එක්සත් ජනපද හමුදා ඊයේ (7) ඉරාන ඉලක්ක වෙත නවතම ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළහ.
තෙල් වෙළඳාමට අවසර ලබා දෙමින් එරටට නිකුත් කෙරුණු බලපත්‍රය ද යළි අවලංගු කෙරිණි. ඊයේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ ඉන්ධන නෞකා තුනක් වෙත ප්‍රහාර එල්ල වීමත් සමග එක්සත් ජනපද ප්‍රති ප්‍රහාර ඇරඹිණි.

ඝාතනය කෙරුණු ඉරාන උත්තරීතර නායකයා සහ ඔහුගේ පවුල් සාමාජිකයින්ගේ මෘතදේහ රැගත් අවමගුල් පෙරහැර පසුගිය දින කිහිපයේම එරට ඛෝම් ආගමික නගරයේ වීදි සංචාරය කළේය. ඊට මිලියන සංඛ්‍යාත ඉරාන වාසීහු එක්ව සිටියහ. ධජ සහ බැනර රැගෙන වීදි දෙපසින් එම පෙරහරට එක්වූ ඔවුහු ශෝකය ප්‍රකාශ කරමින් උද්ඝෝෂණය කළහ. ඛමෙනිගේ ඝාතනයට පළි ගන්නා බව කියමින් හඬ නැගූහ. "ට්‍රම්ප් මරනු" යනුවෙන් සටහන් දැන්වීම් පුවරු ඔවුනත විය. ඊයේ, හෝර්මුස් වෙත ලඟා වෙමින් තිබූ සහ ඒ අවට යාත්‍රා කළ ජාත්‍යන්තර ඉන්ධන නෞකා තුනක් වෙත ප්‍රහාර එල්ල වූයේ මේ අතර ය.
ඕමාන වෙරළ තීරයට නාවුක සැතපුම් 8ක් (කි.මී.14) ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ ඉන්ධන නෞකාවක් වෙත එල්ල වූ ප්‍රහාරයකින් එහි ගින්නක් හට ගත් බව, බ්‍රිතාන්‍යයේ UKMTO සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය වාර්තා කළේය. ප්‍රහාරයට ලක් වූයේ දියර තත්ත්වයේ ස්වභාවික වායුව ප්‍රවාහනය කරමින් තිබූ කටාර් රාජ්‍යයට අයත් නෞකාවක් බව සඳහන් ය. එහි නාවික කාර්ය මණ්ඩලය නිරුප්‍රදිත වුව, නෞකාවේ ප්‍රධාන එන්ජින් කුටිය ගිනි ගෙන දුමින් පිරී ඇතැයි ද වාර්තා විය.

එය මුහුදු බත් වීමේ අවදානමට ලක්ව ඇතැයි පසුව සැල විය. උත්තරීතර නායකයාගේ අවමගුල් සැමරුම් ඇරඹි තැන් සිට හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සිවිල් යාත්‍රාවක් වෙත එල්ල කරන ලද ප්‍රථම ප්‍රහාරය එය ය. අනතුරුව ඉරානය තවත් නෞකා දෙකක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇතැයි, ඇක්සියෝස් (Axios) පුවත් වෙබ් අඩවියේ දැක්වීය.
එක්සත් ජනපද ප්‍රති ප්‍රහාර ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ඉරාන ඉලක්ක 80ක් වෙත අති සාර්ථක ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය ප්‍රකාශ කළේය. ඉරානයට ඉන් සිදුව ඇති මූල්‍ය පාඩුව ගිනිය නොහැකි තරම් වන බව ද එම ප්‍රකාශයේ දැක්වේ. අවට කලාපයේ යාත්‍රා කෙරෙන ජාත්‍යන්තර නෞකාවන්ට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් කුඩා ප්‍රහාරක යාත්‍රා 60ක් පහර දී විනාශ කළ බව ද මධ්‍යම විධානය නිවේදනය කළේය. ඉරාන හමුදාවන්ගේ අහේතුක කෝපය, සටන් විරාම ගිවිසුම අන්තරායකර ලෙස උල්ලංඝනය කර ඇතැයි, එක්සත් ජනපද මධ්‍යම විධානය පසු සටහනක කියා සිටියේය.

ඉරාන ඛාර්ග් දිවයිනේ පිහිටි එරට ඉන්ධන කෙන්ද්‍රස්ථානයෙන් අද (8) අළුයම පිපිරීම් වාර්තා වූ බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය දන්වා සිටියේය. කෙෂම් දිවයින, දකුණේ පිහිටි වරාය නගර වන සිරික් සහ බන්ඩර් අබ්බාස් වෙතින් ද පිපිරීම් වාර්තා විය. මෙතෙක් සිවිල් මරණ කිසිවක් නිවේදනය කර නැත. එහෙත්, සිරික් වරාය ජැටියක් වෙත පතිත වූ මිසයිල කොටස් වැදී බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඉහත වරාය දෙකෙහි ධීවර ජැටි දෙකක් ද එක්සත් ජනපද ප්‍රහාරවල ඉලක්ක විය. ප්‍රහාරයත් සමග එහි වූ ධීවර යාත්‍රා ගිනිගෙන දැවුණු බව, ඉරාන රාජ්‍ය රූපවාහිනී වාර්තාකරුවකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පැවසීය. කෙසේ වෙතත්, ඛාර්ග් දිවයිනේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම විධාන නිවේදනයේ දක්වා නැත. ඉරාන ඉන්ධන අපනයනයෙන් 90%ක් සිදු කෙරෙන්නේ ඛාර්ග් වරායෙනි. එම දිවයිනට අවසන් වරට එක්සත් ජනපද හමුදා ප්‍රහාර එල්ල කළේ, ඉකුත් අප්‍රේල් මස දීය.
ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති, වෙරළබඩ ආවේක්ෂණ පද්ධති, භූමියේ සිට ගුවනට මිසයිල දියත් කෙරෙන මධ්‍යස්ථාන, නෞකා නාශක මිසයිල මධ්‍යස්ථාන සහ ඩ්‍රෝන ප්‍රහාරක ක්ෂේත්‍ර ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද හමුදා ආරංචිමාර්ග උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපදයේ නවතම ප්‍රහාර මාලාවත් සමග ලෝක ඉන්ධන වෙළඳපොල තෙල් මිල 3%කින් යළි ඉහළ ගියේය.
සිය ධජය යටතේ යාත්‍රා කරමින් පැවති අල් රෙඛායත් (Al Rekayyat) ස්වභාවික දියර වායු ප්‍රවාහන නෞකාවට එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය, ඉරානයට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. සෞදි අරාබි ධජය යතාතේ යාත්‍රා කරමින් පැවති වෙද්යන් (Wedyan) සුපිරි ඉන්ධන නෞකාව ඉරාන ප්‍රහාරයට ලක්වූ දෙවන නෞකාවය. ඔමානයට පිටත කලාපයේ දී එය ප්‍රහාරයට ලක් විය. ඉරාන හමුදා, ජාත්‍යන්තර වෙළඳ නෞකා තුනකට ප්‍රහාර එල්ල කර ඇතැයි එක්සත් ජනපද නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය කීය.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/8/2026
US launches new strikes on Iran after reinstating oil sanctions over shipping attacks







