට දැන්වීය.
ආරක්ෂක සැලැස්ම ප්‍රමාද වීමෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක කර්මාන්තය තුළ දීර්ඝ කාලීන වැඩසටහන් මත ආයෝජන ඇණහිට තිබේ.
යුරෝපය ආරක්ෂා කිරීමෙන් එක්සත් ජනපදය ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටින අතර, ඉරානය සම්බන්ධ එක්සත් ජනපද– ඊශ්‍රායල යුද තත්ත්වයට සන්ධාන පාර්ශ්වයෙන් සහභාගි වීමට බ්‍රිතාන්‍යය මැලි විය. ගල්ෆ් කලාපය වෙත ප්‍රබල යුද නෞකාවක් වහා පිටත් කර හැරීමට ද බ්‍රිතාන්‍යයට නොහැකි විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
UK defence minister quits, says Starmer not spending enough to keep country safe







