*අඩි 2000ක් ගැඹුරු මුහුදු පතුලේ තිබී ස්වයංක්‍රීය ඩ්‍රෝන තාක්ෂණයෙන් සොයාගත් ඓතිහාසික ගුවන් යානය
*ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ආරක්ෂිත පූර්ව-දැනුවත් කිරීම් හඳුන්වාදීමට මුල් වූ 1952 ඛේදනීය අනතුරේ සුන්බුන්
පුවර්ටෝ රිකෝ වෙරළට ඔබ්බෙන් මීට වසර 74කට පෙර අත්ලාන්තික් සයුර කඩා වැටුණු මගී ගුවන් යානයක සුන්බුන් සොයා ගැනීමට රූපවාහිනී ගවේෂක කණ්ඩායමක් සමත් ව තිබේ.
පෑන් ඇමෙරිකන් ගුවන් සේවයට අයත් ඩග්ලස් ඩීසී - 4 වර්ගයේ එම යානය,1952 අප්‍රේල් 11 දා මගීන් 64ක් සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 5දෙනකු සමග පුවර්ටෝ රිකෝ වෙතින් ගුවන් ගතව, කෙටි වෙලාවකට පසු, අත්ලාන්තික් සයුරට කඩා වැටිණි.

ගුවන්/සාගර උරුම පදනම (Air/Sea Heritage Foundation) සහ ඩිස්කවරි නාලිකාවේ 'එක්ස්පෙඩිෂන් අන්නෝන්' (Expedition Unknown) වැඩසටහන පටිගත කිරීමේ කණ්ඩායම එක්ව, පසු ගිය මස අත්ලාන්තික් සාගරයේ සිදු කළ ගවේෂණයකදී පුවර්ටෝ රිකෝ උතුරු වෙරළට ඔබ්බෙන්, සාගර පත්ලේ වූ, අනතුරට පත් එම 'පෑන් ඇම් ක්ලිපර් එන්ඩෙවර්' (Clipper Endeavor) යානයේ සුන්බුන් හමු වූ බව, ඩිස්කවරි නාලිකාව ඊයේ (21) පැවසීය.
අනතුරට පත් යානය සයුර මත පළමුව ගැටෙන අවස්ථාව වන විටත් එහි සිටි සියල්ලෝ නිරුප්‍රදිතව පසු වුව ද, අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් වූයේ මගීන් 12 දෙනකුට සහ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 5දෙනකුට පමණි.

එම අනතුරින් පසු ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කෙරිණි. ගුවන් යානයක් පිටත්වීමට මත්තෙන් මගීන් වෙත සිදු කෙරෙන පූර්ව-දැනුම්වත් කිරීම් සහ හදිසි අවස්ථාවකදී පිළිපැදිය යුතු ක්‍රමවේද නිරූපන ආරම්භ කෙරුණේ ද එම අනතුරට පසුව ය.
ඩීප් සී විෂන් සමාගම (Deep Sea Vision company) එම ගවේෂණය පිණිස පූර්ණ තාක්ෂණ සහාය සැපයීය. ඒ අනුව, එහි අඩි 2000ක් පමණ ගැඹුරු අත්ලාන්තික් සයුරු පතුලේ වූ ගුවන් යානයේ සුන්බුන් හඳුනා ගැනීමට හැකි විය. දිය යට ගමන් ගන්නා ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා ද ඒ සඳහා භාවිතා කෙරිණි.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/22/2026
(
Lost Pan Am flight found on ocean floor after crashing 74 years ago







