ව්‍යාජ ලියාපදිංචි කිරීම් හරහා ලබාගත් බිලියන 2.2ක සහනාධාර අවලංගු කිරීමට ට්‍රම්ප් පාලනයෙන් සැර පියවරක්
ලියාපදිංචි කිරීම් කළ තැරැව්කරුවන්ටත් මාස 6ක තහනමක්; දැඩි පරීක්ෂාවකින් තොරව සහනාධාර බෙදීමේ අනතුර ලොවටම පාඩමක්.
ඇමරිකාවේ ඔබාමාකෙයාර් (Obamacare) හෙවත් දැරිය හැකි සෞඛ්‍ය ආවරණ වැඩසටහන (Affordable Care Act - ACA) යටතේ ලියාපදිංචි වී සිටින 760,000 ක පිරිසක් රාජ්‍ය සෞඛ්‍ය හුවමාරු (උපකාරක) වැඩසටහනෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් (JD Vance) ඇතුළු පාලන අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කරයි.
මෙම පුද්ගලයින් වංචනික ලෙස ලියාපදිංචි වී ඇති බවට හෝ සැබවින්ම පැවැත්මක් නොමැති අය බවට චෝදනා එල්ල වේ.
ඩොලර් බිලියන 2.2ක ඉතිරියක් සහ අත්හිටවූ තැරැව්කරුවන්

රජය රට පුරා ක්‍රියාත්මක කරන වංචා මර්දන වැඩපිළිවෙලෙහි කොටසක් ලෙස සිදුකළ මෙම සොයාගැනීම සහ සහනාධාර ගෙවීම් අවලංගු කිරීම මගින් ඩොලර් බිලියන 2.2 ක මහජන මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවන බව වැන්ස් පැවසීය.
"අපි සැබවින්ම තහවුරු කරමින් සිටින්නේ ඔබාමාකෙයාර් (Obamacare) සහනාධාර ලබන පුද්ගලයින් සැබවින්ම ඒවා ලැබීමට සුදුසුකම් ලබා ඇත්ද යන්නයි," යනුවෙන් වංචා තුරන් කිරීමේ රාජ්‍ය කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වැන්ස් සඳහන් කළේය. Medicare සහ Medicaid සේවා මධ්‍යස්ථානයේ (CMS) පරිපාලක වන වෛද්‍ය මෙහ්මෙට් ඕස් (Dr. Mehmet Oz) ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
760,000 ක පිරිසක් ආවරණය වන පරිදි සිදුකර තිබූ 315,000 ක පමණ ලියාපදිංචි කිරීම් අවලංගු කිරීමට හේතු වූයේ ලියාපදිංචි වූවන්ගේ සුදුසුකම් රජය විසින් නිසි ලෙස තහවුරු නොකිරීමයි. තවත් 419,000 කගේ ලියාපදිංචි කිරීම් ඉදිරියේදී දැඩි අතිරේක විගණනයකට ලක්කෙරේ. එමෙන්ම, මෙම වංචාවලට සම්බන්ධ බවට හෙළි වූ සෞඛ්‍ය ආවරණ ලියාපදිංචි කරන නව නියෝජිතයන් සහ තැරැව්කරුවන් සඳහා මාස හයක තහනමක් පැනවීමටද පියවර ගෙන ඇත.
වසංගත කාලයේ පිම්ම සහ අස්වැසුමට ලැබෙන පාඩම
ඇමරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවට අනුව, ඇමරිකානුවන් මිලියන 19.2 ක් පමණ ACA වෙළඳපොළ සෞඛ්‍ය සැලසුම් යටතේ සක්‍රීයව ලියාපදිංචි වී සිටිති. හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයේ සම්මත වූ නීති මඟින් සහනාධාර ඉහළ නැංවීමත් සමඟ මෙම සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.
ලෝකයේ බලවත්ම රාජ්‍යය පවා සහනාධාර බෙදාහැරීමේදී මෙවැනි බිලියන ගණනක වංචා සහ දත්ත දෝෂ හඳුනාගනිමින් ඒවා නිවැරදි කරද්දී, ශ්‍රී ලංකාවේ ‘අස්වැසුම’ වැනි සුබසාධන වැඩසටහන්වලදී ද දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, නිවැරදිම පිරිස් වෙත පමණක් මුදල් ගලායන බවට තහවුරු කෙරෙන මෙවැනි ස්වාධීන සහ දැඩි විගණනයක අවශ්‍යතාව මැනවින් පෙන්නුම් කරයි.
( සටහන | සේන සූරියප්පෙරුම)
ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක
වැඩිදුර කියවීම සඳහා මූලාශ්‍ර සබැඳි
AP News: Trump administration to remove 760,000 Affordable Care Act enrollees over fraud claims
The Washington Post: Trump officials cut 760,000 enrollees from ACA, claiming fraud







