ඕස්ට්‍රේලියාවෙන් දරුණු H5N1 කුරුලු උණ තත්ත්වයක අවදානමක් හට ගැනීමත් සමග, එරට එම ආවේක්ෂණ කටයුතු දැඩි කර තිබේ.
අසල්වැසි පැපුවා නිව් ගිනියාව ද, ඕස්ට්‍රේලියාවේ කුකුළු ගොවිපොළ සහ එම වෙළඳපොල සිට ආනයනය කෙරෙන සියලු නිෂ්පාදන වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.
සඳුදා (22), දකුණු ඕස්ට්‍රේලියාවේ ෆොර්ව්ලර්ස් බේ ප්‍රදේශයෙන් මිය ගිය උප- ඇන්ටාර්ක්ටික් පක්ෂීන් දෙදෙනකු සහ පෙලිකන් පක්ෂියකු හඳුනා ගැනීමත් සමග එම පරීක්ෂණ ආරම්භ කෙරිණි. ඊට කි.මී.1200ක් පමණ එපිටින් පිහිටි බටහිර ඕස්ට්‍රේලියාවේ, එස්පෙරන්ස් වෙතින් එහි මුල් රෝගී සාම්පල වාර්තා විය.
රෝග කාරක හඳුනා ගැනීමේ බිම් මට්ටමේ පරීක්ෂණ සහ ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන ඒ පිලිබඳ නිරීක්ෂණ ද ආරම්භ කර ඇතැයි, දකුණු ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු පවසති. දකුණු ඕස්ට්‍රේලියාවේ බටහිර සහ ඈත බටහිර වෙරළ තීරයේ මුහුදු සිංහයින් බහුලව ගැවසෙන කලාපයක එම විශේෂ නිරීක්ෂණ ක්‍රියාත්මක ය. එහිදී දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගැනෙන ප්‍රදේශයන්හි පරීක්ෂණ වාර ගණන නිරන්තරව වර්ධනය කෙරේ.
තවමත් එරට එම සෞඛ්‍ය තත්ත්වයේ අවදානම් ව්‍යාප්තියක් වාර්තා නොවේ.

ඕස්ට්‍රේලියාවේ කුකුළු මස් නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් දේශීය පරිභෝජනය පිණිස වේ. එරට විශාලතම කුකුළු මස් අපනයන වෙළඳපොළ අසල්වැසි පැපුවා නිව් ගිනියාව ය. 2023 වසරේ එරට වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 30.38කට ආසන්න ඕස්ට්‍රේලියානු කුකුළු මස් සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කෙරිණි.
ඕස්ට්‍රේලියානු කුකුළු ගොවිපොළ සියල්ල එම සෞඛ්‍ය තත්ත්වයෙන් ආරක්‍ෂිත බව, එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. උද්ගත තත්වය පිලිබඳ පැපුවා නිව් ගිනියා බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)
6/24/2026
(
Australia ramps up bird flu testing as second state reports case







