පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල සැරිසරන්නන් අතර අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිතගේ ආචාර්ය උපාධිය ගැන

මහත් කුකුසක් තිබිණ. ඊළගට ප්‍රංශ “එයාබස් සමාගම” හා ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ ඩොලර් මිලියන 02 ක කොමිස් මුදල් ගෙවීම පිළිබඳව බ්‍රිතාන්‍ය අධිකරණ හෙළිදරව්ව ප්‍රධාන මාතෘකාව බවට පත්විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති වෙත ඉදිරිපත් කළ පර්යේෂණ තොරතුරු මත ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳවන ප්‍රියන්කා විජේනායක අත්අඩංගුවට ගැනීමේ නියෝගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් විසින් දෙනු ලැබූ විට ඒ උණුසුමද නිවින.

Text 4 8ඒ අතර පසුගිය දිනවල ප්‍රධාන මාධ්‍යයන්ගේත් සමාජ මාධ්‍යවලත් “කොරොනා වයිරසය” පිටුපස ඇති “කුමන්ත්‍රණ” ගැනත් ඊට ප්‍රතිකාර කිරීමේ “සිංහල” වෙදකම ගැනත් බොහෝ දේ කතා විය.  

මේ අතර “රන්ජාගේට්” හඬපට අමතක විය. හිරුණිකාවත් අමතක විය. මැතිවරණයෙන් නොසිතූ විරූ පරාජයකට පත්වූ ජ.වි.පෙ කලක නිහැඩියාවකින් පසු අවදි වී, මහ බැංකු බැඳුම්කර පිළිබඳව වන වෝහාරික විගණන වාර්තාව ගැන කරුණු දක්වමින් දැන් පරීක්ෂණ ඉල්ලන්නේය.

නොදන්නා ආයතන මගින් පමණක් නොව, රජයේ විශ්ව විද්‍යාල මගින්ද පසුගිය දසකයකට වැඩි කාලයක සිට දේශපලාන නායකයින්ට ආචාර උපාධි ප්‍රදානය කර ඇත. බැඳුම්කර වංචා කාලයක් තිස්සේ කෙරුණු බැව් ප්‍රසිද්ධියේ කතා කෙරුණකි. රාජපක්ෂ යුගයට පෙර සිටම සේවක අර්ථසාධක අරමුදල් කොළඹ කොටස් වෙළඳපලෙහි ජාවාරම් වෙනුවෙන් යොදා ගන්නා බවද විවෘත රහසක් වූවකි.

ගුවන් යානා මිලදී ගැනීම් පිළිබඳව අයථා ගනුදෙනු වාර්තා වූ ප්‍රථම අවස්ථාව රාජපක්ෂ යුගයේ ආරම්භවී අගමැති වික්‍රමසිංහ යුගයේ කෙළවර වූ මේ “එයාබස් ගනුදෙනුව” නොවන්නේය. ජනාධිපතිනි කුමාරණතුංග යුගයේත් එවැනි අයථා ගනුදෙනු පිළිබඳව චෝදනා තිබිණ.

Text 4 9පෙර නොවූ මහ විශාල හොරකම් වංචා දුටුවාක් මෙන් හදිස්සියේ අවදිවන කොළඹ මැදි පංතිය හැමදාම වාගේ දැනුත් කතා කරන්නේ “ස්වාධීන පරීක්ෂණ” පවත්වා වහා අදාල පුද්ගලයින්ට දඩුවම් කිරීම ගැනය.

මේවා ගැන සොයන්න පත් කළ කොමිසම් කොතෙක්දැයි ගණන් නැත. ඒ කොමිසමි සඳහා වැය කර ඇති මහජන මුදල් රුපියල් කෝටි කොපමණදැයි දන්නේද නැත. බැඳුම්කර වංචා සොයන්නට වෝහාරික විගණන සඳහා පමණක් දළ වශයෙන් රුපියල් මිලියන 275 ක් (මහජන මුදලින්) වැය කළ බව මහ බැංකුව නිල වශයෙන් කියා ඇත.

“ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා පාර්ශවය” එයාබස් ගනුදෙනු පිළිබඳව පරීක්ෂණ පැවැත් වීමට නැවත කොමිසමක් ඉල්ලන්නේද මේ ආණ්ඩුවෙන්මය. එවැනි ඉල්ලීම් කරන තවත් අයද සිටිති. එහෙත් එවැනි කොමිසම් මගින් මේ දක්වා සමාජයට සිදුවූ සෙතක් නොමැති බවද ඔවුහු දනිති.

විවෘත වෙළඳපල ආර්ථිකයත් සමග අවුරුදු 42 ක් තිස්සේ මහ පරිමාණ දූෂණ කෙළවරක් නැතිව සිදුවනවා පමණක් නොව, ඒවා නායකයින් හා ආණ්ඩු මාරු නොතකා යෝධ දූෂණ වංචා ලෙස විශාලවන බවත් කොළඹ සමාජ ක්‍රියාකාරීන් තවම තේරුම් නොගන්නේ නම්, ඔවුන් පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන්ද යන්නත් බරපතල ප්‍රශ්නයකි.

Text 4 10කොමිසම් පත්කර, ආණ්ඩු මාරුකර, අලුත් මුහුණු ගෙනැවිත් මේ කොල්ලකාර විවෘත වෙළඳපල ආර්ථිකය පිරිසිදු කරන්නට නොහැකි බැව් අවුරුදු 42 ක් තිස්සේ තේරුම් නොගන්නා සමාජ ක්‍රියාකාරීන්, වෘත්තිකයින් හා විද්වතුන් මේ ජාවාරම්කාර වෙළඳපල ආර්ථිකයෙහි “කරවිලේ වැටුණු පණුවන්” වැනිය.
 
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් වෙනුවෙන් නියෝජිතයින් 225 කින් යුත් පාර්ලිමේන්තුව අප පත් කරන්නේ අපව නියෝජනය කිරීමටය. ඒ පාර්ලිමේන්තුවෙහි ආණ්ඩුව බහුතර ඡන්දයෙන් පත් කෙරුණද ඔවුන් මේ රටේ මිලියන 22 ක් වන සමස්ථ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් පියවර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳෙන්නේය.

ඒ වගකීම අතහැර ඔවුන් කෙළවරක් නැති යෝධ දූෂණ, වංචා සඳහා හවුල් වන්නේ නම්, ඔවුන් හඩු ජාවාරම්කාරයින්ගේ සහ අති දුෂිත වෘත්තිකයින්ගේ කොන්තරාත්කරුවන්ය. අප ලබා දුන් පාලන බලය ව්‍යවස්ථාවට මුවා වී ඒකාධිකාරි බලයක් ලෙස පවත්වා ගන්නා ආණ්ඩු පාලන නඩයකි.  

ආණ්ඩු පාලන සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකසා ඇත්තේද ඔවුන් වෙනුවෙන් මිස ජනතාව වෙනුවෙන් නොවේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි සියලු සංශෝධන ලියා සම්මත කරගෙන ඇත්තේද ඔවුන්ගේ අධිකාරි බලයට යටත් කෙරුණු පාර්ලිමේන්තු විසින්ය. එයට අදාලව අධිකරණය විසින් දෙනු ලබන තීන්දු තීරණ ආණ්ඩු පාලනයේ ඉන්නවුන් ඔවුන්ට අවශ්‍ය ලෙස ලියා ගත් වගන්ති පිළිබඳව අධිකරණය දෙන්නාවූ තීන්දු තීරණ පමණි.

එවැනි පසුබිමක ආණ්ඩු පාලන කවර නමකින් හැඳින් වූවත් කවර මුහුණු එහි නායකත්වයේ සිටියත් ඒවා ප්‍රජාතන්ත්‍රවාදී, යහපාලන ආණ්ඩු නොවේ.

 

දැන්වත් ඇත්ත ඇති සැටියෙන් පිළිගනිමු:

අපි දැන්වත් ඇත්ත ඇති සැටියෙන් පිළිගනිමු. පසුගිය අවුරුදු 42 ක පුරා ලද අත්දැකීම වන්නේ මේ ජාවාරම්කාර විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ශීලාචාර, සාධාරණ සමාජයක් හදා ගැනීමට ආණ්ඩු පත් කළ  නොහැක යන්න ය.

අලුත් මුහුණු සමග අලුතින් ආණ්ඩු පත්කර ගත්තද, ඒවා පෙරටත් වඩා දූෂිත, ජාතිවාදී සහ අනාගත සංවර්ධනයක් ගැන කිසිදු නිනව්වක් නැති ආණ්ඩු පාලන වූ බැව් දැන්වත් පිළිගත යුතුය. යෝධ දූෂණ වංචා පිළිබඳව පමණක් නොව, මීතොටමුල්ල කසළ කන්ද වැනි අසාර්ථක ව්‍යාපෘති පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට එවැනි ආණ්ඩු මගින් පත් කළ ජනාධිපති කොමිසම් වලින් සිදුවූවක් නැත.
 
සීමා තහංචි වලින් මුදවා ඇති විවෘත වෙළඳපලෙහි දේශපාලනඥයින් හා පක්ෂ, රාජ්‍ය නිලධර තන්ත්‍රය, කොළඹ මැද පංතික වෘත්තිකයින් වැනි සියලු දෙන හඩු සල්ලිකාරයින් විසින් ඔවුන්ගේ පංගුකාරයින් කරගෙන ඇත. ඒ ගැන කතා නොකර, එය මේ සමාජ ව්‍යසනයට ප්‍රධාන හා මූලික හේතුවක් යැයි නොපිළිගෙන අවුරුදු 42 ක් තිස්සේ කළ සියල්ල මුලිමනින් අසාර්ථකව ඇත. ඒවා යළි යළිත් යෝජනා කරන්නට ඉදිරිපත්වන කොළඹ සමාජ ක්‍රියාකාරීන් මේ ව්‍යසනයෙහි වාසි ප්‍රයෝජන ලබන වුන්ය.

Text 4 11දූෂණ වංචා පිටු දකින්නට යැයි මේ ආණ්ඩු වලින් කොමිසම් ඉල්ලමින් හුදකලා සරළ ප්‍රතිසංස්කරණ යෝජනා කරමින්, විවෘත වෙළඳපල එකම “සංවර්ධන” මාවත යැයි කියමින් ගෙවා දැමූ මේ අවුරුදු 42 අවසානයේ අප ලබා ගත් සංවර්ධනයක් සාමයක්, ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මක් නැත.

ඒ වෙනුවට අප කර ගසා ඇත්තේ කවුරුත් කතා කරන යෝධ විදේශ ණය කන්දරාව පමණක් නොවේ. සමාජ ව්‍යසනයක් ලෙස පැතිර ඇති තරුණ ජීවිත විනාශයට හේතුවන මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතය පමණක් නොවේ. පොලිස් දෙපාර්තමේන්තුවද ඇතුළත් අකාර්යක්ෂම, අලස, දූෂිත රාජ්‍ය ආයතන හා නිලධර පැලැන්තියක් පමණක් නොවේ. සමාජ විශ්වාසය බරපතල ලෙස බිඳ ගත් අධිකරණ හා නීති පද්ධතියක් පමණක්ද නොවේ.

ඒ සියල්ල සමග ස්ථිර සේවකයින් ලෙස සැළකෙන නමුත් දිළිඳු වැටුප් සහිත සියලු සේවා හා මූලික අයිතිවාසිකම් අහෝසි කෙරුණු හාම්පුතුන් විසින් රැකියා කොන්දේසි තීන්දු කෙරෙන මිලියන 2.4 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ද, ගමේ අතරමංවී නගරයේ රැකියා සොයමින් රස්තියාදු ගසන්නට සිදුව ඇති තවත් මිලියන 03 ක් පමණ යැයි අනුමාන කෙරෙන තරුණ පරම්පරාවන්ද, ජීවන බර කර ගසන්නට නොහැකිව වාර්ෂිකව මැද පෙරදිග ගෘහ සේවයට යන ලක්ෂයක් පමණ ග්‍රාමීය තරුණියන්ද, ජනසවියෙන් පටන් ගෙන අවුරුදු 30 ට පසුවත් තවමත් සමෘද්ධිලාභීන් ලෙස ජීවත්වන දුප්පතුන් මිලියන 2.2 ක්ද මේ විවෘත ආර්ථිකය සමග අවුරුදු 42 ක් පුරා අශීලාචාර ලෙස වගා කරගත් වාර්ගික හා ආගමික ගැටුම් සහ ප්‍රචණ්ඩ අන්තවාදය රස කරමින් බෙදී වෙන්වී, අතරමංව ඇත.

පැසව පැසව කුණුවන මේ සියලු සමාජ ආර්ථික ව්‍යසන වලට 10,019 ක් වන රජයේ පාසල් අතුරෙන් පානීය ජලය හා ස්ථිර ජල සැපයුමක් නැති සහ එනිසාම වැසිකිළිද නැති පාසල් 6,500 ක් පමණ ඇති ගරා වැටුණු අධ්‍යාපනයද, රජයේ රෝහල් සහ ප්‍රජා සෞඛ්‍ය සේවා අමතක කර මුදලට අලෙවි කෙරෙන සෞඛ්‍ය සේවයක්ද, මහ මග කාලය නාස්ති කෙරෙන බරපතල නාගරික වාහන තද බදයක් ඇති වායු දූෂණයට හේතුවන අබලන් පොදු ප්‍රවාහනයද එක් කළ පසු, අවුරුදු 42 ක මේ අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකය සහ එය නඩත්තු කරන්නාවූ දේශපාලන ව්‍යුහ තව දුරටත් කර ගැසිය යුත්තේ මන්දැයි අසන්නට අප සූදානම් නොවීම, බංකොලොත් දේශපාලනයේ ප්‍රශ්නයක්ම නොවන්නේ ය.

 

දේශපාලන පක්ෂ භේදයකින් තොරව මහා දූෂණ සඳහා හවුල්ව ඇති බව:

Text 4 12බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තා සහ ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ දූෂණ පිළිබඳ හෙළිදරව්වෙන් පසුව ආණ්ඩු සහ දේශපාලන පක්ෂ භේදයකින් තොරව මහා දූෂණ සඳහා සියල්ලන් හවුල්ව ඇති බවත් එයට විසඳුම සමස්ථ ක්‍රමයම වෙනස් කිරීම බවත් කතානායක කරූ ජයසූරියටද පිළිගැනීමට සිදු විය.  

එබැවින් මෙය අප තරයේ මතක තබා ගත යුත්තකි. අප පත් කරන්නාවූ ආණ්ඩු අප වෙනුවෙන් පැවතිය යුතුය. එසේ නොවන විට, එයට විකල්පයක් හදා ගැනීමේ අයිතිය අපට ඇත. මේ කුණු වූ රාජ්‍ය තන්ත්‍රයෙහි හා දේශපාලන ක්‍රමයෙහි ගරා වැටීම, එහි ආවේනිකව වර්ධනයවන දූෂිත පැවැත්ම, හඩු ජාවාරම්කාරයින්ගේ පාලනය ඉවත් කරනවා මිස එය පිරිසිදු කළ නොහැක.

අවුරුදු 42 ක් පුරා පිරිසිදු කළ නොහැකි වූ විවෘත වෙළඳපල සමග පවතින ආණ්ඩු පාලන පිරිසිදු කරන්නට පුද්ගලයින් සොයා කල් මැරීම තරම් මෝඩකමක් තවත් නැත. ඒ මෝඩකම් වහා අත් හළ යුතුව ඇත.

වාර්ගික හා ආගමික භේදයන්ගෙන් තොර සියල්ලන්ට සමාන අවස්ථා හා පිළිගැනුමක් ඇති අනාගතයක් වෙනුවෙන් අලුත් විකල්ප සංවර්ධන මාවතක් සකසා ගැනීමේ සමාජ සංවාදය ඇරඹීම සඳහා මෙතෙක් කර ගැසූ විකාර දේශපාලනය අත හැරිය යුතුව ඇත.

මේ, ඒ වෙනුවෙන් 72 වන නිදහස් දිනයේ කෙරෙන ආයාචනයකි. කළ මෝඩකම් අත් හරිමු. සාමුහික අනාගතයක් සඳහා තීන්දු කරමු.

(දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්