හෝර්මුස් වැසෙද්දී බාබ් එල්-මන්දෙබ් අර්බුදයත් දරුණු අතට: සෞදි තෙල් නැව් දෙකක් හුති ප්‍රහාරවලින් ගිනි ගනී
"නැව්වලට ගැහුවොත් ඉරාන යටිතල පහසුකම් වනසනවා" - ට්‍රම්ප් තර්ජනය කරද්දී ඉරානයෙන් එක්සත් ජනපද කඳවුරුවලට ප්‍රතිප්‍රහාර
ඉරාන හිතවාදී හුති සන්නද්ධ කල්ලිය අද (23), සෞදි ඉන්දන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කළහ. සෞදි අරාබියට එරෙහි නාවුක තහනමේ ඉදිරි පියවරක් ලෙස, එම ප්‍රහාර එල්ල කළ බව, ඔවුහු පැවසූහ. ඉරාන විප්ලවීය හමුදා, හෝර්මුස් සමුද්‍ර සන්ධිය දැනටමත් වසා දමා ඇති පසු බිමක, රතු මුහුදු කලාපයේ හුති සන්නද්ධ ක්‍රියාන්විත, ගෝලීය ඉන්දන සැපයුම තව දුරටත් අඩාල කරමින් පවතී.
මේ අතර, අඛණ්ඩ 12 වන රාත්‍රියටත් එක්සත් ජනපද හමුදා, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මග පෙන්වීම යටතේ, ඉරාන ඉලක්ක වෙත, නව ප්‍රහාර මාලාවක් දියත් කළහ. ඉරානය ද ඊට ප්‍රති ප්‍රහාර දැක්වීය.
ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද මිසයිල පද්ධති, අවි සහ ඉන්දන ගබඩා වෙත පහර දුන් බව, ඉරානය සඳහන් කළේය. කුවේට් හි, අල් - අදිරි කඳවුර මෙන්ම, අලි අල් - සලෙම් ගුවන් කඳවුර, දෝහා සහ අරිෆ්ජාන් කඳවුරුහි එක්සත් ජනපද යටිතල පහසුකම් වෙත ද, එම ප්‍රහාර එල්ල විය.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සිට අරාබි අර්ධද්වීපයේ, ඊට ප්‍රති විරුද්ධ දිශා අන්තයේ, රතු මුහුදේ බාබ් එල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය සහ එම කලාපය, හුති පාලනය යටතේ පවතී. සෞදි අරාබියට එරෙහි නාවික තහනමක් පනවන බව, එම සංවිධානය සඳුදා (20) දැනුම් දුන්නේය. එය ඉරානයේ වාසි තකා, ඉරානය විසින්ම හුති සංවිධානය මෙහෙයවා, සිදු කෙරෙන සංග්‍රාම උපායයක් බව, යුද විශේෂඥයෝ පවසති.
ඊයේ (22), බාබ් එල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය පසුකර යාත්‍රා කිරීමට පිටත් වූ ඉන්දන නෞකා පහක්, එය මග හැර යාත්‍රා කළහ. අඟහරුවාදා (21), සෞදි ඉන්දන තොග රැගෙන චීනය සහ ඉන්දියාව බලා යාත්‍රා කිරීමට රතු මුහුදට ඇතුළු වූ තවත් නෞකා තුනකට ආපසු හැරී යාමට සිදු විය.
රතු මුහුදේ වූ එන්සෙලියා සහ ලැයිලා යන සෞදි තෙල් නැව් දෙක වෙත, මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව, හුති කල්ලිය කීය. එන්සෙලියා නෞකාව වෙත එල්ල කළ ප්‍රහාරයෙන් එහි ගින්නක් හටගත් බව, ස්පා (SPA) සෞදි රාජ්‍ය පුවත් ඒජන්සිය පැවසීය. ලැයිලා නෞකාවට කුමක් සිදු වී දැයි මෙතෙක් වාර්තා ව නැත.
රතු මුහුදේ පිහිටි යනුබ් වරාය වෙත දෛනිකව සෞදි තෙල් බැරල මිලියන ගණනක් ලඟා වේ. රතු මුහුදේ දකුණු සමුද්‍ර සන්ධිය ඔස්සේ තව දුරටත් එම ප්‍රවාහන බාධා වුවහොත්, එම ඉන්දන නෞකාවන්ට සුවස් ඇල ඔස්සේ උතුරු නාවුක මාර්ගය භාවිතා කිරීමට සිදුවේ. ඊට තවත් අමතර සති ගණනක් සහ අධි භාරයක් දැරීමට ද සිදු වේ. සෞදි අරාබි රාජ්‍යයට එරෙහි හුති සමුද්‍රීය තහනම, ගල්ෆ් ගැටුම තව දුරටත් උත්සන්න වීමකි. ඒ අනුව, ඉරාන ඉලක්ක වෙත යොමු කර ඇති එක්සත් ජනපද හමුදා, ඒ වෙත ද යොමු කිරීමට ජනපති ට්‍රම්ප් ට සිදු වේ.

අද (23), සෞදි ඉන්දන බැරල මිලියන 4කට ආසන්න තොගයක් රැගත් සුවිසල් චීන ඉන්දන නෞකා දෙකක් බාබ් එල්- මන්දෙබ් සමුද්‍ර සන්ධිය බලා යාත්‍රා කළහ.
ඊයේ, රතු මුහුදේ ගැටලුව උග්‍ර වීමට මත්තෙන්, විශේෂ නිවේදනයක් නිකුත් කළ ජනපති ට්‍රම්ප්, ඉරානය, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන නෞකාවක් ඉලක්ක කරන සෑම අවස්ථාවකම, ඉරාන පාලමක් හෝ බලශක්ති මධ්‍යස්ථානයක් බැගින් විනාශ කරන බවට තර්ජනය කළේය. එක්සත් ජනපද හමුදා එසේ කළහොත්, කලාපයේ අනෙකුත් ඉන්දන, ගෑස්, විදුලි සහ ආර්ථික යටිතල පහසුකම් වෙත පහර දෙන බව, ඉරාන හමුදා දැන්වූහ. එමෙන්ම, එකද තෙල් බිඳක් හෝ අපනයනයට ඉඩ නොතබන බවටද, ඔවුහු තර්ජනය කළහ.
පසුව නිවේදනයක් නිකුත් කළ ඉරාන විපලවීය බලකාය, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ මුහුදු බෝම්බ ඇතිරූ මාර්ගයේ පිපිරීමක් වාර්තා වූ බවත්, එහි යාත්‍රා කළ නෞකා තුනෙන් එකක් ගිනිගෙන දැවෙමින් ඇති බවත්, ඉතිරි යාත්‍රා ආපසු හරවා ගිය බවත් පැවසීය. එම සමුද්‍ර සන්ධියේ පාලනය තමන් අත පවතින බවත්, එය මුළුමනින් වසා ඇති බවත්, ඔවුහු කියා සිටියහ. ඉරානය හා සම්බන්ධීකරණයෙන් තොරව කිසිදු නෞකාවකට එහි ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට ඉඩ නැතැයි ද, ඔවුහු අනතුරු ඇඟවූහ.
එක්සත් ජනපද හමුදා, බුෂෙහ්ර් හි පිහිටි ඉරානයේ එකම වෙළඳ න්‍යෂ්ටික ප්‍රතික්‍රීයකය අසල හමුදා ඉලක්ක වෙත අද දෙවරක් ප්‍රහාර එල්ල කළ බව ද, ඉරාන මාධ්‍ය නිවේදනය කළේය.
ඉරාකය හා දේශ සීමා හුවමාරුවක් වන ෂලම්චේ හි එල්ල කළ එක්සත් ජනපද මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 11 දෙනෙක් තුවාළ ලද බව ද වාර්තා වේ.
ඉරානය යුදමය වශයෙන් පරාජය කළ බව, එක්සත් ජනපද හමුදා ප්‍රකාශ කළ ද, ඔවුහු තව දුරටත් මිසයිල සහ ඩ්‍රෝන ශක්තිය විදහා දක්වමින් සිටිති.

ඉකුත් මස සිට මේ වන තෙක්, යුද්ධයෙන් සිවිල් පුද්ගලයින් 53ක් ජීවිතක්ෂයට පත්ව 592ක් තුවාළ ලබා ඇතැයි, ඉරාන සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පැවසීය. පෙබරවාරි 28 දා, ඊශ්‍රායල සහ එක්සත් ජනපද ප්‍රහාර හමුවේ ඇරඹි ඉරාන යුද්ධයෙන් මේ වන විට, පුද්ගලයින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව, මිලියන ගණනක් අවතැන් ව සිටිති.
යුද්ධයේ මානුෂීය ක්‍රියාකාරකම් පිලිබඳ 1949 ජිනීවා සම්මුතිය ප්‍රකාරව, කිසි විටෙකත් එය උල්ලංඝනය වන සේ සිවිල් පුද්ගලයින් ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකරන බව, එක්සත් ජනපද හමුදාව පැවසීය. කෙසේ වෙතත්, සිවිල් පහසුකම් යුද ඉලක්ක සේ භාවිතකළහොත් ඒවාට නොපැකිළ ප්‍රහාර එල්ල කරන බව, ජනපති ට්‍රම්ප් විසින් පුන පුනා ප්‍රකාශ කර තිබේ.
යුද්ධයෙන් මෙතෙක් එක්සත් ජනපද හමුදා සාමාජිකයින් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව 450කට අධික භට පිරිසක් තුවාළ ලබා සිටිති. පසු ගිය දින කිහිපය තුළ ජෝර්දානයේ සහ ඉරාකයේ එක්සත් ජනපද කඳවුරු වෙත එල්ල කළ ඉරාන ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත් හමුදා සමාජිකයින් සිව් දෙනකුගේ අවමගුල් අවස්ථාවන්ට සහභාගී වීම පිණිස ඊයේ, ඩෙල්වෙයාර් හි ඩෝවේ ගුවන් හමුදා කඳවුර වෙත ගිය ජනපති ට්‍රම්ප්, ජනපතිවරයකු ලෙස, යුද ගැටුමකට යාමට හිත හදා ගැනීම අතිශය දුෂ්කර වූ බව පැවසීය.
එහෙත්, ඉන් අනතුරුව ජෝර්ජියාවේ දී අන් ස්වරයකින් අදහස් පළ කළ ඔහු, "ඕක පොඩි හැප්පිලක් විතරයි," යනුවෙන් කීය.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/23/2026
(
මුලාශ්‍රය :
Houthis say they attacked Saudi tankers in the Red Sea, threatening new chokepoint in Iran war







