එක්සත් ජනපද හමුදා ඊයේ (15), ඉරාන වෙරළබඩ ආරක්ෂක ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලා දෙකක් එල්ල කළහ.
නැවත, ඉරාන වරාය වෙත තහනමක් ද පනවා තිබේ. ඉරානය ද පෙරළා කලාපීය රටවල එක්සත් ජනපද හමුදා මර්මස්ථාන වෙත පහර දුන්නේය.
දෙරට අතර එළැඹි සටන් විරාම ගිවිසුම මේ වන විට කඩාකප්පල් ව පවතින අතර, ගැටුම පූර්ණ යුද තත්ත්වයක් තෙක් වර්ධනය වෙමින් පවතී.
පවතින ගැටුම්කාරී වාතාවරණය යටතේ ඊයේ, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 84.95ක් ලෙස සටහන් විය.

ග්‍රිනිච් වේලාවෙන් 1000 පැයට ආරම්භ කළ පළමු ප්‍රහාර මාලාව, ඉරානයේ ග්‍රේටර් ටුන්බ් දිවයිනේ වෙරළාසන්න ආරක්ෂක පද්ධති සහ කෲස් මිසයිල ගබඩා ඉලක්ක කර දියත් කළ බවත්, ඊට පැය නවයකට පසු තවත් ඉරාන ඉලක්ක වෙත දෙවන ප්‍රහාර මාලාවක් දියත් කළ බවත්, එක්සත් ජනපද මධ්‍යම විධානය දැන්වීය. ඉරාන අණ මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක කලාප, මිසයිල සහ ඩ්‍රෝන යටිතල පහසුකම් සහ වෙරළබඩ අවේක්ෂණ පද්ධති එහි ඉලක්ක විය. ඉරානයේ විශාලතම වරාය සහ නාවික කේන්ද්‍රයක් පිහිටි බන්ඩර් අබ්බාස් මෙන්ම හෝර්මුස් කලාපයේ විප්ලවීය ආරක්ෂක බලකා මර්මස්ථාන ද විනාශ කෙරිණි.
මේ අතර, අද උදෑසන මිනිත්තු 9ක් තුළ එල්ල කරන ලද තවත් ප්‍රහාර මාලාවකින්, ග්‍රේටර් ටුන්බ් දිවයිනේ පිහිටි වෙරළබඩ ආරක්ෂක සහ කෲස් මිසයිල කලාප විනාශ කළ බව ද මධ්‍යම විධානය පැවසීය.

බහ්රේන්, කුවේට් සහ ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද කඳවුරු වෙත ඊයේ පහර දුන් බව ඉරානය කීය. කුවේට් හි පිහිටි අලි අල් සලෙම් ගුවන් කඳවුරේ පැවති එක්සත් ජනපද හමුදා නිලධාරී හමුවක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ද ඔවුහු පැවසූහ.
හමුදා අණ නොතකා ඉරාන ඛාර්ග් දිවයින වෙත යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉන්දන නෞකාවක් අක්‍රීය කළ බව, එක්සත් ජනපද හමුදා කීහ.
ඉරානය ඉතා ඉක්මනින් පරාජය කරන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. පෙන්සිල්වේනියා ආරක්ෂක සහ නවෝත්පාදන සමුළුවේ වට මේස සාකච්ඡාවකට එක් වෙමින් අදහස් පළ කළ ජනපතිවරයා, ඉරානයට ගැටුම ඉතා 'නරක' ලෙස විසඳා ගැනීමට අවශ්‍යව ඇතැයි කියා සිටියේය.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/16/2026
(
මුලාශ්‍රය :
US launches multiple strikes on Iran, which retaliates against US targets in region







