රතු මුහුදේ සෞදි තෙල් නැව්වලට එල්ල වූ හුති ප්‍රහාර හමුවේ එක්සත් ජනපදය සහ ඉරානය අතර යුධ උණුසුම ඉහළට
ඉරාන තහනම් වත්කම්වලින් හානි පූර්ණය කිරීමට ට්‍රම්ප් සැරසෙද්දී; "එය අනතුරුදායක පූර්වාදර්ශයක්" යැයි ඉරානයෙන් පිළිතුරු
යේමන හුති කල්ලියට දැඩි හමුදාමය දඬුවම් පනවන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, රතු මුහුදේ සෞදි ඉන්දන නෞකා දෙකක් වෙත හුති ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුවය.
බ්‍රෙන්ට් බොරතෙල් 6%කින් ඉහළ ගිය අතර බැරලයක මිල මැයි මස සිට මුල් වරට, ඇමෙරිකානු ඩොලර් 100ක් ලෙස සටහන් විය.
ඊයේ (23) රාත්‍රී සහ අද (24) උදෑසනද අඛණ්ඩ 13 වන දිනටත්, එක්සත් ජනපද හමුදා ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළහ. ඉරානය ද එක්සත් ජනපද කඳවුරු පිහිටි, අසල රටවලට පහර දුන්නේය. හෝර්මුස් කලාපයේ ඛෙෂ්ම් දිවයිනට එක්සත් ජනපද ප්‍රහාර එල්ල වූ බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේය. එරට අහ්වාස් නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාර හමුවේ, පුද්ගලයින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව, තවත් පස් දෙනෙක් තුවාල ලදහ.
සෞදි නෞකා දෙක වෙත එල්ල වූ හුති ප්‍රහාරයෙන් අනතුරුව කථා කළ ජනපති ට්‍රම්ප්, ඔවුන් විසින් සිදු කෙරෙන ඉදිරි ප්‍රහාරයන්හි වගකීම ඉරානය දැරිය යුතු යැයි ද පැවසීය.
උතුරු සහ බටහිර යේමනයේ පාලනය හුති සංවිධානය අත පවතී.
"උං ඒ දේ ආපහු කළොත්, ඒකෙ වගකීම ඉරානය බාර ගන්නෝන. ඒකෙදි හුති කියන්නෙ ඉරාන ආදේශකය. ඉරානෙටයි, උංටයි දෙගොල්ලන්ටම දැඩි හමුදා දඬුවම් දෙනවා," ට්‍රම්ප් සමාජ මාධ්‍ය සඳහනක පැවසීය.
ඉරානය වෙත ප්‍රධාන පෙළ හමුදා ක්‍රියාන්විතයක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, එම අවසන් තීරණවලට ඉතා ආසන්න බවත්, ඔහු ඇක්සියෝස් පුවත් වෙත පැවසීය.
"මුන්ට තාම මේක රිදෙන්න දැනිල නෑ," ඔහු කීය.
ගල්ෆ් කලාපයේ ජාත්‍යන්තර නෞකාවන්ට සිදුවූ සියලු හානි පූර්ණය, එක්සත් ජනපදය සතු තහනම් ඉරාන වත්කම් මගින් සිදු කරන බවද, ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ කීවේය. එහෙත්, ඒ කෙසේ දැයි ඔහු විසින් සඳහන් කර නැත.
එක්ස් (X) හි ඊට පිළිතුරු දුන් ඉරාන විදෙස් ඇමති, අබ්බාස් අරඛ්චි, සහසම්බන්ධිත නොවන අනාගත හිමිකම් ප්‍රතිපූර්ණයට තවත් රටක වත්කම් තහනම් කිරීම ගැටුම්කාරී පූර්වාදර්ශයක් බවට අනතුරු ඇඟවීය.
"යම් රජයන් මෙවැනි දේපළ අත්පත් කර ගැනීම් සාමාන්‍ය දෙයක් සේ සලකන්නේ නම්, එවැනි වින්දිතයින් සියලු දෙනාගේ ද වත්කම් අනාරක්ෂිතයි. එවිට ඔවැනි කිසිදු ප්‍රකාශයක් තව දුරටත් 'හුරුබුහුටි' හෝ සාමකාමී වන්නේ ද නෑ," අරඛ්චි අද වැඩි දුරටත් පැවසීය.
සෞදි අරාබියට එරෙහි හුති නාවුක තහනම පැනවීමට දින කිහිපයකට මත්තෙන්, ඉරාන විපල්වීය බලකා කොමාන්ඩෝවරු, හමුදා උපදේශකයින්, මිසයිල හා ඩ්‍රෝන මෙන්ම, ඒ ආශ්‍රිත යුදෝපකරණ ඉරානයේ සිට යේමනයට ගුවනින් ලඟා වූ බව, රොයිටර්ස් පුවත් සේවයේ සඳහන් කර තිබේ. හුති සංවිධානය විසින් එම තොරතුරු ප්‍රතික්ෂේප කර ඇති බව ද එහි දැක්වේ.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/24/2026
(
මුලාශ්‍රය :
US strikes Iran from south to north after Trump threats over Red Sea shipping







