1200 x 80 DMirror

 
 

මේ අරගලය සහ එහි ඉදිරිය ගැන කතාබහ කරන මීටින් ගානකට ගියා. ඇත්තටම ඒ මීටින් හරිම විහිලුසහගතයි. ඒවායෙ ඉන්නෙ පොඩිපහේ අයත්

නෙමෙයි. ගොඩක් ලංකාවෙ බුද්ධිමතුන් කියල සැලකෙන පිරිස්. ඒත් ඒ අය මේ ප්‍රශ්නය ඉස්සරහ හරිම අසරණයි.

සමහරක් අය මේක ආර්තික ප්‍රශ්නයක් විදිහට අරගෙන ඒකට ඉක්මන් පිළියම් කතා කරනවා. තව කට්ටියක් මේක දේශපාලන ප්‍රශ්නයක් කියල ඒක ව්‍යවස්ථානුකූලව විසඳන ක්‍රම ‍යෝජනා කරනවා.

අමුතුම දේ තමයි මේ හැමෝම කතා කරන්නෙ අරගලයට පිටස්තරව ඉඳගෙන වීම. ඒ අය උත්සාහ කරන්නෙ මේ අරගලය තුලින් මතුවෙන අර්බුදවලට ඒ අය දන්න විසඳුම් දෙන්න.

ඇත්තටම මෙතනදි සිද්ද වෙන අකරතැබ්බ තමයි ඒ අය පවතින ආයතන ඇතුලෙන්, නැත්නම් ආකෘති ඇතුලෙන් අර්බුදය විසඳන්න හදන එක.

 

අපිට මතක තියාගන්න වෙනවා මෙතෙක් නොවූ විරූ අර්බුදයක් විසඳන්න නම් අපිට මෙතෙක් නොවූ විරූ පිළිවෙත් අනුගමනය කරන්න වෙනවා කියන එක (රොහාන් සමරජීව නිතර කියන පරිදි). ඒ කියන්නෙ පෙර පැවති රාමු ඇතුලෙන් අර්බුදය දිහා බැලීම තවදුරටත් වලංගු නෑ. අපිට සිද්ද වෙනවා අරගලය ඇතුලෙන් ‍නැවත රාමු දිහා බලන්න. ඒ රාමු ගලවා අලුත් රාමු නිර්මාණය කරන්න.

 

මෙතනදි එකක් විසඳා අනෙකට යනවා කියල එකක් නෑ. සියල්ල විස‍දෙන්නෙ එක මාර්ගයකින්. සියල්ල සිදුවෙන්නෙ එකට. මේක තේරුම් ගන්න නම් මේ බුද්ධිමතුන් සහ සිවිල් ක්‍රියාකාරීන් අරගලයේ කොටස්කාරයන් වෙන්න ඕන. ඒකට පිටින් ඉඳන් ඒක විශ්ලේෂණය කරන්න හදන පරණ මෙන්ටැලිටියෙන් එලියට එන්න ඕන. ඉස්සෙල්ල පුරවැසියන් වෙන්න.. ඒකයි අරගලයේ පළමු යෝජනාව.

ඔව්. පැහැදිලිව අපි මෙතනදි ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මූන දීලා ඉන්නවා. ඒ දෙකම විසඳන්න යෝජනාවකුත් පොලොවෙන් මතුවෙලා තියෙනවා. මේ අරගලය කියන්නෙ අර්බුදයක් නෙමෙයි මේ අර්බුදයට විසඳුමයි. ආර්තික දේශපාලන අර්බුදයට විසඳුම විදිහට අරගලය විසින් යෝජනා කරන්නෙ සංස්කෘතික වෙනසක්.  ආර්තික දේශපාලන ඇහෙන් විතරක් බැලුවොත් ඒ විසඳුම පේන්නෙ නෑ.

ආර්ථික ප්‍රශ්නය ගැන මං හිතන්නෙ නිශාන් ඩිමෙල් සහ හර්ෂ ද සිල්වා කරන පැහැදිලි කිරීම් ඇහුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් ඒකෙ දිග පළල වැටහෙන පිරිසක් රටේ ඉන්නවා කියන එක. අපි හැමෝම දන්නවා වගේ ආර්ථිකය ගැන කූරු ගාන්න යන එක තේරුමක් නෑ. ඒක අතිශය පළල් විෂයක් ව‍ගේම මේ වගේ වෙලාවක අතිසංකීර්ණ තත්වයන් එක්ක ගනුදෙනු කිරීමක්. මෙතනදි සමාජවාදයද, ධනවාදයද වගේ ප්‍රාථමික ප්‍රශ්නවලින් වැඩක් නෑ. අපිට හොයන්න වෙන්නෙ අර්බුදයට වඩාත් ගැලපෙන විසඳුම මිස අපේ මතවාදයට ගැලපෙන විසඳුම නෙමෙයි.



ඊළගට අපිට තියෙන්නෙ දේශපාලන අර්බුදය. ඇත්තටම ආර්තික අර්බුදය විසදන්න නම් දේශපාලන අර්බුදය විසඳන්නම ඕන. රාජපක්ෂලා ගෙදර නොයා මේ රටේ ආර්තික අර්බුදය විසඳනවා කියල එකක් නෑ. රාජපක්ෂලා තමයි අර්බුදය. ඒකයි අරගලය විසින් ගෝටා ගෙදර යවන්න යෝජනා කරන්නෙ. ඒක තමයි එකම පරම විසඳුම.

 

අනික තමයි රාජපක්ෂ සංස්කෘතිය. සල්ලිවලට ඕනම මජර වැඩක් කරන පාදඩ සමාජයක් නිර්මාණය කිරීම. බොරුව, රැවටීම, නීතිය බල්ලට යැවීම. ජාතිවාදය. ලිංගික කුහකකම. මේ අරගලයේ යෝජනාව වෙන්නෙ ඒ සංස්කෘතිය වෙනස් කිරීම. නැවත සහෝදරත්වය, ආදරය පිළිබඳ පණිවුඩය.

 

ගොඩක් අය කතා කරනවා ඉස්සරහට එන සාගතය ගැන. ඒකට විවිධ විසඳුම් ගැන. අරගලය විසින් යෝජනා කරනවා විසඳුම්.  උපරිම බෙදාහදා ගැනීමක සාමූහික සංස්කෘතියක්. අමාරුම කාලවලදි ඉන්න වෙන්නෙ එහෙමයි. හැකි උපරිමයෙන් එකිනෙකා සමග දේවල් බෙදාගෙන ජීවත් වීම. ඒක ආණ්ඩුවක් හෝ අධිකාරියක් විසින් බලෙන් කරන දෙයක් නෙමෙයි. පුරවැසියො විනෝදයෙන් ආදරයෙන් කරන බෙදාහදාගැනීමක්. මේක ඉස්සරහට එන සාගත කාලෙදි ඉතාම අවශ්‍ය පුහුණුවක් වෙනවා.


සාමූහිකත්වය කියන්නෙ අරගලයේ යෝජනාවක්


සාමූහිකත්වය කියන්නෙ අරගලයේ යෝජනාවක්. තනි තනියෙන් අර්බුද විසඳන වැඩ්ඩො වෙන්න යනවා වෙනුවට තමතමන්ගේ විෂයන්වල ප්‍රවීන කණ්ඩායම් විදිහට විවිධ අංශවලින් අර්බුදය විසඳන්න දායක වීම. මේක නැවත රජයකට හෝ අධිකාරියකට බාරදෙන්න යනවා නෙමෙයි. මේ අර්බුදයට මුහුණදෙන්නෙ වෙන්නෙ පුරවැසි සංවිධාන එකතුවක් විදිහට. මේ අර්බුදය අපි දකිනවට වඩා විශාලයි. අරගලය ඇතුලෙ අපි කියවගන්න ඕන දේ ඒකයි.

මේක අලුත් සංස්කෘතික යෝජනාවක්. අපේ රට වැටෙන වැටිල්ලෙ හැටියට පරණ රාමුගත සංස්කෘතියෙන් ගොඩඑන්න අමාරුයි.

වෘත්තිකයන් සහ ප්‍රවීනයන්ගේ මේ සාමූහික ව්‍යායාමය සාර්ථක වෙන්න නම් පක්ෂවලින් සිද්ද විය යුතු දේවල් තියෙනවා.

 

තවදුරටත් මේ රටේ පක්ෂ නෑ. ඉස්සෙල්ලා අරගලය දිහා බලලා ඒක තේරුම් ගන්න වෙනවා. රාජපක්ෂලා එළවන්න පාර්ලිමේන්තුවේ සියල්ලන් එක්ව ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම මේ වෙලාවෙ පක්ෂ නියෝජිතයන්ගේ මූලිකම වගකීම. එතනදි ගාලුමුවදොර අරගලයට සමාන්තරව රට පුරා දුක් විඳින තමන්ගේ පාක්ෂික ජනතාව පාරට ගෙන්න ඕන. විරෝධය උත්සන්න කරන්න ඕන.

 

ගෝටා ලේසියෙන් නොයන වග පැහැදිලියි. ගෝටා ඉන්න තරමට අර්බුදය දැඩිවන වගත් පැහැදිලියි. ඒ නිසා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ කාර්යය වෙන්නෙ තමන්ගේ ශක්තියෙන් ආණ්ඩුවට එල්ල කළ හැකි උපරිම පීඩනය සංවිධානය කිරීමයි. මේකට හැමෝම ගෝටා එළවීමේ තනි බැනර් එක යටට එන්න ඕන.

මේ ආණ්ඩුව ඉවත් කිරීමෙන් පස්සෙ රටට ඉදිරිපත් කරන නව යෝජනාවලියක් සමග සාමූහික අන්තර්වාර පාලනයක් ඇති කරගැනීමට එකගතාවය ඇති කරගන්න වෙනවා.

ගොඩක් අය යෝජනා කරන පරිදි ඒක මාස 06ක පාලනයක් වීම තේරුමක් නෑ කියලයි මං හිතන්නෙ. අවම අවුරුදු දෙකක අන්තර්පාලනයක් ඇතුලෙ අපි අර්බුදයෙදි ගත යුතු දැඩි තීරණ අරගෙන අභියෝගවලට මුහුණ දෙන්න ඕන.  

මේ අරගලය එක්ක ගැටුම් ඇතිකරගන්න ආණ්ඩුව පැත්තෙන් ගන්න හැම ව්‍යායාමයක්ම ව්‍යර්ථ වෙමින් යනවා. ඒ අයගෙ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිශ්ක්‍රීය වෙනවා. ඒක සිද්ද වෙන්නෙම අරගලයෙ පවතින අවිධිමත් බව නිසා. ඒක මධ්‍යගතවාදයක් අනුව ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. ඒ නිසාම හැමකෙනෙක්ම ස්වාධීනව තීරණ ගනිමින් තනි අරමුණක් වෙත ක්‍රියා කරනවා.

ksl

රාජපක්ෂවාදයේ මූලික ලකුණක් වන ඇල්ෆා මේල් හෙවත් ගෝරිලි පිරිමි ආකෘතිය වෙනුවට අරගලය ස්ත්‍රී හැඩයක් ගන්නවා. ඒ අය බැහැර කිරීම වෙනුවට බාරගැනීම යෝජනා කරනවා. ප්‍රචන්ඩත්වය ‍වෙනුවට ආදරය යෝජනා කරනවා. ඒකත් එක්ක හැප්පෙන්න පිරිමි පාර්ට්වලින් අමාරු වෙනවා.

 

ඒ වගේම මේක යමක් නිශේධනය කරන, කඩා බිඳදමන අරාජික අරගලයක් නෙමෙයි. මේ අරගලය විසින් දේවල් නිර්මාණය කරනවා. මේ වෙද්දි ඒ අරගල ප්‍රජාව විසින් ලංකාවට ආදර්ශ ගමක් නිර්මාණය කරලා තියෙනවා.

ගෝටාගෝගම කියන්නෙ හැමෝම ඉන්න කැමති ගමක්. ඒ ගමේ ජාතිවාද නැති ආගම්වාද නැති සහෝදරත්වයකින් බැඳුනු සුන්දර ප්‍රජාවක් ඉන්නවා. ඒ අය නීතිය ගැන, තමන්ගේ අයිතිවාසිකම් ගැන ඉගෙන ගන්නවා. සාධාරණ යුක්තිගරුක රටක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරනවා. මේක අපි නිතර දකින වාමාංශික අරගලවලින් වෙනස් වෙන්නෙ ඒකයි.

මෙතෙක් පැනනැගුනු අරගල හැම එකක්ම පාහේ යමක් හකුලාගන්න, වසාදමන්න ඇතිවුනු අරගල. ඒ වෙනුවට ගෝටාගෝහෝම් අරගලය අලුතින් තත්වයක් නිර්මාණය කරන අරගලයක්.

 

මේක සමනළ විප්ලවයක්. විවිධ වර්ණ ඇති සැහැල්ලුවෙන් පියාඹන පොලොවට බරක් නැති තරුණ පරපුරක අරගලයක්. ‍මේ කෑ ගහන්නෙ පඩි වැඩි කරන්න හෝ රස්සා දෙන්න කියල නෙමෙයි. මේ කෑ ගහන්නෙ රටට අනාගතයක් හදන්න.

 

අපි ගොඩක් අය දකිනවා අරගලයට දේවල් උගන්නන්න හදන. ඒත් මං හිතන්නෙ ඊට වඩා අවශ්‍ය වෙන්නෙ අපි අරගලයෙන් ඉගෙන ගන්න එක.



චින්තන ධර්මදාස (Author of Faculty Of Sex)(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 
 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58