ඉරානය සහ එක්සත් ජනපදය ඊයේ (1) තවත් වක්‍ර සාකච්ඡා වටයක් අවසන් කළහ. එහෙත්, තිරසර සාමය උදෙසා කිසිදු ධානාත්මක නැඹුරුවක් එහි නොවීය.
දෝහා ගත කළ දෙදිනම, ඔවුන්ගේ අවධානය ප්‍රධාන වශයෙන්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය වෙත යොමු විය. ඉරාන වත්කම් තහනම ද එහි දී සාකච්ඡාවට බඳුන් විය. එම කරුණු මූලික ගිවිසුම් ප්‍රකාරව සාකච්ඡාවට බඳුන් විය යුතු අනිවාර්ය කරුණු ලෙස දක්වා තිබේ.
ඝාතනය කළ ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ගේ අවමගුල ජුලි 9 දාට යෙදී ඇත. දෙපාර්ශ්වය අතර මීළඟ සාකච්ඡා ඉන් අනතුරුව බව, කටාර විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය.

අවබෝධතා ගිවිසුමට අනුව, ජුනි මස තාවකාලිකව අවසන් කිරීමට යෙදුණු යුද්ධය පිලිබඳ දෙපස සාකච්ඡා ධනාත්මක වර්ධනයේ පවතින බවත්, ස්විට්සර්ලන්තයේ පැවති සමුළුවකදී එළැඹි යෝජනා මත, ඒවා ඉදිරියට ඇදෙන බවත්, කටාර විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක විසින් එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා ඇත.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ශක්‍යතා සීමා පිලිබඳ දෙපස සාකච්ඡා වර්ධනීය අවධියක ඇතැයි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය. ඉරාන යුද්ධයට මූලික හේතුව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ය. "ඉරාන න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය හොඳින් කෙරීගෙන යනවා," ට්‍රම්ප්, වොෂින්ටනයට රැස්වූ මාධ්‍යවේදීන් අමතා කීවේය. "හොඳ කතාබහක් වෙලා තියෙනවා, අපි බලමු," ඔහු කීය.

එහෙත්, තාක්ෂණික කරුණු මත පදනම් වූ, දෝහා කතා බහ අතර ඉරාන න්‍යෂ්ටික ගැටලුව නොවූ බව, තොරතුරු මූලාශ්‍රය උපුටා දක්වන විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එය පසුවට තබා ඇතැයි, එක්සත් ජනපද උප ජනපති ජේ ඩී වෑන්ස් පැවසීය. "ඇත්තටම ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන අප ඉන්නේ කනස්සල්ලෙන්. අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා," ඔහු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
දෝහා ගිය එක්සත් ජනපද සහ ඉරාන නියෝජිතයෝ, කටාර සහ පාකිස්ථාන මැදහත් පාර්ශ්ව සමග වෙන් වශයෙන් සාකච්ඡා පැවැත්වූහ. එහෙත්, "ඉහළ පෙළ" සාකච්ඡා පිණිස පිටත්වන බව පවසා එහි ගිය ජනපති ට්‍රම්ප්ගේ බෑණා, ජෙරාඩ් කුෂ්නර් හෝ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් එම කිසිදු සාකච්ඡාවකට සහභාගි වී නැතැයි ද වාර්තා වේ.
ඉරාන ඉයෝජිත පිරිසේ නායක, නියෝජ්‍ය විදේශ අමාත්‍ය, කසෙම් ඝරිබබාදි, සාකච්ඡා අවසන් බව දැන්වීය. දෙපස කිසිදු එකඟතාවකට පැමිණි බවට එකද වදනකුදු එහි නොවීය.
මූලික ගිවිසුමට අනුව, ඉරාන සහ එක්සත් ජනපද දෙපාර්ශ්වය විසින් ම හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ස්වාධීන නෞකා ගමනාගමනය යළි අරඹා, බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට සහාය විය යුතු ය. යුද්ධයට පෙර, ගෝලීය ඉන්දන ප්‍රවාහනයේ පහෙන් පංගුවක් ඒ ඔස්සේ සිදු කෙරිණි. යුද්ධයත් සමග අවහිර වුණු එහි නෞකා සැරිය, මේ වන විටත් මුළුමනින් යථාවත් ව නැත. එහි අයිතිය පිලිබඳ පැනනැගි නව ගැටලුව හේතුවෙන් හෝර්මුස් සන්ධිය දැන් අවිනිශ්චිත කලාපයකි. එහි යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය යළි ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉකුත් සතියේ දෙපස යළි ගැටුණේය.

එම සමුද්‍ර සන්ධිය තමන් සතු බව, ඉරානය දිගින් දිගටම කියා සිටී. එය ජාත්‍යන්තරය හමුවේ තහවුරු කිරීමට ඔවුහු මහත් වෙහෙසක් දරමින් සිටිති. වත්මන, ඔවුහු එය බලහත්කාරයෙන් පාලනය කිරීමට පෙළඹී සිටිති. ඒ හරහා ගමන්ගන්නා නෞකා වෙතින් අගෝස්තු මැද සිට ගාස්තු අය කිරීමට නියමිත බව, ජ්‍යෙෂ්ඨ ඉරාන ඉලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි. එම සමුද්‍ර සන්ධිය ඔස්සේ නිදහස් නෞකා ගමනාගමනයට දැනට ක්‍රියාත්මක දින 60ක ගාස්තු රහිත සහන කාල සීමාව, අදාළ ගිවිසුම් ප්‍රකාරව ඒ වන විට කල් ඉකුත් වනු ඇත.
යළි පූර්ණ කාලීන යුද්ධයකට අවතීර්ණ වීමේ ජනපති ට්‍ර්ම්ප් ගේ මතය, ඊයේ ඔහුගේම ප්‍රකාශයකින් යටපත් විය. " මම හිතන්නේ ඔවුන් දැන් ගොඩක් දුර ඇවිත්," ඔහු කීය.
ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයත් සමග ඉන්දන මිල සිව් මසකින් අනතුරුව, එහි පහළම අගයට පිවිසියේය. යුද්ධය ඇරඹි තැන් සිට ප්‍රථම වරට, විශ්ලේෂකයෝ ඉන්දන මිල පිලිබඳ සිය අනාවැකි හකුළා ගත්හ.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රාකරණයට ඉරාන බලධාරීන් විසින් නිර්දේශිත මාර්ගයෙන් එපිට නොගැඹුරු දියේ, විදෙස් බහළු නෞකාවක් ගොඩ ඇනී ඇතැයි ඉරාන රාජ්‍ය මාධ්‍ය ඊයේ සඳහන් කළේය.
එම සමුද්‍ර සන්ධියේ ඉරානය විසින් අතුරා ඇති මුහුදු බෝම්බ ඉවත් කිරීමට යුරෝපීය රටවල් රැසක් එක්ව සිටිති. එහෙත්, අන් රටවල් සමග සහයෝගීව කටයුතු කිරීමට ඉරානය මැළි කමක් දැක්වීම හේතුවෙන්, ජර්මනිය ඊට සහාය නොදෙන බව, එරට ආරක්ෂක අමාත්‍ය, බොරිස් පිස්ටෝරියස් පැවසීය.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/2/2026
(
මුලාශ්‍රය :
US, Iran talks conclude in Doha, focused on Strait of Hormuz







