මේ දවස්වල හැම තැනම රස්තියාදු ගහන වයිරස් එකක් මාවත් හමු වෙන්න ඇවිත් ඊයේ පෙරේදා උණ ගතියක්

එක්ක දරා ගන්න බැරි තරමේ හිස කැක්කුමක් හැදුනා.

ඒ හිසරුදාව අමතක වෙන්නත් එක්ක කියලා, කාලයක් තිස්සේ තියෙන මේ හිසරුදාව ගැන ලියන්න හිතුවා.


අපේ රටේ ජයවර්ධන ජනාධිපති බලයට ඇවිත් 1978 අටවපු විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ කතාව දේශපාලන සටන් පාඨයක් හැටියට ඉස්සෙල්ලම ඉදිරිපත් කෙරුවේ, 1994 නොවැම්බරයේ ජනාධිපතිවරණයේදීයි. ඒ ජනාධිපතිවරණයේදී පොදු පෙරමුණ අපේක්ෂිකා චන්ද්‍රිකා කුමාරණතුංගට තම සහාය දීමට නම්, දිවුරුම් දුන් විගස විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ඇය ලිඛිත පොරොන්දුවක් දිය යුතුයැයි අලුත් ජ.වි.පෙ කණ්ඩායම කිව්වා. 1995 ජුනි මාසයට පෙර ඒ පොරොන්දුව  ඉටු කරන බවට ඇය ලිඛිත පොරොන්දුවක් ලබා දුන් පසු, ආරිය බුලේගොඩගේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණෙන් ඉදිරිපත් කළ ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂක නිහාල් ගලප්පත්තිව ඔවුන් තරගයෙන් ඉවත්කර ගත්තා.


1990 නොවැම්බර වනවිට ප්‍රේමදාස ජනාධිපතිගේ හමුදා මෙහෙයුම විසින් රෝහණ විජේවීර සමග ජ.වි.පෙ සමතලා කර හමාරයි. කිසිදු හිරිකිතයක් නැතුව දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මුදා හැරි මේලේච්ඡ ත්‍රස්ත ව්‍යාපාරයේ ඉතිරිවූවන්ගේ නැවත එකතු වීමක් වුන මේ තරුණ ජ.වි.පෙ කල්ලිය මාස කිහිපයකට පෙර පැවති අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කෙරුවෙත් ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ ආවරණය යටතෙයි. ප්‍රගතිශීලි පෙරමුණට ඒ මැතිවරණයේදී ලැබුණු ඡන්ද 90,000 න් ජ.වි.පෙ ඡන්ද ප්‍රමාණය ඔන්නම් 20,000 ක් විතර වෙයි. නොවැම්බර ජනාධිපතිවරණයේ රැල්ල තිබුණේ චන්ද්‍රකා කුමාරණතුංගටයි. එනිසා ජවිපෙ ඡන්ද චන්ද්‍රිකාට අවශ්‍ය වුනේ නැහැ.


නමුත් මංගල සමරවීරගේ මෝඩ දේශපාලන තීන්දුව සමග මේ ජ.වි.පෙ ත්‍රස්තවාදී කල්ලියට ඔවුන්ගේ ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ කිසිදු වගකීමක් බාර නොගෙන කල එළි බහින්න පාර කැපුනා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ඔවුන්ගේ ඉල්ලීමට චන්ද්‍රිකා එකඟ විය යුතුව තිබුණේ ඔවුන්ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසිද්ධ සමාවක් ගන්නවා නම් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවක් වෙනුවෙන් ඉදිරිපත් විය යුත්තේ තමන් සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදීන් යැයි ඔප්පු කරලයි. නමුත් මංගලගේ දේශපාලනය වෙනුවෙන් චන්ද්‍රිකා දුන් පොරොන්දුවෙන් ඔවුන්ට අනෙක් සියල්ලන්ටම වඩා හොඳ සුපින්වත් ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස පෙනී සිටින්නට ලැයිසමක් ලැබුනා.


මේ ඉල්ලීම හා පොරොන්දුව සම්බන්ධව, විශ්‍රාමික සුවයෙන් සිටි විධායක ජනාධිපති ධූරයේ නිර්මාතෘ ජයවර්ධන හමු වූ කොළඹ හිටපු “ද හින්දු” පුවත් පතේ ඉන්දියානු මාධ්‍යවේදී මේ අලුත් දේශපාලනය ගැන “සර් දැන් චන්ද්‍රිකා කුමාරණතුංග බලයට ආපු විගස ඒක අහෝසි කරන්න පොරොන්දු වෙලා. සර්ට මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?” යැයි ඇහුවා. සුපුරුදු උපහාසාත්මක සිනහව සමග ජයවර්ධන කියුවේ, “එහෙම අහෝසි කරපු දවසක එන්න. එතකොට මගේ අදහස කියන්නම්” කියලයි.

එතැන් සිට 2015 ජනවාරි ජනාධිපතිවරණය තෙක් අවුරුදු 21 ක් හැම මැතිවරණයකදීම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ප්‍රධාන පොරොන්දුවක් වුනා. අනුර කුමාර පාර්ලිමේන්තුවේදි ආඩම්බරයෙන් කියුව කතා අනුව මහින්ද රාජපක්ෂව 2005 නොවැම්බරයේදී ජනාධිපති කරවන්න ජ.වි.පෙ නොගහපු ගේමක් නැහැ. නමුත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරවන්න එහෙම ගේම් ගහලා නැහැ. ඊළගට 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන්න ජ.වි.පෙ ජනතාවට දුන් ලොකුම පොරොන්දුව වුනෙත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමයි. නමුත් මෛත්‍රීපාලයි වික්‍රමසිංහයි සම්මුති ගහලා විධායක ජනාධිපති ධූරයට අතනින් මෙතනින් කෑලි වෙල්ඩිං කරලා ගෙනාව 19 වන සංශෝධනයට ජ.වි.පෙ යසට ඡන්දය දුන්නා. ඒ නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම 19 න් කෙළවර වුනේ නැහැ.


වැදගත්ම ජනාධිපතිවරණය 2019 නොවැම්බර ජනාධිපතිවරණයයි. ඒ ජනාධිපතිවරණය පැවැත්වුනේ මහා සංඝයා රටට අවශ්‍ය යැයි කියූ සිංහල-බෞද්ධ රජෙක් ජනාධිපති ලෙස පත්කර ගන්නයි. හිට්ලර් වගේ බලසම්පන්න සිංහල-බෞද්ධ අධිපතියෙක් රජා කරන්නයි. ඒ සඳහා ඉදිරියෙන්ම හිටිය ප්‍රබල අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයි. හැමෝම ගෝඨාභයට විරුද්ධව ඡන්දය ඉල්ලුවේ ජනාධිපති රජා වෙන්නයි. ජාතික ජන බලවේගය කියලා අලුත් ලේබලයක්ද අලවා ගත්ත ජවිපෙ නායක අනුර කුමාර හිටියෙත් ඒ තරගයේ තමයි. 2019 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැන කතා තිබුණේ නැහැ. ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනය එළි දැක්වූ 2019 ඔක්තෝම්බර 26 වන දින උත්සවයේදී අනුර කුමාර කියුවේ, “ජනාධිපති හැටියට දිවුරුම් දුන් වහාම මගේ පළමු රාජකාරිය තමයි, ජනාධිපති අපේක්ෂක හැටියට මැතිවරණයේදී ඉදිරිපත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම” කියලා. මොකද්ද ඒකේ තේරුම? පාර්ලිමේන්තුවටත් ඉහළින් විශේෂ විධායක බලයක් ජනාධිපති ධූරයට එකතු කරනවා කියන එකයි.


මෙවර තත්ත්වය දේශපාලනිකව ඊටත් වඩා සංකීර්ණයි. අවුරුදු 04 ට කලින් 2019 ජනාධිපතිවරණයේ ජවිපෙ/ජාජබ නායක අනුර කුමාරට ලැබුණු හාර ලක්ෂ 18 දාහ, ඊට පස්සේ මහ මැතිවරණයේදී හාර ලක්ෂ 45 දාහ උනාට තව මාස හත අටකින් ඒ ලක්ෂ හතර හමාර ලක්ෂ 66 ක් වෙන්නේ නම් නැහැ. නමුත් බරපතල කාරණාව තමයි ඔවුන් රාජ්‍ය බලය පක්ෂයේ දේශපාලන බලයට අභිමත පරිදි හැසිරවීමේ අයිතිය ජනාධිපතිවරණයෙන් ලැබෙන ජන වරමක් ලෙස අර්ථ දැක්වීම. ඔවුන්ගේ ම්ලේච්ඡ දේශපාලනය ගැන කිසිදු කතාවක් නැතිව 1994 දී ඔවුන්ට ප්‍රසිද්ධ දේශපාලනයට එන්නට මංගල සමග චන්ද්‍රිකා පාර කැපූ පසු, ඔවුන් හැසිරෙන්නේ ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමට ඔවුන් තව දුරටත් බැඳී නැති හැටියටයි.


මේ කාරණා දෙක, එකක් ඔවුන් දේශපාලනිකව තවමත් වරදක් හැටියට නොසළකන ඔවුන්ගේ අතීත ම්ලේච්ඡත්වයත් අනෙක, රාජ්‍ය බලය පක්ෂයේ දේශපාලනයට අනුව හැසිරවීමේ අයිතියත් එකට ගැට ගසන හැටි මෑතකදී කියුවේ ජවිපෙ සුපිරි නායකයින්ගෙන් එක් සුන්දර චරිතයක් වන ලාල් කාන්ත යි. පසුගිය ජනවාරියේ ඔහුට අවශ්‍ය ප්‍රශ්න තෝරා ඇසූ නිවට “මාධ්‍යවේදියෙකු” ඉදිරියේ තබා ගෙන ලාල් කාන්ත කිව්වේ, “අර ලෙනිනුත් කියලා තියෙන විදියට.... අපි බලයට ආවම, ප්‍රතිවිරෝධ, ගැටුම, තව ලක්ෂ වාරයකින් වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. නැගී සිටින බලවේග අති විශාලයි. ඒකට තමයි රාජ්‍ය බලය තියෙන්නේ...... ජනතාව අපිට බලය දෙන්නේ ඒකටත් එක්ක තමයි.....තීන්දු ගන්න තමයි බලය දෙන්නේ. තීන්දු ගන්නෙ නැත්තං....ඒ බලය වැඩක් නැහැ.... ඒ ගාණට කිව්වම ඇතිනෙ?....රට හදන්න ඒ ඒ අයගේ මැදිහත්වීම් වලට ලබා දිය යුතු කොටස් ලබා දෙමින් තමයි මේ ගේම ගහන්න තියෙන්නේ......ඒ මාෆියා කඩන්න රජයම මැදිහත්වෙන්න ඕනෙ නැහැ. අවශ්‍ය ඉලක්ක වලට යන්න....පාවිච්චි කරන්න....අපිටත් එහෙම සෙට් එකක් ඉන්නවා............ ඉන්න ඕනේ..... ඒ බාධා ඉවත් කරන්න.....” කියලා.        


රාජ්‍ය හැසිරවීමේ විධායක බලය සමග ජනාධිපති ධූරයයි, තම පක්ෂයේ දේශපාලන බලයට යටත් කරනු ලබන රාජ්‍ය තන්ත්‍රයයි, ඊට අමතරව “අපේ සෙට් එකයි” කියන්නේ සෝවියට් රුසියාවේ 1920 ගණන් වලින් ආරම්භ වුනු ස්ටාලින්වාදී අමානුෂික රාජ්‍ය මර්දනයට එහා යන දේශපාලන බලය කේන්ද්‍රගත කිරීමේ සූත්‍රයක්. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ බලය බෙදීම ගැන ජා.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය දැක්වූ අදහස් වහා නිශේධ කරමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළාට, ලාල් කාන්තගේ මේ දේශපාලන කතාව කිසිවකු ප්‍රතික්ෂේප කරලා නැහැ.


නමුත් ජවිපෙට ඒ ගැන නිල ප්‍රකාශයක් කිරීමේ බරපතල දේශපාලන වගකීමක් තියෙනවා. එනිසා විධායක ජනාධිපති ධූරය සහ ලාල් කාන්තගේ රාජ්‍ය මර්දනය අර්ථ දැක්වීම ගැන අනුර කුමාර කියන්නේ කුමක්දැයි කියා අහලා, දැනට මේ කතාව නතර කරමු.



kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 පෙබරවාරි 18

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්