"තමන් ලිබරල් කියල විශ්වාස කරන යම් කෙනෙක් ඉන්නවා නම් එයා මූලිකවම තමන් විරුද්ධ පාර්ශ්වයේ අදහස් දැක්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන.
විරුද්ධවාදියාට කතා කරන්න අයිතිය නැති කිරීම කියන්නෙ මාක්ස්වාදී ප්‍රවණතාවයක් වුනු woke සංස්කෘතියෙ වැඩක්." යි කියල රනිල් - රාජපක්ෂ ජුන්ටා පෙරහැරේ එක් කසකාරයෙක්වන චින්තන ධර්මදාස කියන ලිබරල්වාදියා ලියල තිබුණ.
 
 
cd m

 


ධර්මදාස මෙහෙම ලිව්වත් woke සංස්කෘතිය කියන්නෙ මොකක්ද? ඒක මාක්ස්වාදී ප්‍රවනතාවක් වෙන්නෙ කොහොමද? කියන එක පැහැඳිලි කිරීමක් කර නැහැ. ඒක සටකපටකමක්. නමුත් ධර්මදාස කසකරුවා ඉදිරියෙන් එනකොට අපි දැනගන්න ඕන පෙරහැර පස්සෙන් එනව කියල.

 

stay woke.x7c6aa5c3 

මොකක්ද මේ woke සංස්කෘතිය නැතිනම් woke Culture කියන්නෙ. මේක 1960 ගණන්වල ඇමරිකානු කළු ජාතිකයන්ගෙන් ආරම්භ වුනු සංකල්පයක්.  woke කියන්නෙ පිබිදුන, දැනුවත් කියන එක. විශේෂයෙන්ම ජාතිවාදය සහ සමාජ අසමානතාව සම්බන්ධයෙන් අවදියෙන් ඉන්න එක. ඒ පිළිබඳ ඇහැරිලා ඉන්න අයගේ සංස්කෘතිය කියන එක තමයි මේකෙන් අර්ථ දැක්වෙන්නෙ. එයින් ඔවුන් අදහස් කරන්නෙ අනෙක් අය ඉන්නෙ නින්දෙ. woke සංස්කෘතියෙ අය තමයි සංවේදී. ඇහැරලා ඉන්නෙ. එනිසා ඒ අය තමයි දන්නේ මොකක්ද වෙන්නෙ කියල.

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ජෝජ් බුෂ්ගේ කාලයේ ඇමරිකන් විරෝධී රටවලට බෝම්බ දැම්මේ, හමුදා යැව්වේ ඒ රටවල ඉන්නෙ ත්‍රස්තවාදීන්, තිබෙන්නෙ ගතානුගතික සංස්කෘතියක්, ඒ නිසා උන්ව විනාශ කරන්න ඕන කියල. නමුත් බුෂ්ගේ මේ ක්‍රියාකලාපයට විරුද්ධව ලොකු නැගිටීම් ඇතිවුනා. මොකද මේක වැරදි කතාවක්. ඇමරිකාවට වඩා ඒ රටවල සංස්කෘතීන් පැරණියි. ඇමරිකානු සංස්කෘතියට අවුරුදු 500 ක වගේ මෑත ඉතිහාසයක් තිබෙන්නෙ. අවසානයේ වුනේ මැදපෙරදිග, අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය විනාශ කිරීම නිසා ඇමරිකාව ත්‍රස්තවාදී රාජ්‍ය‍යක් බවට පත්වුනා.

 

මෙයින් පාඩම් ඉගෙනගත් ව‍ර්තමාන ඇමරිකානු ජනාධිපති බයිඩන්ගේ අලුත් ආක්‍රමණික න්‍යාය තමයි woke සංස්කෘතිය. ඇමරිකාව දැන් අනෙක් රටවලට බෝම්බ දමන්නේ, හමුදා යවන්නේ, රාජ්‍යයන් පෙරළා දමන්නේ ඒ රටවල ත්‍රස්තවාදීන් ඉන්නව කියල නෙමේ. ඒ රටවල තිබෙන්නේ ගතානුගතික සංස්කෘතීන්. හණමිටි සදාචාරයන්. ඒවා මනුෂ්‍යවර්ගයාගේ නිදහසට, ඉදිරිගමනට බාධාවක්. මේ පසුගාමී චින්තනයන්, සංස්කෘතීන් අහෝසි කරලා දියුණු සංස්කෘතියක් මේ රටවල ඇතිකරන්න ඕන කියල තමයි මාධ්‍ය ප්‍රචාරය ගෙනියන්නෙ. ඒක තමයි කේක් ගෙඩියෙ අයිසින්

 

මේ සඳහා කාන්තා අයිතීන් වෙනුවෙන් ව්‍යාපාර ගොඩ නඟනවාසේම බොහෝ රටවල ප්‍රධාන ලෙසම යොදා ගන්නෙ LGBTIQ කියන මූමන්ට් එක. LGBTIQ කියන්නෙ LESBIAN - GAY - BISEXUAL - TRANSGENDER - INTERSEX -  QUEER කියන සමාජ ව්‍යාපාරය. මේ සමාජ ව්‍යාපාරය හැදෙන්නෙ ජෛව විද්‍යාත්මක කාරණා මත.

ධර්මදාසලා වගේ ලිබරල්වාදීන් ඉතා අනුභූතික විදියට මේ සමාජ ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටිමින් මාර විප්ලවවාදීන් වෙන්න යනව. නමුත් සැබෑ මාක්ස්වාදින් මේ සමාජ ව්‍යාපාරයන්ට විරුද්ධ නෑ. හැබැයි බයිඩන්ලා මේ සමාජ ව්‍යාපාරවලට ආධාර, අනුග්‍රහ දැක්වීමේ ව්‍යාජය නි‍ර්දය ලෙස විවේචනය කරනව. හෙළිදරව් කරනව. මොකද ලාභය, කොමිස් මූලික කරගෙන පවත්වාගෙන යන ආණ්ඩු විප්ලව කරන්නේ නෑ. එවැනි ආණ්ඩු කරන්නේ ප්‍රතිවිප්ලව. ඒ ප්‍රතිවිප්ලව වෙනුවෙන් තමයි ප්‍රගතිශීලී යෝජනා දමන්නෙ.

 

1200x 1

එවගේම යුද්ධ මගින්, කැරලි කෝළාහල තුළින් මේ අයිතිවාසිකම් වස්ති කරන්න කරන බලහත්කාරකමටත් සැබෑ මාක්ස්වාදීන් විරුද්ධයි. එවිට ලිබරල්වාදීන් එය අර්ථ ගන්වන්නේ මාක්ස්වාදීන් LGBTIQ සමාජ ව්‍යාපාරයට, කාන්තාවන්ගේ නිදහසට විරුද්ධයි කියල.

එහෙම වුනත් දොස්තර නලින්ද ජයතිස්සලා වගේ අන්තවාදීන්, අරික්කාල් මාක්ස්වාදීන් මේවාට විරුද්ධයි. එහෙම වෙන්නෙ මොන වාම කතා කිව්වත් ධනපතියන්වීම හා ධනපතියන්ගේ පාර්ලිමේන්තුවට රිංගා ගැනීම ජාතික හා ජාත්‍යන්තරවත් එවැනි පක්ෂවල එකම ගෝල් එක වී තිබෙන නිසා. එවගේම අන්ත දක්ෂිනාංශිකයො මේ සමාජ ව්‍යාපාරයන්ට විරුද්ධ වෙන්නේ මූල ධර්මවාදී පදනමකින්. ලිබරල්වාදීන් මේ අවකාශය පාවිච්චි කරලා පට්ටපල් කෙබර ඇදබාමින් මාක්ස්වාදීන් හා අනෙක් ඔක්කොම එකම මල්ලක දාල බටු තළනව වගේ තළනව. බාල්දි ස්වීමින් ෆූල් කරනව.

 

මේ කසකාරයන් පස්සෙන් මර්දන රාජ්‍ය යන්ත්‍රය ඇවිත් LGBTIQ විරෝධී හෝ කාන්තා විරෝධී හංවඩුව ගහලා ආණ්ඩු විරෝධීන් මර්දනය කරනව. එහෙම නැතිනම් කාන්තා අයිතිවාසිකම්වලට විරුද්ධයි කියල කැරලි කෝළාහල නිර්මාණය කරනව. ඇමරිකන් විරෝධී රජයක් නම් කැරලිකරුවන් සන්නද්ධ කරළ රජයන් පෙරළා දමා ඇමරිකන් රූකඩ ආණ්ඩු හදනවා. ආසන්නම උදාහරණය විදියට යුක්ක්‍රේනය ගන්න පුලුවන්. ඉරාණ‍යේ වෙමින් තිබෙන්නේත් මේක.

 

මේක තමයි woke Culture ගැන මගේ කියවීම. ඒක වැරදිනම් චින්තන ධර්මදාස මට කියන්න woke සංස්කෘතිය මාක්ස්වාදී ප්‍රවණතාවයක් වෙන්නෙ කොහොමද කියල. ඒ පිළිබඳ මාක්ස් කියපු හෝ ලියපු උපුටනයක් ගෙනහැර දක්වන්න. "ලෙනින් රුසියාවෙ බලය ගත්තට පස්සෙ කරපු දේවල් කෙනෙකුට ලේසියෙන්ම ඉන්ටර්නෙට් එකෙන් බලාගන්න පුළුවන්. මිනිස්සු දසදහස් ගනං මැරුවා. සාර්ගෙ මානසික දුර්වලතාවයකින් පෙළෙන පොඩි දරුවා පවා මරන්න අණ දුන්නා" කියල වළං කඩේට පැන්න වගේ හැසිරෙන්නෙ නැතිව ලෙනින් එහෙම අණ දුන්නා කියල කවුද කියන්නෙ, කවුද ලියල තියෙන්නෙ සාක්කි සහිතව පෙන්වන්න. හැබැයි මේවාට මතවාදී උත්තර නම් එපා. භෞතිකවාදී උත්තර ඕන.

බයිඩන්ගේ ලංකාණ්ඩුවත් අද වන විට ශ්‍රී ලංකාව තුළ සමරිසි හෝ සතුන් සමග ලිංගික සබඳතා පවත්වායාම සාපරාධී වරදක් ලෙස හැඟවුම් කරමින් පැවති නීතිමය තත්වය වෙනස් කරලා. ඒ පිළිබඳ රජයේ ගැසට් නිවේදනය පසුගිය මාර්තු 17 වනදා ප්‍රකාශයට පත්කළා. මෙය පොහොට්ටුවේ ප්‍රේම්නාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස කරපු යෝජනාවක ප්‍රතිඵලයක්. ඒ අනුව සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ඉදිරිපත් කරල තිබෙන්නෙ.

එකී සංශෝධන තම‍යි මේ තිබෙන්නෙ :  "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් පහත පරිදි පනවනු ලැබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති මෙයින් පහත පරිදි සංශෝධනය :- 365 සංශෝධනයේදී ප්‍රධාන පනතේ 365 වගන්තිය මෙයින් ඉවත් කර ඇති අතර පහත වගන්තිය ආදේශ කිරීම මගින් එය  සංශෝධනය කෙරේ. අස්වාභාවික වැරදි සම්බන්ධ විධිවිධාන 10 "ස්වභාවධර්මයේ අනුපිළිවෙලට එරෙහිව ස්වේච්ඡාවෙන් සතෙකු සමඟ සංසර්ගයේ යෙදෙන ඕනෑම අයෙකු වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවමකට යටත් විය යුතු අතර දඩයකටද යටත් විය යුතුය."අවලංගු කිරීම පැහැදිලි කිරීම: මෙම කොටසේ විස්තර කර ඇති වරදට අවශ්‍ය ලෞකික සංසර්ගය සඳහා විනිවිද යාම ප්‍රමාණවත් වේ. 365A ප්‍රධාන පනත 365A වගන්තියද මෙයින් අවලංගු කිරීම. පුද්ගලයා අතර දළ අවිනීතභාවය පිළිබඳ විධිවිධාන 20 ක් සඳහන්ව ඇති මුත් අවලංගුවේ. පැහැදිලි කිරීම: මෙම නීති සම්පාදනය කිරීමේ ව්‍යවස්ථාදායකයේ අභිප්‍රාය ලිංගික දිශානතිය දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරන විධිවිධාන සංශෝධනය කිරීමක් ලෙස සැලකිය යුතුය."

lgbtq gazette

මේ විදියට LGBTIQ සමාජ ව්‍යාපාරය බයිඩන්ලා ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවට විරුද්ධව මහජන හා කම්කරුවො තුළින් මතුවන විරෝධතා ව්‍යාපාර බෙදා වෙන් කරන්න. එතකොට මර්දනයට පහසුයි. ඉදිරියේදී රාජ්‍ය ආයතන  400 ක් පමණ විකුණා දමන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය කියා තිබුණ. මේවා ණය ගැනීමේදී රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතා.

 

 126439973 gettyimages 1240768531 594x594

මෙයට සමගාමීව ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත යටතේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, වෘත්තීය අරගල ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා දී ඇති බව සඳහන් වෙනව. ඒ අනුව උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පවා ත්‍රස්ත ක්‍රියා ලෙස හැඳින්වීමට පුලුවන් කියලයි කියන්නෙ. වැස්ස වහින්නට ඉස්සර ආණ්ඩුව ඇළ වේලි, කාණු, ඉවුරු හදාගෙන යන්නෙ.

 

කම්කරුවො, වෘත්තිකයො පුද්ගලිකව ගත්තාම දක්ෂිණාංශිකයි. ආණ්ඩුව LGBTIQ අයිතිය දෙන්න යනවිට මේ අත‍ර සිටින ලිබරල්වාදීන්, වාම ලිබරල්වාදීන්,  LGBTIQ සාමාජිකයන් එක පැත්තකටත් අනෙක් කොටස විරුද්ධ පැත්තටත් බෙදෙනව. තවත් කොටසක් නිෂ්ක්‍රීය වෙනව.

මෙයින් ලිබරල්වාදීන්, වාම ලිබරල්වාදීන්,  LGBTIQ සාමාජිකයන් ඇතැම් කාන්තාවන් අවසානයේ එකතු වෙන්නෙ ම‍ර්දනකාරී ආණ්ඩුවත් එක්ක. LGBTIQ මූමන්ට් එකට, ඒ අයට රස්සා දෙනවට, කාන්තාවන්ට රෑ වැඩ කරන්න අයිතිය දෙනවට විරුද්ධ නිසා පොලිස් හෝ මැර පහරදීම්, හිරේ දැමීම්, අත් අඩංගුවට ගැනීම්, මර්දන නීතිරීති පැනවීම් යුක්ති සහගත කරමින් "ඕකුන්ට ඔහොම වෙලා මදි. අපේ අයිතිවාසිකම් දෙනවටත් ඕකුන් විරුද්ධයි. " කියමින් සවිඥානකව හෝ අවිඥානවකව ම‍ර්දන රාජ්‍ය යන්ත්‍රයේ කොටස්කරුවන් වෙනව.

 

දැනටමත් විශේෂයෙන් ජවිපෙ හෝ පෙරටුගාමී පක්ෂවලට කැරෙන මර්දනයන්වලදී බොහෝ පිරිස් උතුරේ වර්ග සංහාර ‍යුද්දයේ සහජාත කොටස්කරුවන් වූ හැටි මතක් කරමින් ම‍ර්දන රාජ්‍ය යන්ත්‍රය හා එකට හිටගන්නව. විශේෂයෙන් වාම ලිබරල්වාදීන්. නමුත් අපි අමතක නොකළ යුතු සත්‍යනම් මර්දන රාජ්‍ය යාන්ත්‍රනය අවසානයේ අපවත් සොයා එන බව. මුල්ලෙවෛයික්කාල් දක්වා ගිය මර්දන රාජ්‍ය තමයි අද කංචන විජේසේකර ඇමති ඉන්න දෙවුන්දරතුඩුව දක්වා ආපසු ඇවිත් තියෙන්නෙ. මේ සත්‍ය කාටත් පොදුයි.

missing person sri lanka

ජර්මන් ෆැසිස්ට්වාදීන් මරා දැමූ මාටින් නිමොලර් පි‍යතුමාගේ සුප්‍රසිද්ධ කියමන ආදර්ශ පාඨයක් මෙන් කිව්වාට මදි. එහි හරයයි කියවා ගන්න ඕන.

අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් අපි කොපමණ දුරට පෙනී සිටින්නේද එපමනටම තමාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකෙනව. මර්දන රාජ්‍ය යාන්ත්‍රනය ඔන්චිල්ලාවක් වගේ. අපේ ශක්තියෙන් ඉදියට තල්ලු කළොත් නැවත ආපස්සට අපි ඉන්න තැනටම එනව.  

LGBTIQ සමාජ ව්‍යාපාරය අනුමත වෙනකොට ඇමති මනුෂ නානායක්කාර කාන්තා අයිතීන් වෙනුවෙන් මරාගෙන මැරෙන සටනක් ආරම්භ කරල. ඇමති මනුෂ පසුගිය මාර්තු 16 වෙනිදා සබයට ඇවිත් මෙහෙම කියනවා; "කාන්තාවටත් පිරිමියාට වගේම සමාජයේ නිදහසක් සහ අවස්ථාවක් තිබිය යුතුයි. කාන්තාවට රෑට වැඩ කරන්න එපා ලු. කාන්තාවොයි පිරිමියි නම් ලෝකෙ ඉන්නෙ, ඇයි අපි කාන්තාවන්ට විතරක් එහෙම නීතියක් දාන්නෙ. ඒක වැරදියි. රෑ වැඩ කරනකොට කාන්තාවන්ට ප්‍රශ්ණ ඇති වෙනව ලු. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නෙ කාන්තාවන්ගෙ නෙමෙයිනෙ. පිරිමි හොඳ නම් කාන්තාවන්ට ප්‍රශ්න ඇති වෙන්න විදිහක් නෑනෙ. පිරිමින්ගෙ තියෙන නොහැදියාව නිසා කාන්තාවන්ගේ නිදහසට වැට බඳින එක වැරදියි" කියල.

තව තැනකදි වැළලෙනව "කාන්‍තාවගේ තියෙන ලාලිත්‍ය සුන්දරත්වය මේ ලෝකේ කොයි තරම් නම් ඉස්සරහට ගෙනියනවද කියලා අපේ සාහිත්‍යකාරයට තේරුනාට අපේ සමාජයට ඒක තේරෙනවා මදි වුණා" කියල.




මනුෂලා මේ අර අඳින්නේ මොකටද? කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වීරයෙක් වෙලා, ක්ලාරා සෙට්කින්ලාට ඇඳලා කොම්පැණිකාරයන්ට රිසිසේ ‍කම්කරු කාන්තාවන්ගෙන් වැඩ ගන්න පවතින කම්කරු නීතිරීති වෙනස් කරන්න. මනුෂගේ ඒ අමානුෂික වැඩේට විරුද්ධ වෙන්නන්ට කඩාකප්පල්කාරී, අන්තවාදී ලාඩම එල්ලලා ඉදිරි කාලයේදී සබ්බුව දේවි. ආරම්භයේ පාවිච්චි කරන්නේ 'මතවාදී' කෝම්බ. ලපටි චන්ඩිකම්.

 

කොටින්ම කියතොත් කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම දේශීය හා ජාත්‍යන්තර නීතියට විරුද්ධව යාමක් කියලා මනුෂ අමාත්‍යවරයා දැනුවත් කරන්නට ගිය කම්කරු නියෝජිතයන්ට සිද්ධ වුනේ අමානුෂික තර්ජනයකට මුහුණ දෙන්න. ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තිය සමිති එකතුව පසුගිය සැප්තැම්බර් 13 වැනිදා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. එහිදී නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් කියා සිටියේ අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික ලේකම් තමාට තර්ජනය කළා කියල.

 

හාම්පුතුන්ගේ කල්ක්‍රියාව නිසා වෙළෙඳ කලාපයට ඩෙල්ටා

ඇන්ටන් මාර්කස්

"ඒ මහත්මයා අපිව හමුවෙලා කිව්වේ ඕගොල්ලෝ හිතන හිතන විදිහට සාකච්ඡා කැඳවන්න අපි බැඳිලා නෑ. ඒ ඉස්සර තමයි එහෙම සාකච්ඡා කෙරුවේ. ඉස්සර තමයි එහෙම ඕගොල්ලන්ට ඕන විදිහට කම්කරු ඇමතිවරයා හමුවෙන්න පුළුවන්කම තිබුනේ. දැන් අපි අපේ ශෙඩුල් එකට තමයි කටයුතු කරන්නේ. ඔයගොල්ලොත් එක්ක අපිට කතා කරන්න දෙයක් නෑ. කරුණාකරලා එළියට යන්න. එහෙම නැති වුනොත් ආරක්ෂක අංශය කැඳවලා එළියට දානවයි කියලත් තර්ජනය කළා."

වෘත්තිය සමිති නායක ඇන්ටන් මාර්කස් ඇතුළු පිරිස ගිය අවුරුද්දේ සැප්තැම්බර් 12 වැනිදා ඇමති මනුෂ හමුවෙන්න කම්කරු දෙපාර්තමේන්තුවට ගිහින් තිබෙනව. එයට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ ජාතික කම්කරු උපදේශක සභාව හා වෘත්තිය සමිති සමග සාකච්ඡා කිරීමකින් තොරව 1971 අංක 45 දරන සේවකයන්ගේ සේවය අවසන්කිරීමේ පනතට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංශෝධන ගැන කතා කරන්න කියල.

 

ඊට අමතරව පවතින කම්කරු නීතියට අනුව කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම කරන්න පුලුවන් මාසයටම දින 10 ‍යි. අතිකාල ගන්නවානම් මාසයකට පැය 60 යි. මේ සීමාවන් සම්පුර්ණයෙන්ම ඉවත් කරලා කාන්තාවන්ගෙන් රාත්‍රි සේවය ලබා ගැනීම දින 15 දක්වා දීර්ඝ කරන්න, අතිකාල පැය 75 ක් දක්වා දීර්ඝ කරන්න කම්කරු අමාත්‍යාංශයට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා උපදෙස් දීල තිබෙනව. මේවා පිළිබඳ සාකච්ඡාවක් ඉල්ලා සිටියාම තමයි මනුෂගෙ ලේකම් තගදාල වෘත්තිය සමිති නායකයන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් එලවල තියෙන්නෙ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ මේ අඬහැරය ගණිකා වෘත්තීය නීතිගත කිරීම, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලාවල කාන්තාවන් වැඩට දැමීමේ අත්තිවාරමක්.

 

රනිල් - රාජපක්ෂ ජුන්ටාවේ කම්කරු ඇමති මනුෂ නානායක්කාර ඉවක්බවක් නැතිව කොම්පැණිකාරයන් වෙනුවෙන්ම නිරුවතින් පෙනී සිටියත් රජය විසින් 1993 දී සම්මත කරගන්නා ලද කාන්තා ප්‍රඥප්තියේ මෙලෙස සඳහන් වෙනව.

(i.) මුල්‍ය ප්‍රතිලාභ ලබන ආර්තික කටයුතුවල නිරතවන්නන්ට සම අයිතිය ලබාදීම.  (ii.) සේවයට බඳවා ගැනීම, නිසි තනතුරු වලට පත් කිරිම, උසස් වීම්,සේවා කොන්දේසි හා රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් කාන්තාවන්ට සමාන අ‍යිතිවාසිකම් ලබාදීම. (iii.) ජනාවාස ඉඩම් ඇතුළු ඉඩම් අයිතිය සම්බන්ධ සියලු අයිතිවාසිකම් භුක්ති විඳීමේ සම අවස්තා ලබාදීම. (iv.) සියලු ආකාරයේ නව තාක්ෂණ සඳහා පිවිසුම් ලබා ගැනීමේ අයිතිය. (v.) වැඩිදියුණු කළ තාක්ෂණය ඇතුළු උචිත තාක්ෂණයෙන් ප්‍ර‍යෝජන ගැනීමේ අයිිතිවාසිකම.( vi.) කාන්තාවන් තම පවුලට සිදු කරන සේවය පිළි ගැනීම සහ සියලු සංවර්ධන වැඩසටහන් වල ප්‍රතිලාභ ලබාදීම සහතික කරදීම සඳහා ගෘහ මුලිකයා යන පදය නැවත අර්ථ කථනය කිරිම. (vii.) විවාහය හෝ මාතෘත්වය මත කාන්තාවන්ට සිදු කරන වෙනස්කම් වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම. (viii.) ප්‍රසූත නිවාඩු හා ඒ සම්බන්ධ ප්‍රතිලාභ ලබාගැනීම සහතික  කිරිම. (ix.) මව්පිය දෙදෙනාටම දරු ප්‍රසූතිය වෙනුවෙන් නිවාඩු ලබාදීම. (x.) හැකි සෑම අවස්ථාවකදීම අඹු සැමි දෙදෙනාටම එකම භූගෝලිය ප්‍රදේශයක සේවය කිරීමේ අයිතිය. (xi.) ගර්භනී කාන්තාවන්ට සහ කළලට හානි කරවන රැකියාවල ගර්භනි කාලය තුළඳී නොයෙදී සිටීමේ අයිතිය තහවුරු කිරීම. (xii.) රැකියාවක් කිරීමේ අවම වයස අවුරුදු15 ක් ලෙස සහතික කිරිම. (xiii.) විදේශ රැකියාවල යෙදී සිටින කාන්තාවන්ගේ අයිතිවාසිකම් ද්වීපාක්ෂික ගිවිසුම් මගින් ආරක්ෂා කිරීම.

නාරිලාලිත්‍ය ගැන, කාන්තාවගේ උත්ත‍රීතරභාවය ගැන කටමැත දොඩවන ඇමති මනුෂගෙන් දැන ගන්න කැමතියි ආණ්ඩුව පිළිගෙන සම්මත කරලා තිබෙන ඉහත සඳහන් අයිතිවාසිකම් හා වරප්‍රසාද අඩුම තරමේ ලබා දීලද කාන්තාවන් රාත්‍රී සේවයේ යොදවන්න කතා කරන්නේ කියල.

 

1998 මාර්තු 21 දා ශ්‍රී  ලංකා රජය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කැරුණ. එහි සේවක සංවිධාන වෙනුවෙන් අත්සන් කළ වෘත්තීය සමිති නායකයන් කීප දෙනා අතරින් කෙනෙක් තමයි නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සමිතියේ සම ලේකම් ඇන්ටන් මාර්කස් කියන්නෙ. එහෙව් වෘත්තීය සමිති නායකයන් පවා අද සාකච්ඡාවක් හෝ නොදී එලවා දමනවා නම් රාත්‍රී වැඩට ගන්නා කාන්තාවන්ගේ ඉරණම ගැන කුමන කතාද? යකඩ මල්ලටත් ගුල්ලො ගැහුවනම් පන් මල්ල නොබලාම විසිකරපන් කිව්වලු.

 

"ඇයි කාන්තාව හඳට උපමා කලේ? ඇය ඕනෑම තැනක ජීවනාලිය වෙන නිසා" යි කියමින් woke සංස්කෘතිය අභ්‍යාසකරන ඇමති මනුෂ නානායක්කාර දැකල තිබෙනවද ආණ්ඩුවම කරපු සමීක්ෂණ වාර්තාවක තිබෙනවා ලංකාවේ කාන්තාවන් රැකියාවලට එන්න අකැමති ඇයි කියල?  මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව කරලා තියෙන මේ සමීක්ෂණය අනුව කාන්තාවන්ට සසිරිබර මෙසිරිලක රෑ වැඩ මුරය ආරක්ෂාකාරී නෑ.

 

 124071743 3

(i.) ශ්‍රි ලාංකික කාන්තාවන් සිය පවුල් වගකීම හේතුවෙන් ශ්‍රම බලකායට අවතීරණ වීමට පසු බට වේ. (ii.) කාන්තාවෝ මව් පදවිය සහ සිය පවුල් වෙත කේන්‍ ද්‍රීය වීම පිණිස රැකියාව අත්හැරීම. (iii.) ඇතැම් සමාගම් ගැබිණි කාන්තාවන්ට සහ මව්වරුන්ට රැකියා අවස්ථා ලබා දීමට මැලිවීම. ( මෙය උගත් විවාහක කාන්තාවන් වැටුප් සහිත රැකියාවන් වෙත නොපැමිණීමට හේතු වේ)  (iv.) පිරිමි අපේක්ෂකයන් පමණක් ඉල්ලා සිටින රැකි‍යා දැන්වීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන් වෙනස් කොට සැලකීම. (v.) උදාහරණ ලෙස ඇතැම් සමාගම් ඉහළ පෙලේ කළමණාකාරිත්ව පුරප්පාඩු පිරවීම සඳහා සොයනුයේ පිරිමි අපේක්ෂකයන් පමණි. ස්ත්‍රීන්ට වඩා ඇතැම් තනතුරු සඳහා වඩාත් පුරුෂයන් සුදුසු බව සමාජ මතයක් වේ.  (vi.) ආරක්ෂාකාරි බවේ අඩුකම හා ප්‍රවාහන පහසුකම් සැපයීමකින් තොරව කාන්තාවන්ට රාත්‍රි සේවයේ යෙදීමට සිදුවීම. (මේ හේතුවෙන් රැකියා ස්ථානයේදී ප්‍රචණ්ඩත්වය හා ලිංගික අඩත්තේට්ටම් වලට ලක්වීම.)

 

මෙවැනි කරුණු සපුරා නොතිබියදී කාන්තාවන්ගේ රාත්‍රී සේවය දිගු කිරීම හෝ අතිකාල සේවය වැඩි කළේ රාජපක්ෂ පාලනයක් තුළදී නම් හැටහුටහමාරක් කාන්තා සංවිධාන අද මහ පාරේ. එන්ජීඕ කාරයෝ, වෘත්තීය සමිති, මානව හිමිකම් සංවිධාන ඇතුළු විවිධ සංවිධාන අඛණ්ඩ අරගලයක. නමුත් මේ කිසිවක් අද ඔවුන්ට නොපෙනෙන්නේ ඩොලර් වලින් දෙනෙත් වැසී ඇති නිසාද? අද බොහෝ සංවිධානවල න්‍යාය පත්‍රයේ මුලටම තිබෙන්නෙ "ගැටුම් නිරාකරණය" කියන මාතෘකාව. කම්කරුවන් හා හාම්පුතුන් අතර සාම්‍ය ගොඩනැගීම. කොල්ලුපිටියේ තිබෙන "සෙන්ටර් " එකකින් ඒවාට මුදල් උනනවාලු.

 

රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වයමින් සතුටුවුනා සේ, ජුන්ටාවක් විසින් රට අගාධයකට තල්ලු කරගෙන යද්දී ලිබරල්වාදීන්, වාම ලිබරල්වාදීන්, එන්ජීඕ, කාන්තා, මානව හිමිකම් ඇතුළු මෙකී කී නොකී සියල්ලන් බයිඩන්ගේ ලංකාණ්ඩුවත් එක්ක දීගකමින් ඉන්නෙ. මේ රංගනය දුටුවාම පණ්ඩිත් අමරදේවයන් ගයන මහගම සේකරයන් විසින් රචිත ගීයක අපූර්ව උපමාවකින් ලිපිය අවසන් කරන්නට සිතුන. වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා.



koththi(ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




සබැඳි ලිපි :
සමලිංගිකත්වයට එරෙහි නීතියක් සංශෝධනයට යෝජනා

'වෘත්තීය සමිති නායකයින් කාන්තාවන් පාවිච්චි කරනවා' - ඇමති මනුෂ අසයි

 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්