සත්‍යය සොයාගැනීමේ දී තර්ක කිරීමේ, කරුණු සොයාබැලීමේ හා විග්‍රහ කිරීමේ වැදගත්කම ඉතා ප්‍රබල ආකාරකින් පෙන්වාදුන් හා එම පරමාර්තය වෙනුවෙන් සිය ජීවිතය පූජාකල පලමුවැන්නා වනුයේ සොක්‍රටීස්‍ ( ක්‍රි.පූ 469-399)ය.
සොක්‍රටීස් ඔහුට ලැබෙන මරන දඩුවම නිසා වස පානය කොට මරනයට පත්වන අවස්තාව වන විට වයස අවුරුදු 71කි.
 
මා මේ ලිපිය සොක්‍රටීස් ගැන ලියන කෙටි සටහනින් ආර්ම්භ කලේ සමාජයේ විචාර බුද්දිය පෝෂනය කිරීමට බුද්ධිමය වැදගත් කමක් ඇති සංවාද ඉටු කරන කාර්‍ය්බාරය ගැන කිසියම් හැඟීමක් ඇති කිරීම සඳහාය.එහි සොක්‍රටීස් ගේ වයස සදහන් කළේ හැට පැනපු නාකින්ට කල හැකි බුද්ධිමය කාර්‍ය්බාරයක් නැති බව කියමින් වැඩි හිටි සංවාද කරුවන් නින්දාවට හා අපහාසයට ලක්කරමින් ජෙවීපී විලක්කුකාරයින් විසින් වැඩි හිටියන් පිළිබඳව සමාජ ගත කරමින් තිබෙන නරුම මතවාදයේ ඇති වංචාකාරි සොභාව පෙන්නුම් කිරීම සදහාය.
 
මෙය 1982 ජනාදිපති වරණයේදී විජේවීර විසින්ද ජේ.ආර් ජයවර්ධනට එරෙහිව යොදා ගැනුනු තර්කයක් විය. වියපත් කම සමග කල්පනා ශක්තිය හීන වන පුද්ගලයින් සිටිය හැකිය. ඒ සමග වියපත්බාවය උපරිම තත්වයකට වර්ධන වී තිබියදිත් මරනය දක්වා හෝ ඒ ආසන්නය දක්වා උපරිම මට්ටමකින් බුද්දිමය කාර්‍යක්ෂමතාවක් පවත්වාගෙන ගිය අය සදහා සොක්‍රටීස් හැරුනු විට දැක්විය හැකි නිදසුන් බොහෝය.බුදුන් වහන්සේ(80), මයිකල් ඈන්ජලෝ(88), ෆ්‍රැන්සිස් ඩි ගෝයා (82), ලියෝ ටෝල්ස්ටෝයි (82), ජෝර්ජ් බර්නාඩ් ෂෝ(94), සිග්මන් ප්‍රොයිඩ්(83), චාර්ලස් ඩාවින්(73), ඇල්බට් අයින්ස්ටයින් (76), බෙන්ජමින් ෆෑරෑන්ක්ලින්(84), බර්ට්‍ර්න්ඩ් රසල්(97), ෆිකාසෝ(92), වික්ටෝරියා මහරැජින (81),මහත්මා ගාන්ධි (79), ඊ.එච්. කාර්(90) හා මාර්තා ග්‍රැහැම්( 97) ඒ සඳහා දැක්විය හකි නිදසුන් කිහිපයකි.මා මෙහි දක්වා තිබෙන සියලු නිදර්ශන විස්තර කරන්න යන්නේ නැත. බුදුන් වහන්සේගේ නිදර්ශනය  හා මහත්මා ගාන්ධිගේ නිදර්ශනය ප්‍රකටය. තෝරාගත් නිදර්ශන 4ක් සඳහා පමනක් කෙටි පැහැදිලි කිරීමක් කරමි.
 
elders
 
බෙන්ජමින් ෆෑරෑන්ක්ලින් රාජ්‍යතාන්ත්‍රිකයකු සේම විද්‍යාඥයෙක් ද විය. ඔහු ඇමරිකන් නිදහස් ප්‍රකාශනය කෙටුම්පත් කල කමිටුවේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරන විට ඔහුගේ වයස අවුරුදු 70 කි. ඉන්පසු ඇමරිකන් විවස්තාව සම්පාදනය කළ කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් ක්‍රියා කරන විට ඔහු ගේ වයස අවුරුදු 81කි. විසිවන සියවසේ දාර්ශනිකයා ලෙස සැලකෙන බර්ට්‍ර්න්ඩ් රසල් ඔහුගේ "බටහිර දර්ශන ඉතිහාසය'' නැමැති දැවැන්ත ග්‍රන්තය ලියන ලද්දේ වයස අවුරුදු 75 දීය. ඔහු පවත්වාගෙන ගිය යුද්ද විරෝධි ප්‍රතිපත්තිය වෙනුවෙන් වයස අවුරුදු 87 දී කෙටි සිර දඩුවමක් විඳින්නට ඔහුට සිදුවිය. ඔහු වෙළුම් තුනකින් යුතු සිය ස්වයං චරිතාපදානය ලියන ලද්දේ වයස අවුරුදු 90 දීය. විසිවන සියවසේ ශ්‍රේෂට චිත්‍ර ශිල්පියා හා මූර්ති ශිල්පියා වන ෆිකාසෝ අවුරුදු 92 ක් ජීවත්වූ අතර චිකාගෝ නගරයේ කරන ලද ඔහුගේ " චිකාගෝ ෆිකාසෝ" නැමැති අඩි 50 ක් උස දැවැන්ත මූර්තිය අවසන් කරන ලද්දේ වයස අවුරුදු 86 දීය. නූතන ප්‍රසාංගික හා නර්ථන කලාවේ නිර්මාතෘ වරිය වන මාර්තා ග්‍රැහැම් අවුරුදු 97 ක් ජීවත්වූ අතර වයස අවුරුදු 75 වන තෙක්ම සන්දර්ශනවලට සහබාගිවූ අතර ඉන් පසුද තවත් කලක් එම විෂය උගන්වන ගුරුවරියක් ලෙස ක්‍රියා කළාය. ඉතා බලවත් දේසපාලන නායකයින් වැඩි පිරිසක් තරුණ නායකයින් නොවූහ. ජේ.ආර් ජයවර්දන බලයට ආවේ වයස අවුරුදු 71 දීය. සිංප්පූරුවේ ලීක්වාන් යූ 1990 දී අගමැති ධුරයෙන් ඉවත් වුවත් වයස අවුරුදු 81 වන තෙක් සිංගප්පූරුවෙ ගමන් මග හසුරුවන බලවත් කැබිනට් ඇමති වරයෙකු ලෙස ක්‍රියා කලේය. ඉංදියාව බලවත් රටක් බවට පත් කිරීමට හේතුවූ ප්‍රතිසංස්කරන ඇතිකල මන්මෝහන් සිං 2004 අගමැති ධුරයට පත්වන විට අවුරුදු 72 ක් වූ අතර අගමැති ධුරය අත්හරින විට ඔහුගේ වයස අවුරුදු 82ක් විය. නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති ධූරයට පත්වනවිට අවුරුදු 71 කි. අවුරුදු 75 දක්වා ඔහු තනතුරේ සිටියේය. ලෝක බලවතාගේ රට ලෙස සැලකිය හැකි ඇමරිකාවේ ජෝ බයින්ඩන් ජනාධිපති ධුරයට පත්වූයේ වයස අවුරුදු 79 දීය.
 
සමාජ මාධ්‍ය ජාලයේ ක්‍රියාත්මකවන ජේවීපී විලක්කු කාරයින් වියපත් සංවාද කරුවන් සම්බන්දයෙන් සමාජ ගතකමින් තිබෙන මතවාදයේ වංචාකාරි හා නරුම ස්වරූපය මේ නිදර්ශන ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.ඒ විදියේ නරුම මතයක් වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයන් තමන්ගේම වියපත් දෙමාපියන් සම්බන්දයෙන් පවා ක්‍රියා කරනු ඇත්තේ ඒ සමාන අවඥා සහගත හා සාහාසික ආකාරය කටය.
 
මෙම සංවාදට පදනම් වූ ප්‍රධාන ප්‍රකාශන දෙක වනුයේ "රට බංකොලොත් වීමේ අන්තුරක" යන හිසින් මා සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුන වීඩියෝ පටය හා ඉන්පසු " රට බාර දිය යුත්තේ කාටද? ජේවීපිය ගැන විවේචනයක් " යන හිසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද ලියවිල්ල ය.
 
 
මෙම ප්‍රකාශන දෙකම විශාල ප්‍රමානයකින් මහජනතාව අතරට පත්වු ප්‍රකාශන ලෙස සැලකිය. වීඩියෝ පටයෙන් මා යෝජනා කර තිබුනේ ගෙවුම් ශේෂ අර්බුදය පමණක් නොව සමාජ- දේසපාලන ක්‍රමය මුහුණ දී තිබෙන අර්බුදයද ජයගතහැකි අකාරයට සියළු දේසපාලන පක්ෂ එකට එකතුවී හදාගත් ප්‍රතිසංස්කරන වැඩ සටහනකට රට යොමු කිරිමේ අවශ්‍යතාව ගැනය. එසේ නැතුව මේ ආණ්ඩුව ආරක්ෂා කරගනිමින් ඊට උදව්කල යුතු බවට මා යොජනා කර නැත.එහෙත් ජේවීපී විලක්කුකාරයින් විසින් ඔවුන් ගේ අශ්ලීල ප්‍රතිචාර මගින් උත්සහා කර තිබෙන්නේ මා ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාකරන කෙනෙකු බව් පෙන්නුම් කිරීමය.
 
සරල ආණ්ඩු පෙරළියකින් ක්‍රමයේ වෙනසක් ඇති කලහැකිද? ඒ සදහා දැක් විය හැකි සමකාලීන නිදර්ශන මොනවාද?
 
ආණ්ඩු පෙරළියක් නැතිව සර්වපාක්ෂික එකතුවක් ඇති කරගනිමින් ක්‍රියාවට නඟන ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් මගින් අවුරුදු 50 කට ආසන්න කාලයක් පැවති ෆ්‍රැන්කෝගේ දුෂට ඒකාධිපති ආණ්ඩු ක්‍රමය 1975 දී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමට සමත් විය. දකුණු අප්‍රිකාවේ  දීර්ග කාලයක් තිස්සේ ඉතාමත් දුෂ්ඨ ස්වරූපයකින් ක්‍රියත්මක වූ වර්ණබේදවාදි ආණ්ඩු ක්‍රමය සියළු දේසපාලන පක්ෂ එකට එකතුවී ක්‍රියාවට නගන ලද ප්‍රතිස්ංස්කරන වැඩ සටහනක් මගින් 1994 වන විට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් බවට පරිවර්තනය කිරීමට සමත් විය. ජවිපෙ යල් පැනගිය සමාජවාදි පරිවර්තන ගැන මිස සමකාලින ලෝකයේ ප්‍රතිසංස්කරණ ස්වරූපයෙන් ක්‍රියාත්මක වී තිබෙන දැවැන්ත පරිවර්තනයන් ගැන දන්නේම නැති තරම් ය.
ඒ නිසා ජේවීපී විලක්කු කාරයින්ගේ ප්‍රතිචාර ගැන මා පුදුම වන්නේ නැත. මේ විලක්කු කාරයින්ගේ දැනුම පමණක් නොව ජේවීපී නායකයින්ගේ ද දේසපාලන දැනුම පවා තිබෙන්නේ උසස් මට්ටමක නොව පහත් මට්ටමකය. නායක ගනයෙහි ලා සැලකිය හැකි කිසිවකු අතින් (විජේවීරද ඇතුළුව)ර ටේ මොනම ප්‍රස්නයක් ගැනවත් ලියවුන උසස් තත්වයක ලා සැලකිය හැකි එකදු කෘතියක් වත් නැති තරම් ය. මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි, මාඕසේතුන් වැනි මාක්ස් වාදි නායකයින් ලියා තිබෙන පොත් හා ලිපි ලේඛනවල ප්‍රමානය අතිවිශාලය.එ හෙත් එහිදී ජේවීපිය ඉන්නේ උපරිම මට්ටමේ බංකොලොත් තත්වයකය. පක්ෂයට ලොකු ධනයක් ඇතත් බුද්දිමය වශයෙන් එකතු කෙරුනු ධනයක් නැත. මොනම ප්‍රස්නයක් සම්බන්දයෙන් වත් දේසපාලන වශයෙන් හරි තක්සේරුවක් කිරීමට හෝ තියුණු විග්‍රහක් කිරීමට තිබෙන බුද්දිමය නොහැකියාව විජේවීරගේ කාලයේ සිටම එම පක්ෂයට ආවේනික ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ජේවීපිය හරි පාරට ගැනීම සදහා ඊට එකතුවී සිටින ශාස්ත්‍රාලිය උගතුන්ටද එම පක්ෂය උරුම කරගෙන සිටින නිසරු බුද්ධිමය තත්වයෙහි යහපත් වෙනසක් ඇති කිරීමට හැකිවී නැත.
 
ජේවීපිය මුහුණ දී තිබෙන බුද්දිම බංකොලොත් බාවයේ තරම පෙන්නුම් කිරීම සංදහා දැක්විය හැකි නිදර්ශන කිහිපයක් මෙසේය.
 
 117745319 mediaitem117745318
 
(1) වලක වැටීම මොළයට ලාබයක් බව කියා තිබෙන්නේ මාඕසේතුංය. රෑ වැටුන වලේ නැවත දවල්ද වැටෙන කෙනෙකු සැලකිය යුත්තේ මෝඩයකු ලෙසය.71 කැරල්ලේ පරාජයෙන් පසු තවත් වසර 16 කට පසුව නැවත කැරලි ගසන තැනකට ගියේ පළමු කැරැල්ලෙන් උගත යුතු නිසි පාඩම් ඉගැන ගැනීමට අවශ්‍ය කරන ප්‍රක්ඤාව විජේවීරට නොතිබුන නිසා නොවේද?
 
(2) එම කැරලි දෙකේදීම ලැබන ප්‍රතිඵල ගැන  කල් තියා නිසි තක්සේරුවක් කිරීමට විජේවීර අසමත් විය.
 
(3) දෙවැනි කැරැල්ලේදී ආරක්ෂක හමුදාවන්ට එරෙහිව යුද්ධ කොට බලය ලබා ගන්නා සටන් ක්‍රමයක් වෙනුවට ජවිපෙ යොදාගත් තේ මිනිසුන් තොග ගනනින් මරා දමන අශ්ලීල සටන් ක්‍රමයකි.එය ඇතිකරනන්නට නියමීත විනාශකාරි ප්‍රතිවිපාක ගැන ජවිපෙට හරි තක්සේරුවක් නොතිබුනි. එම මෝඩ හා අශ්ලීල සටන් ක්‍රමය ඇතිකල ජීවිත විනාශයේ පරිමාව අති විශාලය.
 
(4) ජවීපෙ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක්ද මරා දැමීය. ජනාධිපතිවරනයක් හා පාර්ලිමේන්තු මැතිවරනයක් තහනම් කොට මැතිවරණ කටයුතුවල නිරත වූ රජයේ නිලධාරින් සැලකිය යුතු සංඛියාවක් මරා දැම්මේය. ජන්දය පාවිච්චිකල ජන්දදායකියින් සිය ගනක්ද මරා දැම්මේය. ඉන් අවුරුදු පහකට පසු පාර්ලිමේන්තු මාවතට මාරු විය. දැන් පාර්ලිමේන්තු මැතිවරණයකින් බලය අල්ලා ගැනිමට සිහින දකින පක්ෂයක් බවට පත්ව සිටින්නේය. පාර්ලිමේන්තු  ක්‍රමය හොඳ නම් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේ ඇයි ? මන්ත්‍රි වරුන් මරා දැමුවේ ඇයි? මැතිවරණ නිලධාරීන් හා ජන්දය පාවිච්චි කරන්නන් මරා දමනු ලැබුවේ ඇයි? පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය වැනි සරල ප්‍රස්නයක් ගැන පවා ජවිපෙට යතා තක්සේරුවක් නොතිබුන බව ඉන් මනා ලෙස පෙන්නුම් කරයි.
 
(5) පළාත් සභා ක්‍රමයට හා එය ඇතිකිරීමට හේතුවූ 13 වැනි සංසෝදනයට එරෙහිව එය රටේ ඒකීය භාවයට  හා ස්වෛරීභාවයට තර්ජනයක් බව කියමින් බලය බෙදාහැරීමක් වෙනුවෙන් පෙනීසිටි සැලකිය යුතු පිරිසක් මරා දැමුවේය.පළාත් සභාවලට තරඟ කල අපේක්ෂයින් හා තේරීපත් වූ පළාත් සභා මන්ත්‍රී වරුන් 45 දෙනෙකු මරා දැමුවේය.කැරැල්ල පරාජයවී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්තුවීමෙන් පසු ඒ බිහිසුණු ක්‍රියාකාරකම් අමතක කොට පළාත් සභා මැතිවරන වලට තරඟ කලේය.
 
(6) ගෙවුම් ශේෂ අර්බුදය ජවිපෙ තම බුද්දිමය දූගීභාවය උපරිම මට්ටමකින් ප්‍රදර්ශනය කල අවස්තාවක් ලෙස සැලකිය හැකිය.ජවිපෙ හිතන බව පෙනෙන්නේ එය මාසයක් දෙකක් වැනි කෙටි කාලයකින් විසඳාගත හැකි සරල ප්‍රස්නයක් ලෙසය.අභ්‍යන්තර ණය ප්‍රසස්ත කරනයේදි තැන්පත් කරුවන්ගේ තැන්පත්තු ලොකු අවදානම් තත්වයක තිබෙන බව ජේවීපිය කීවේය.ඒ මගින් අනියම් ලෙස ඉල්ලා සිටියේ බැංකුවල තිබෙන ඔවුන්ගේ තැන්පත්තු ඉවත් කරගන්න කියාය.එහෙත් මහජනතාව ජවිපෙ අනතුරු ඇඟවීමට සවන්දී බැංකුවල තිබෙන  ඔවුන්ගේ තැන්පත්තු ඉවත් කරගත්තේ නැත.ජේවීපිය කෙරෙහි ලොකු මහජන විස්වාසයක් තිබුනේ නම් එම පක්ෂයේ හඬට සවන්දී මහජනයා සිය තැන්පත්තු ඉවත් කරගන්නා තැනකට නොගියේ ඇයි? ජේවීපිය කෙරෙහි විස්වාසය තබා මහජනයා සිය තැන්පත්තු ඉවත් කරගන්නා තැනකට ගියේ නම් රටට විය හැකිව තිබුනේ කුමක්ද?බැංකු තැන්පත් අවංක ලෙස අවදානමක තිබුණු බව පෙනුනේ නම් එම පක්ෂය බැංකුවල තමන්ට තිබෙන තැන්පත් ඉවත් කරගත යුතුව තිබුනා නේද? එසේ නොකළේ ඇයි?
 
දෙවැනි කැරැල්ලේදී ජේවීපීය සිදුකල මනුෂ්‍ය ඝාතන පිළිබඳව ජේවීපී විලක්කු කරුවන් දක්වා තිබෙන ප්‍රතිචාර අවලස්සන වනවා පමණක් නොව ජේවීපී සමහර අනුගාමිකයින් කල්පනාකරන ලුම්පන් ස්වරූපයද පෙන්නුම් කරයි. ලුම්පන් සමාජය බිහිසුනු අපරාධකරුවන් ද වීරයින් ලෙස සලකයි. ජේවීපී විලක්කු කරුවන් අතර ඒ ජාතියේ මිනිසුන්ද අඩුවක් නැතිව සිටින බව පෙනේ. කැරැල්ල කාලේදී මිනිස්සු මැරුවත් ඊට පසු කිසියම් දීර්ග කාලයක් එවැනි වැරදි කිසිවක් නොකිරීමෙන්ම එම පක්ෂය යහපත්  පක්ෂයක් බවට පත්වී ඇති බව නොපෙනේදැයි කෙනෙකු අසා තිබුණි. සහාසික අපරාධවලට තිබෙන වගකීම ඊට පසු පෙන්නුම් කරන යහපත් කල් ක්‍රියාව නිසා ඉබේ අහොසි වන්නේ නැත. තම පක්ෂය අතින් සිදුවූ බිහිසුණු මනුෂ්‍ය ඝාතන ගැන අවංකලෙස සිය බලවත් කණගාටුව පළකරන තැනකටවත් නොගිය පක්ෂයක් අනාගතයේ එවැනි වැරදි නොකරනු ඇතැයි කියා සහතික විය හැක්කේ කෙසේද?
අනුර කුමාර බීබීසියේ සන්දේශයට 2014 දී කරන ලද ප්‍රකාශය මම කියෙව්වෙමි. එහි මෙසේ කියා තිබුනි.
 
" සන්නද්ධ ගැටුමේදී සිදු නොවිය යුතු බොහෝ සිදුවුනා.අපි අදත් කම්පාවට පත්වෙනවා.ඒ පිළිබඳව බරපතල කණගාටුවක් වගේම කම්පනයක් අපි තුළ හැමදාමත් තිබෙනවා.ඒවා අපේ කැමැත්ත නෙවෙයි.එහෙත් අපේක්ෂා නොකල දේ සිදුවී තිබෙනවා.ඒ පිළිබඳව අපි ජනතාවට අපේ කණගස්ටුව වගේම කම්පනය අපි ඉදිරි පත් කරනවා"
 
 
මෙය පුද්ගලයින් 6661ක් ඝාතනය කල පක්ෂයක් විසින් කරන ලද අවංක ස්වයං විවේචනයක් ලෙස සැලකිය හැකිද? බැලූ බැලමට පෙනෙන්නේ එය ඇඟ බේරාගැනීම සඳහා කර තිබෙන සරල ප්‍රකාශයක් ලෙසය.සිදු වී තිබුණු බිහිසුණු අපරාධ ගැන අවංක කම්පනයක් තිබුනේ නම් එම ප්‍රසිද්ද කෙටි ප්‍රකාශයෙන් පසුව හෝ සිදුවී තිබුණ අපරාධවල විශාලත්වයට ගැලපෙන හා ප්‍රමානවත් තරමින් කරුණු පැහැදිලි කරන ස්වයන් විවේචනයක් කළ යුතුව තිබුණා නේද? එවැනි ස්වයං විවේචනයකට යාමෙන් වැලකී සිටින්නේ මහා පරිමාවෙන් සිදුවූ එම සාහාසික අපරාධ ගැන පක්ෂට අවංක සහකම්පනයක් නැති නිසා නොවේද? එය අත පසුවී තිබෙන වරදක් නම් එම වරද දැන්වත් නිවරදි නොකරන්නේ ඇයි? කරන විග්‍රහයන් අනුවද මැරුවේ ඇයි? ප්‍රතිඵලය ගැන දක්නට ලැබෙන ලොකු දුබල තාවයක් වන් අතර ඒ වෙනුවෙන් එම පක්ෂය ගෙවා තිබෙන වන්දියේ පරිමාව අති විශාලය.
 
ගැපුංචි ගනෙහි ලා සැලකිය හැකි එම ජේවීපී විලක්කු කාරයින් තබා මහා ගනයෙහි ලා සැලකිය හැකි ඔවුන්ගේ නායකයින්ටවත් සමාජවාදි විප්ලව ගැන මිස බලය අල්ලාගැනීමකින් තොරව දේසපාලන ක්‍රමය වෙනස් රගැනීම සඳහා යොදාගැනෙන දේසපාලන පක්ෂ එකට එකතුවී ක්‍රියාවට නගන ප්‍රතිසංස්කරණ ගැන කිසිදු අවබෝදයක් නැත. කාට හෝ ඒ  ගැන දැන ගැනීමට අවශ්‍ය නම් අවුරුදු 50 කට ආසන්න කාලයක් ස්පාඤ්ඤයේ පැවති ෆැරැන්කෝ ගේ බිහිසුනු ඒකාධිපති ආණ්ඩු ක්‍රමය 1975 දී සියළු පක්ෂ එකට එකතුවී  ක්‍රියාවට නගන ප්‍රතිසංස්කරන වැඩ සටහනක් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයකට හරවනු ලැබු අකාරයත්,දකුණු අප්‍රිකාවේ පැවති වර්ණ බේදවාදි දුෂට පාලන ක්‍රමය සියළු දේසපාලන පක්ෂ එකට එකතුවී ක්‍රියාවට නගන ප්‍රතිසංස්කරන වැඩ සටහනක් මගින් 1994 වන විට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් බවට  හරවනු ලැබූ  අකාරයත් හැදෑරීමෙන් තේරුම් ගත හැකිය.
 
8269026 500x500"ජේවීපිය ගැන විවේචනයක් " යන හිසින් ලියන ලද විවේචනය එම පක්ෂය ගැන මා කරන ලද පළමු විවේචනය ලෙස සැලකිය නොහැකිය.මා 71 කැරැල්ලට හිරේ සිටි කාලයේදීද ජෙවීපීය විවේචනය කරන ලිපි  ලියා ඇත්තෙමි."71 කැරැල්ල " නමින් පොතක් ලිවේද හිරගෙදර " සිටියදීය.එම පොත ප්‍රකාශයට පත්කලහොත් ජේවීපිය මා මරාදමනු ඇති බවට සමහර අය අනතුරු ඇඟවීම් කර තිබුනද මා එම පොත පලකළෙමි. ජේවීපිය සිය සාමජිකයින්ට එම පොත කියවීම වලකන නිල නොවන තහනමක් පනවා තිබෙන බව අසන්නට ලැබුනද එම පොත මුද්‍රණය කර තිබෙන වාරගනන 15 කටත් වැඩිවිය හැකිය.දෙවැනි කැරැල්ල කාලේදිද මා තෝරාගත්තේ බොහෝ අය තෝරාගත් ජනප්‍රිය මාර්ග දෙකට වෙනස් තුන්වන මාර්ගයකි. එම කැරැල්ලේදී ආණ්ඩුවට එරෙහිව ජවිපෙට සහාදීම හෝ ජවිපෙට එරෙහිව ආණ්ඩුවට සහායදීම යන මාර්ග තෝරාගැනීමට තිබුන ජනප්‍රිය මාර්ග දෙක වී තිබුනි. වාමාංශිකයින් සහ ජවිපෙන් ඉවත්ව සිටි සමහරෙක් ජීවිතාරක්ෂාව සදහා ජවිපෙට එරෙහිව ආයුද අතට ගෙන සටන් කරන කල්ලිවලට එකතු වූහ. ඔවුන්ට එසේ කරන්නට සිදුවූයේ එවැනි පුද්ගලයින් ජවිපෙ විසින් ඉතාමත් හිතුවක්කාරි ලෙස මරාදැමීම නිසාය. මා ආණ්ඩුවට එරෙහිව ජේවීපියට හෝ ජේවීපියට එරෙහිව ආණ්ඩුවට හෝ එකතු නොවී නිරායුධව හා නොසැඟවී සිටිමින් නිසි සංයමයකින් යුතුව මේ දෙපක්ෂය කරන වැරදිද කිසියම් ප්‍රමාණයකට විවේචනය කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළෙමි. මහා පරිමානයෙන් සිදුවන මනුෂ්‍ය ඝාතන එම අර්බුදයේ ප්‍රධාන ලක්ෂනයක් වී තිබුණි. ජේවීපිය මා මරා දමනු ඇතැයි කියමින් මා ගතකරන ජීවිතය ඊට ගැලපෙන ලෙස වෙනස් කරගැනීමේ අවශ්‍යතාව  මට බැරෑරුම් ලෙස පෙන්වා දුන් අයද සිටියේය.මා හිංසනය අතහැර අහිංසාවාදයට මාරුවී සිටින කෙනෙකු වන නිසා ආරක්ෂාව සඳහා හෝ ආයුධ අතට ගැමීමක් නොකොට හා සැඟවුන ජීවිතයක් ගත කිරීමෙන්ද වැලකී මෙම බිහිසුණු අර්බුදයට මුහුණ දෙන්නට උත්සහා කරන බව මම ඔවුන්ට කීවෙමි. මේ දෙපාර්ශ්වයෙන් කවර පර්ශවයක් හෝ මා නොමරනු ඇතැයි කියන අධි විස්වාසයක් මා තුළ තිබුනේ නැත. ඉන් කවර පාර්ශ්වයක් අතින් හෝ මගේ ජීවිතය විනාශ වීමේ හැකියාවක්  තිබෙන බව මම දැන සිටියෙමි. ඒ ගැන මම මගේ බිරිඳද දැනුවත් කර තිබුණි. මේ දෙපක්ෂයෙන් කවර පක්ෂයක් මා නිවසේ සිටින අවස්තාවකදී කඩා වැදීමේ හැකියාවක් තිබෙන බවත් එවැනි අවස්තාවකදී මාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඔවුන් ඉදිරියේ හඬා වැලපෙමින් ආයාචනා කරන තැනකට නොයන ලෙසත් ඒ මගින් මගේ ජීවිතය ආරක්ෂා කරගැනීමේ හැකියාවක් නැති නිසා මා සම්බන්දයෙන් ඔවුන්ට කැමති දෙයක් කරන්නට ඉඩ හැර එම ස්තානයෙන් ඉවත්වයන ලෙසත් මම මගේ බිරිඳට කියා තිබුණි.
 
 78944541 poster
 
එය කෲරත්වය හා ම්ලේච්ඡත්වය රජ කල බිහිසුනු මූසල කාලයක් විය.ජ විපෙ යොදාගෙන තිබුනේ ආරක්ෂක හමුදා සමඟ යුද්ද කරන පිලිවෙතක් වෙනුවට මිනිසුන් තොගගනනින් මරන පිලිවෙතකි. අරක්ෂක හමුදා මුලදී මේ ක්‍රමයට මුහුණ දිය නොහැකිව තූෂ්ණීම්භූත තත්වයකට පත්ව සිටියේය. පසුව ජේවීපී යොදාගනු ලැබූ ක්‍රමයට මුහුණ දිය හැකි ක්‍රමයක් ආරක්ෂක හමුදාවන්ට හඳුන්වා දෙන ලද්දේ ප්‍රේමදාස උඩුගම්පොළ විසිනි."සතුරා හා කරන සටන් උන් කරන ලෙසටම" යන නියාය ආරක්ෂක හමුදාවන්ට හඳුන්වා දෙන ලද්දේ ඔහුය.ඒ සමග ප්‍රතිපක්ෂ දෙක එකිනෙකා ගේ ආධාර කරුවන් තරඟකාරිලෙස තොග ගනනින් මරණ තැනකට තල්ලු විය.මොනම රජයක් වත් අවි අතට ගත් කණ්ඩායමකට තොග ගනනින් මිනිසුන් මරාදමන්නට ඉඩ හැර බලා සිටින්නේ නැත. අවසානයේ ජේවීපීය 6661 ක් මරා දමන විට ඔවුන් ගේ එම බිහිසුණු ක්‍රියා මැඩ පවත්වන්නට ආරක්ෂක හමුදා වලට ඒ ගනන මෙන් පස් හය ගුණයක් මිනිසුන් මරා දමන්නට සිදු විය. ජේවීපිය ජයග්‍රාහි වී නම් ඔවුන් අතින් මරනයට පත්වන අයගේ සංඛියාවද ඉතා විශාල වන්නට ඉඩ තිබුනි.
 
ජේවීපිය විසින් මරා දමන ලද ලැයිස්තුවට ඇතුලත් එජාපයේ අයගේ සංඛියාව 1783 කි. ශ්‍රීලනිප ට සම්බන්ද මාරාදමන ලද අයගේ සංඛියාව 200 කි. මරාදමනලද මහජන පක්ෂයට සම්බන්ද අයගේ සංඛියාව 141 කි. මරාදමන ලද කොපයට හා සමසමාජ පක්ෂයට සම්බද අයගේ සංඛියාව පිලිවෙලින් 22ක් හා 43 කි. නව සමසමාජ පක්ෂයට අයත් සංඛියාව 22 කි. ජනතා සංගමයේ 19 කි. විප්ලවවාදි කොමියුනිස්ට් සංගමයෙන් 03 කි. ජවිපෙ තමන් මරණ පුද්ගලයින් ගේ ආදාහන කටයුතු පැවැත් විය යුතු අකාරය සඳහා පවා කොන්දේසි පැනවීය.
 
 
victor ivon
(වික්ටර් අයිවන් )
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
සබැඳි ලිපි :
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්