මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, ඊජිප්තු - ආර්ජන්ටිනා තරගය පැවති අඟහරුවාදා (7) සන්ධ්‍යාවේ, ගාසා තීරයේ ඊශ්‍රායල වෙඩි ප්‍රහාර
හමුවේ ඝාතනය කෙරුණු ඊජිප්තුවේ, ප්‍රධාන ආධාර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පලස්තීන සාමාජිකයකුට අවසන් ගෞරව දැක්වීමට ගාසා වාසීහු රැසක් එක් වූහ.
මොහම්මඩ් අල් - වහෙයිඩි නම් ඔහු, යුද්ධයෙන් වැනසුණු ගාසා තීරයේ ලක්ෂ සංඛ්‍යාත කූඩාරම් වාසී, අවතැන් ජනතාවට අවම වශයෙන්, ලෝක කුසලානයේ සජීව අත්දැකීම් ලඟා කරනු වස්, කූඩාරම් අබියස ඩිජිටල් තිර ස්ථාපනය කිරීමේ විශේෂ කාර්යයක නිරත විය. එදින, ගාසා නගරයේ සබ්‍රා පෙදෙසේ මෝටර් රථයක් ඉලක්ක කර ඊශ්‍රායල හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්, ඔහු ඇතුළු එම අවස්ථාවේ එහි සිටි තවත් අයකු හා අසල වූ, වයස අවුරුදු 10 ක සහ 8 ක එකම පවුලේ සොයුරෝ දෙදෙනෙක් ඝාතනය වූහ.
ඔහු සවි කළ යෝධ තිර මත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට හිමි වීම යුද්ධයෙන් සහ, පසු ජන දිවියෙන් හෙම්බත් දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලී ගාසා වැසියන්ට මොහොතක අස්වැසිල්ලකි. එම දැවැන්ත තිර මත ලෝක කුසලානයේ ප්‍රීතිය සහ ප්‍රේක්ෂකාගාරයේ දෝංකාරය ගාසා වාසීන්ගේ දිරාපත් කඳවුරු අබියසටම පැමිණියේය. එදින, අනෙකුත් බහුතර අරාබි පාපන්දු ලෝලීන් මෙන්ම, ගාසා වාසීන්ද ඊජිප්තු කණ්ඩායමට ජය පතා ඔල්වර සන් නගමින් ඊට එක්වූහ. අවසන තියුණු තරගයකින් අනතුරුව, ආර්ජ්නටිනාව එම තරගය ජය ගත්තද, වහෙයිඩි එම තරගය අවතැන් ගාසා ජනතාව වෙත සමීප කරමින් සිදු කළ මෙහෙය අති මහත්ය. ඊජිප්තුව තරගය පරාජය වුව, එය නැරඹීමට ලැබීමම, ගාසා වාසීන් ලද අමිල ජයෙකි.
වහෙයිඩි ඝාතනය කිරීම පිලිබඳ ඊශ්‍රායල හමුදා වෙතින් විමසු විට, හමාස් සන්නද්ධ සාමාජිකයකු ඉලක්ක කර එම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව, ඔවුහු පැවසූහ. අදාළ නොවන පුද්ගලයින් ඉන් ඝාතනයව ඇතැයි දැනුවත් වූ බව ද ඔවුහු කියා සිටියහ. ඉලක්ක කළ ත්‍රස්තයා හඳුනා වෙඩි තැබීදැයි නැගූ පැනයට ඔවුන්ගෙන් පිළිතුරක් නොවීය. එහිදී, ඝාතනයට ලක්වූ අනෙක් තැනැත්තා, තිස් වන වියෙහි පසු වූ, අහ්මෙඩ් ජෙහාඩ් රජාබ් දොඝ්මෝෂ් නමැත්තකු බව මානව හිමිකම් පිලිබඳ පලස්තීන මධ්‍යස්ථානය පැවසීය. කෙසේ වෙතත්, එදින ඝාතනය වූ, එම පිරිසට අයත් කිසිවකු සිය සාමාජිකයින් බවට ගාසා හි එකද සන්නද්ධ සංවිධානයක් විසින් මෙතෙක් තහවුරු කර නැත.
ඊජිප්තු රජය විසින් ගාසා තීරයේ ක්‍රියාත්මක ආධාර සංවිධානයේ, සහන කටයුතු අංශයේ සේවා සැපයුම් කාර්ය භාරය, ඝාතනයට ලක්වූ වහෙයිඩි වෙත පවරා තිබූ බව, ඊජිප්තු ආරක්ෂක අංශ සඳහන් කළහ. ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා විසින් ක්‍රියාත්මක අඛණ්ඩ මිනිස් ඝාතන ප්‍රතිපත්තිය සහ එහි ප්‍රතිසංස්කරණ පිණිස එල්ල කෙරෙන බාධා පිලිබඳ ඊජිප්තුව විසින් ඊශ්‍රායල රජය වෙත දැඩි විරෝධය පළ කර ඇත.
දෙවසරක අමානුෂික යුද්ධයෙන් සියලු දෑ අහිමි ව වෙසෙන ගාසා වාසීන්ට ජය - පැරදුම පිලිබඳ ඇත්තේ අත්දැකීමෙන් ම ප්‍රගුණ කළ උපේක්ෂා ගුණයකි. එබැවින්, ඊජිප්තු කණ්ඩායමේ පරාජය හමුවේ ඔවුන්ට සැලීමට තරම් කඳුලක් ඉතිරිව නැත. එහෙත්, ඒ පන්නරය තව දුරටත් ඔවුන් තුළ එසේම පවතීදැයි, ස්වයං පරීක්ෂණයේ යෙදීමට අවස්ථාව සලසා දුන් මිනිසාට සිදු වූ ව්‍යසනයේදී ඔහුට ගෞරව කළ යුතුම ය.
ඊයේ (9) වහෙයිඩි ගේ අවමංගල්‍ය උත්සවය පැවැත්විණි. ඔහුගේ දේහය පලස්තීන සහ ඊජිප්තු ධජයෙන් වසා තිබුණු අතර අවසන් ගෞරව දැක්වීම සිය ගණනක් එක්ව සිටියහ. එදින මුළුල්ලේම ඔහුගේ නිවෙස අසල්වාසීන්ගෙන් සහ ඔහුගේ මිතුරන්ගෙන් පිරී පැවතිණ.
ඊජිප්තු ආධාර වැඩසටහනේ සේවය කිරීම නිෂ්ඵල වුවත්, යුද්ධයෙන් අනාථ වුවන්ට සේවය කිරීම වහෙයිඩිගේ එකම අභිප්‍රායය වූ බව, ඔහුගේ මිතුරෝ පැවසූහ.
මිලියන දෙකකට අධික සමස්ත ගාසා ජනගහනයම යුද්ධයෙන් අවතැන්ව සිටිති. ඔවුන් සියල්ලන් වෙසෙන්නේ ගාසා වෙරළට මායිම් ව ඇදෙන ඉතා පටු තීරයකය. ඔවුන්ගේ බොහොමයක් වාසස්ථාන තාවකාලික කඳවුරු හෝ යුද්ධයෙන් විනාශව ඉතිරිව පවතින ගොඩනැගිලි ය. ඒ සියල්ල හමාස් පාලනය යටතේ පවතී.
ඊජිප්තුව සිය ස්වාධීන රාජ්‍ය සංකල්පය බෙහෙවින් ගරු කරන අරාබි රාජ්‍යයක් බව, පලස්තීනුවන්ගේ පිළිගැනීම ය. පසුගිය දශක තුනක කාලය පුරාවට පලස්තීන සටන් විරාම ගිවිසුම් උදෙසා, ඊජිප්තුව වෙසෙස් කාර්ය භාරයක් ඉටු කළේය. ඉකුත් වසරේ, ඊශ්‍රායලය සහ පලස්තීන රාජ්‍ය අතර එළැඹුණු සටන් විරාම ගිවිසුමේ ප්‍රමුඛ කාර්ය භාරයක් සිදු කළේ ද ඊජිප්තුව ය. කටාර් රාජ්‍යය, තුර්කිය සහ එක්සත් ජනපදය ද ඊට සහාය දැක්වූහ.
සටන් විරාමයෙන් අනතුරුව, ප්‍රධාන ගැටුම් නතර වුව, තැන තැන ඊශ්‍රායල හමුදා විසින් සිදු කළ ඝාතන නතර වී නැත. පශ්චාත් සටන් විරාම කාල සීමාවේ පමණක් ගාසා තීරයේ සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි. ගාසා සන්නද්ධ කල්ලි විසින් ඊශ්‍රායල හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් ද ඝාතනය කෙරිණි.
හමාස් ප්‍රධාන සාකච්ඡා නියෝජිත, ඛලිල් අල් - හයියා සිය නියෝජිත පිරිස කටුව, වැඩිදුර සාම කතා බහ පිණිස ඊයේ (9), කයිරෝ නුවරට ලඟා විය. හමාස් සංවිධානය නිරායුධකරණය සහ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් මුළුමනින් ඉවත් වීම සම්බන්ධයෙන් වන, දෙවන අදියර වක්‍ර සාම සාකච්ඡා පිණිස දෙපසම දක්වන්නේ දැඩි මැලි කමෙකි.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/10/2026
මුලාශ්‍රය :
Gazans mourn aid worker killed by Israel who brought them the World Cup







