අද (15) උදෑසන, ජෝර්දානය බලා එල්ල කළ ඉරාන බැලස්ටික් මිසයිල තුනක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ව්‍යර්ථ කර බිම හෙලා තිබේ.
ජෝර්දානයේ අස්රක් ගුවන් කඳවුර ඉලක්ක කර ප්‍රහාර දියත් කළ බව, ඉරානය ඊට පෙර පැවසීය.
මේ අතර, එක්සත් ජනපදය ඊයේ (14), ඉරානයට එරෙහිව නව සම්බාධක මාලාවක් පැනවීය. ඉරාන ඉන්දන වෙළඳාම සහ තවත් මෙහෙයුම් රැසක් තහනම් කරමින්, මීට පෙර පැනවූ සම්බාධ මගහැර කටයුතු කිරීමට දායකත්වය සපයූ, ජාලයක් ඉලක්ක කර මෙම නවතම සම්බාධක පනවා තිබේ. ඒ අනුව, ටෙහ්රානය වෙත ආර්ථික පීඩනය තව තවත් දැඩි කරමින්, මොහම්මඩ් හොසේන් ෂම්ඛානි ට අයත් වෙළඳ ජාලය, ජාත්‍යන්තරයේ තහනම් කරන බව, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත. එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට සහ ජාත්‍යන්තර සමුද්‍රීය කර්මාන්තයට තර්ජිතව පවත්නා ඉරාන මූල්‍ය යටිතල පහසුකම් සියල්ල හඳුනා, තහනම් කරන බව, එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්, ස්කොට් බෙසෙන්ට් පැවසීය. ඉකුත් අප්‍රේල් සහ පසුගිය වසරේ, එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව පනවන ලද මුල් සම්බාධක ඒ අනුව, තව දුරටත් ශක්තිමත් කෙරේ. එම නව සම්බාධක යටතේ, පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක්, ආයතන සහ ෂම්ඛානි යටතේ ක්‍රියාත්මක නෞකා මෙහෙයුම් තහනම් කෙරේ. ඔවුන් හා ව්‍යාපාරික කටයුතුවල නියුතු හඳුනාගත් වෙනත් ව්‍යාපාර සම්බන්ධයෙන් පවතින, එක්සත් ජනපද වත්කම් ද තහනම් කෙරේ. ඇමෙරිකානුවන්ට ඔවුන් හා ව්‍යාපාර කටයුතු සිදු කිරීම තහනම් කිරීම එහි අරමුණ වේ.
මේ අතර, බහ්රෙනයේ පිහිටි එක්සත් ජනපද පස්වන බල ඇණියට අයත් විධාන සහ පාලන මධ්‍යස්ථාන, ඉන්දන සහ හමුදා උපකරණ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පැවසීය. එක්සත් ජනපද ප්‍රහාර සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය සියතට ගැනීම පිණිස සිදු කෙරෙන එම හමුදා ක්‍රියාන්විතවලට එරෙහිව එම ප්‍රති ප්‍රහාර සිදු කළ බව, ඉරාන හමුදා කීහ.

කුවේට් රාජ්‍යයේ, මීනා අබ්දුල්ලා හි පිහිටි, එක්සත් ජනපද හමුදා සේවා සැපයුම් සහ සහාය මධ්‍යස්ථානයක් වෙත පහර දී ගිනි තබා විනාශ කළ බව ද, එම හමුදා කීහ. අද උදෑසන බහ්රේන්හි ගුවන් ආරක්ෂක සයිරන් නලා ක්‍රියාත්මක විය. කුවේට් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර එහි ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කළ බව එම හමුදා පැවසූහ.
ටෙහ්රානය සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම්, ඉරානය යටිතල පහසුකම් සියල්ල වනසා දමන බවට, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් යළි තර්ජනය කළේය.
"ඉරාන බලශක්ති ඉලක්ක කියන්නෙ, අපෙ අවසන් තුරුම්පුව. අන්තිමට අපි ඒවටත් ගහනවා. අද රෑත්, හෙට රෑත්, අපි උංට තදින්ම ගහනවා. ඊට පස්සෙ එන සතියෙ. ඒ සතියේ ඉඳන් තීරණාත්මකයි. ඒ කියන්නෙ එන සතියෙ අපේ ඉලක්ක වෙන්නෙ උංගේ විදුලි බලාගාර. ඊට පස්සෙ සතියෙ, පාලං. සාකච්ඡාවට නාවොත්, උංගෙ සියලු විදුලි බලාගාර පුච්චලා අලු කරල දානවා. පාලං වලට කරන්නෙත් ඒකමයි, නැත්තටම නැති කරල දානවා," ට්‍රම්ප් තර්ජනය කළේය.
යුද්ධයේදී සිවිල් පරිහරණය පිණිස වන සම්පත් හා යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම 1949 ජිනීවා ප්‍රඥප්තියට අනුව තහනම් ක්‍රියාවකි.
සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගත යුතු බවට, එක්සත් ජනපද නියෝජිතයින් විසින් ඉරාන කණ්ඩායම දිගින් දිගටම දැනුම්වත් කෙරෙන බව ද, ජනපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සහ ගල්ෆ් කලාපයේ නෞකා සහ සිවිල් ඉලක්ක වෙත ඉරාන ප්‍රහාර වහා නතර කළ යුතු බව, එක්සත් ජනපද මධ්‍යම විධාන ප්‍රධාන අණදෙන නිලධාරී දන්වා සිටියේය.

"ඉකුත් සත් දින පුරාවට ඉරානය ජාත්‍යන්තරව, කලාපයේ සිවිල් ඉලක්ක රැසක් වෙත ප්‍රහාර එල්ල කළා. ඒ අනුව, ඔවුන් වෙළඳ නැව් හතකට පහර දීල තියෙනවා. ඉන්, එහි සිටි කාර්ය මණ්ඩල නිලධාරීන් 12කට අධික පිරිසක් ඝාතනය වෙලා, සමහරු ආගිය අතක් නෑ අතුරුදන් වෙලා, තවත් අය තුවාළ වෙලා. ඒ වගේම, ඉරානය අසල්වැසි ගල්ෆ් රටවල් වෙතද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. අහිංසක සිවිල් ජීවිත මරණීය අනතුරේ හෙලන මේ සියලු වගකීම් විරහිත සැහැසිකම් වලට ඉරානය වග කිවයුතු බව එක්සත් ජනපද හමුදාව ලෙස අප කියා සිටිනවා," ඔහු කීය.
මේ අතර එක්ස් පණිවුඩයක් නිකුත් කළ එක්සත් ජනපද මධ්‍යම විධානය, හෝර්මුස් කලාපයේ ඉරාන ඉලක්ක රැසක් වෙත සිය ප්‍රහාරක ජෙට් යානා, ඩ්‍රෝන සහ නාවුක බල ඇණි මගින් ප්‍රබල ප්‍රහාර එල්ල කළ බව දැන්වීය. හෝර්මුස් කලාපයේ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ස්ථාන ගත කළ මධ්‍යස්ථාන, නාවුක පහසුකම් මෙන්ම, වෙරළබඩ ආරක්ෂක පද්ධති එහි ඉලක්ක වූ බව ද එහි දක්වා තිබේ.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/15/2026
(
මුලාශ්‍රය :
Iran war live: Trump threatens power plant hits and Tehran warns of new shipping blocks







