රනිල් වික්‍රමසිංහ ඊයේ විනාඩි 15ක විතර උද්වේගය පිරුණු කතාවක් කළා. වම් අත පැත්තේ ඉදගෙන ඔලුව වන වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අහගෙන හිටියා. පිටි පස්සේ සීට්ටුවේ ඉඳලා ගාල්ලේ වජිර අබේවර්ධන ඇස් උඩ තියාගෙන මේසෙට තට්ටු කර කර අහගෙන හිටියා. එක වෙලාවකදී මහින්ද රාජපක්ෂත් බැරි බැරියාවේ නැඟිටලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අත්වැල් ඇල්ලුවා. දැන් මේ කතාව නව මාධ්‍ය ලෝකයේ හෝ ගාලා සංසරණය වෙනවා විතරක් නෙවෙයි සංසර්ගය වෙන්නත් පටන් අරගෙන.

 

ඒකට හේතුව වෙන්න ඇත්තේ ආයේ අරගල කරන්න දෙන්නේ නෑ, හමුදාව කැඳවනවා, නියෝග දෙනවා, පාරේ එක පැත්තකින් යන්න, උද්ඝෝෂණ වලට යනවා නම් ලයිසොන් එක අරගෙන යන්න, කුමාර් ගුණරත්නම් තමයි මේක මෙහෙයුවේ කියලා කියපු කතා ටික වෙන්න ඇති. මේ කතා ටික අහන්නම මේ කතාවට කන් හරෝපු මට ඊට වඩා වැදගත් කතාවක් ඇහුනා. ඒක තමයි උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීම ගැන රනිල් – සුමන්තිරන් සහ ලක්ෂමන් කිරිඇල්ල අතරේ ගිය සංවාදය. මට මේ සංවාදය ගොඩක් වැදගත්. මේ සංවාදයට මනෝ ගනේෂන් විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂත් මැදිහත් වුණා. ඉතිං මට මේ කතාව ඇහුවාම හිතුනා මේ ගැන ලියන්න ඕනී කියලා.

 

මේ කතාව ගැන මගේ කතාව තමයි මේක. මේ කතාව අහගෙන හිටපු අපේ මිත්‍රයා විදර්ශන කන්නංගර කියලා තිබුණා හා දැන් හරි ෂෝක් රනිල් වික්‍රමසිංහ ඔන්න දැන් හරියටම දෙපැත්ත බෙදලා ඉර ගහලා තියෙනවා කියලා. මේ සටහන කියෙව්වාම මට හිතුනා මමත් වැටිලා ඇත්තේ අනිවාර්‍ය්‍යෙන් රනිල් වික්‍රමසිංහ ඉන්න පාර්ශවයට වෙන්න ඇති කියලා. මම විතරක් නෙවෙයි ඒ පැත්තට ලාල් කාන්තත් වැටිලා කියලා මට හිතෙනවා. එහෙම හිතුවාම හරිම සතුටුයි. ඉතිං මෙන්න මේ සිතුවිල්ලත් මේ ලියවිල්ලට එක හේතුවක්.

 

0xLMzha98aavUUci 01

අරාබි වසන්තය


2010 තරම් ඈතක අරාබි ලෝකයේ ටියුනීෂියාවෙන් පටන් අරගෙන ලිබියාව, ඊජීප්තුව, යේමනය, සිරියාව, බහරේන් වගේ රටවල් හරහා හමාගෙන ගිය අරාබි වසන්තය කියලා අපි හඳුන්වන විරෝධතා රැල්ල එක්ක මේක සංසන්ඳනය කරලා බලනකොට ලංකාවේ මේ අරගලයේ සහ මේ විරෝධතා අතර විශාල වෙනස්කම් නෑ. සමාන කම් ගොඩක් තිබුණා. මේ යුගයේ ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය වැඩකරන විදිහ තමයි මේක. මේ කිසි අරගලයක නිසි නායකත්වයක් තිබුණේ නෑ. අවසානය ගැන නිශ්චිත අදහසක්, මතයක් තිබුණෙත් නෑ. එහෙම තියලා මේක දිහා පුලුල් කෝනයකින් බලනකොට මේ අරගලයේ අවසානය ගැන මට තිබෙන්නේ දුකට වඩා සතුටක්. ඒකට හේතුව තමයි මුලින් සඳහන් කරපු රටවල් අරාජිකවාදයේ කරවටක් ගිලෙනකොට ලංකාව ඊට වෙනස් නැවතුමක නතර වීම. මට හිතෙන්නේ ඒක අපේ දක්ෂතාවයක් නෙවෙයි. ඒක ඉන්දියාව මේකට මැදිහත් වුණ විදිහ අනුව සිද්ධ වුණ දෙයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වීම ලංකා පාර්ලිමේන්තුවෙන් සිද්ධ වුණත් ඒක පිටිපස්සේ තිබුණ සැළැස්ම ඉන්දියාවේ. මොකද ලංකාව අස්ථාවරත්වයක් දිහාට තල්ලුවීම සහ වීදි සටන් ඇවිලීම ඉන්දියාවේ බලාපොරොත්තුව නෙවෙයි. මේ පියවර ඉන්දියාව විසින් ඉන්දියාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත් පියවරක් මිසක් අපිට ආදරේට ගත්ත පියවරක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ.


මේ අරගලය යන අවධියේ ලිබියාව ගැන ලෙබනනය ගැන මට නිතරම මතක් කරපු මගේ සිනමා මිත්‍රයෙක් හිටියා. මිනිහා නිතරම කීවේ මේක ලෙබනනයක් වෙලා තමයි නතර වෙන්නේ, අපි මේක කොහොම හරි එතනට යා නොදී බේරගන්න ඕනෑ කියලා. ඒ හැම වෙලාවකම මගේ මතය වුණේ ඉන්දියාව කවදාවත් මේක ඒවගේ අස්ථාවරත්වයකට වැටෙන්න ඉඩ දෙන්නේ නෑ කියන දේ. මොකද ශ්‍රී ලංකා රාජ්‍යය මරණාධාර සමිතියක් වගේ උනාට ඉන්දියාව එහෙම නෑ. ඉන්දියාව, පාලකයෝ සහ නිදහස් අරගලය ශක්තිමත් ඉන්දියානු ජාතික රාජ්‍යයක් ගොඩනඟලා තිබෙනවා.

 

මෙන්න මේ භූ දේශපාලනික සිතියම උඩ අරගලය දිග ඇරගත්තාම මට රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වීම ගැන හෝ අරගලය අවසන් වීම ගැන හෝ සෝ සුසුම් නෑ. මොකද මට කවදාවත් සමාජවාදී විප්ලව සිහිනයක් හෝ සමාජවාදී රාජ්‍යයක් හදා ගැනීමේ හෝ සිහිනයක් නෑ. මගේ හීනය ප්‍රතිසංස්කරණයන් හරහා නවීන සහ සාධාරණ රාජ්‍යයක් හදාගැනීම(සාපේක්ෂව). සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැවෝටම තමන්ගේ වාර්ගික අනන්‍යතා එක්ක සතුටින් සහ නිදහසින් ඉන්න පුලුවන් ආර්ථික නිදහසක් උරුම රාජ්‍යයක් තනාගැනීම තමයි මගේ හීනය. මේ හීනය අස්සේ ඉඳලා මම ඊයේ රනිල් වික්‍රමසිංහ කරපු කතාව අහන්න ආසයි.

 

ආයි අරගල කරන්න දෙන්නේ නෑ, හමුදාවට නියෝග දෙනවා වගේ කතා අතාරින්න මම කැමතියි. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණත් ඒ කතා අතාරිනවා ඇති..!. ඒවා නිකං පොහොට්ටුව කියන ගැලරියේ විසිල් එකට කියපු කතා. ඒ පොහොට්ටු චූන් එක අස්සේ අන්තිමට කියපු කතා ටිකට තමයි මගේ කැමැත්ත තියෙන්නේ. ඒ කතාව බලය බෙදීම ගැන කතාව. බලය බෙදීම ගැන සාකච්ඡාවන් පටන් ගන්න රනිල් වික්‍රමසිංහ සූදානම් කියන දේ තමයි ඒ කතාව අස්සේ අවධාරණය වුණේ. සුමන්තිරන් සහ මනෝ ගනේෂන් ඒ සංවාදයට දායක වුණ විදිහ දිහා බැලුවාම මට හිතෙන්නේ අපි අල්ලගන්න ඕනී කතාව තියෙන්නේ මෙතන.

 

මේ සංවාදයේ එක තැනක සජබ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෙහෙම දෙයක් කියනවා ” අපිට ගෝඨාභය ජනාධිපතිතුමා අලුතින් ව්‍යවස්ථාවක් හදන්න පත්කරපු නීතීඥ කණ්ඩායම හමුවෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවට සහභාගී වෙන්න අපි යන්න ලෑස්තිවෙනකොට ඒ පාර්ශවයෙන් කිව්වා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරන්න බලාගෙන මේ සාකච්ඡාවට එන්න එපා කියලා. ඒ නිසා බලය බෙදීම ගැන පොහොට්ටුවේ අදහස මුලින්ම කියන්න. අපි ජනාධිපතිතුමා ගැන දන්නවා එතුමා අවුරුදු 20ක් අපේ නායකයා. ඔබතුමා ගැන අපිට ප්‍රශ්නයක් නෑ. ඒත් පොහොට්ටුව බලය බෙදන්න අකමැතියි. ඒක තමයි ඇත්ත. ඒ නිසා මහින්ද හිටපු ජනාධිපතිතුමා ඔබතුමා කෙලින්ම කියන්න පොහොට්ටුව කැමතියිද බලය බෙදන්න” මේ සංවාදය අස්සේ රනිල්ගේ බලකිරීමට වගේ බොහෝම අමාරුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නැඟිටලා බලය බෙදන්න කැමතියි කියලා කියනවා. මේක ඉතාමත් වැදගත් ඉඟියක් කියලයි මට හිතෙන්නේ.

 

ranil wickremesinghe in sri lanka parliament


මේ සංවාදය ඉවර වෙනකම්, අන්ත ජාතිවාදී ආගම්වාදී නායකයෙක් වගේ කාලාන්තරයක් පෙනී ඉන්න අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඔලුව වන වනා හිටියා. ඇත්තටම මට හිතුනා දිනේෂ් කියන්නේ වතුර වගේ භාජනයේ හැඩය ගන්න මිනිහෙක් නේද කියලා. ටිකක් දුරට කල්පනා කළාම මට හිතුන දෙයක් තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න 2/3කක ප්‍රමානයටත් වඩා වැඩි පිරිසක් වතුර වගේ භාජනයේ හැඩය ගන්න උදවිය තමයි කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට පුලුවන් වෙයි බලය බෙදන්න. මොකද දැන් භාජනය රනිල්. පොහොට්ටුවට තියෙන්නේ රනිල්ගේ හැඩය අරගෙන වතුර වගේ ඉන්න. ගඳත් නෑ සුවඳත් නෑ පාටකුත් නෑ.


ඒනිසා බලය බෙදනවා නම් රනිල් වික්‍රමසිංහට ඒ සඳහා හොඳටම අවස්ථාව තිබෙනවා කියලා ඊයේ මේ කතාව අහපු මට නිකමට හිතුනා. කොහොමත් විදර්ශනගේ බෙදීම් රේඛාව ගත්තොත් මම පල් හොරුන්ගේ පැත්තට වැටුණ ගිරවෙක් වගේ…!

 

කොහොම වුණත් උතුරට බලය නොබෙදා සහ නීතියේ පාලනය ස්ථාපනය නොකර මේ රාජ්‍යයට ගමනක් නෑ. උතුරට බලය බෙදන්න ඕනෑ. ඒ වගේම සුදු අලියෙක් උන මේ පළාත් සභා ක්‍රමයත් ඉවර කරන්න ඕනෑ. උතුර දකුණ කියලා පළාත් දෙකට මේක බෙදලා ඉඩම් බලතල ඇතුලුව පූර්ණ බලතල ඒ පළාත් ආණ්ඩුවලට දීලා මධ්‍යම රජය ප්‍රථිපත්ති සම්පාදකයා සහ ඒකියාභාවය ආරක්ෂා කරන්නාගේ භූමිකාව විතරක් කළා නම් මේ රාජ්‍යයට උරුම ගැටලු ගොඩක් නිරාකරණය වෙයි.




k sanjeewa(කේ. සංජීව)
www.aithiya.lk

 





The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්