ලොව පුරා ව්‍යාප්ත covid 19 ව්‍යසනයෙන් මේ වන විට මියගිය මිනිස් ජීවිත ගණන ලක්ෂය ඉක්මවා ඇත. සංඛ්‍යා ලේඛනවලට අනුව එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයට ය.

ඒ 19000කට ආසන්න මරණ සංඛ්‍යාවක් වාර්තා කරමිනි.

පසුගිය අප්‍රේල් මස 02 වැනිදා මෙම වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ප්‍රමාණය 50,000 ඉක්මවූ අතර එතැන් පටන් දින 08 ක් ඇතුළත මරණ ප්‍රමාණය දෙගුණයක් බවට පත්ව තිබේ. මේ වනවිට දෛනිකව පුද්ගලයන් 5000 කට වැඩි පිරිසක් වෛරසයට බිලි වෙමින් තිබේ.

ලංකාවේ අද (10) වන විට covid 19 වෛරසය අසාදනය වූ සංඛ්‍යාව 198ක් වන විට ඉන් සුවය ලබා ඇත්තේ 54 දෙනෙකු පමණි. එසේම ලංකාවේ පුරවැසියන් 7 දෙනෙකු වෛරසය විසින් බිලිගෙන ඇත. මේ හමුවේ තවමත් හඳුනාගත් covid 19 වෛරසය ආසාදනය වූ පුරවැසියන් 130කට වැඩි ප්‍රමාණයක් රට තුළ ප්‍රතිකාර ලබමින් සිටි. 

මැතිවරණයට හදිසි මාධ්‍ය මෙහෙයුමක්!

මෙවන් පසුබිමක ලබන අප්‍රේල් 26 දා ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා රජය දැඩි වුවමනාවකින් යුතුව කටයුතු කරමින් සිටියි.

''සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග්‍රහණයට.. අප්‍රේල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..'' යන ශීර්ෂයෙන් යුතුව ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍ය දැනටමත් වාර්තා පළකරමින් සිටි.

April 19 Corona Day 2020.04.10                                                      Image copyright lankacnews.com

එසේම, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවී  වන්නිආරච්චි පසුගිය දා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ, එළැඹෙන අප්‍රේල් 19 දින වන විට මෙරට කොරෝනා ආසාදිත සියලු රෝගීන් හඳුනා ගැනීමට හැකි වනු ඇති බවත් ඒ වන විට රටපුරා ඇදිරි නීතිය පනවා මාසයක කාලයක් ගතවන අතර විදේශගතව සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයන්ට මාසයක කාලයක් සම්පූර්ණ වන බවත්ය. 

එම මාසයක කාලයෙදි කොරෝනා වෛරසය කිසිවෙකුට වැළඳී ඇත්නම් හඳුනා ගැනීමට හොඳටම හැකියාව ඇති බවත් ආසාධිත රෝගීන් සිටිනම් ඔවුන් සුව වීමටද එම කාලය ප්‍රමාණවත් නිසා බවද සෞඛ්‍ය ඇමතිනිය පැවසුවාය.

මෙතෙක් රජයට ලබා දුන් සියලු සහයෝගය එළඹෙන 19 වන දා තෙක් ලබා දුනහොත් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයට ගිලගැනීමට ඇති සියලු ඉඩකඩ අවසන් වනු ඇති බවද ඇය පවසා සිටියේය.



සැරසෙන්න : අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක්- හමුදාපති

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලුම ජන කොටස්වලින් විශේෂ ඉල්ලීමක් කරමින් අප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරන බවත් ඊට සහයෝගය දැක්වීම සඳහා ඉදිරි සති දෙක ඇතුළත නිවාසවලටම වී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදිමින් සහයෝගය ලබාදෙන ලෙසටත් දැනුම් දී සිටියි.
 

Screen Shot 2020 04 11 at 8.18.31 PM                                                         Image copyright lankacnews.com


මහින්ද ජයග්‍රහණයේ අයිතිය ගනිමින්...

මේ අතර Mahinda Rajapaksa Information Center විසින් ප්‍රකාශයට පත්කරන www.mahinda.info වෙබ් අඩවියේ පළකර ඇති විශේෂ පුවත් වාර්තාවක සඳහන් වන්නේ, එල්.ටි.ටි.ඊ. ග්‍රහණයේ සිටි සිවිල් වැසියන් මුදා ගැනීමට මහින්ද ජනපතිඳුන් යෙදු උපක්‍රම මෙවර කොරෝනාවට එරෙහිවද යෙදු බවයි.

අගමැති අපේක්ෂක ලෙස මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින මහින්ද රාජපක්ෂ ඉස්මතු කරමින් එසේ වාර්තාවක් පළකර ඇති එම වෙබ් අඩවිය, කොරෝනා මර්දනයට හමුදාව යොදාගන්නේ ඇයි ? කියල අහන අයට මේවාට පිළිතුර දෙන ලෙස ද අභියෝග කර තිබේ.

Screen Shot 2020 04 11 at 8.33.44 PM


වගකීමෙන් ලිස්සා ගිය ජනාපති ලේකම්ගේ ලියුම

‘ඡන්දය දුන් නොදුන් සියලු පුරවැසියන්‍‍ගෙ ජනාධිපතිවරයා‘ තමන් බව එදා අනුරාධපුර රුවන්වැලි සෑ අභියස දී ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් ගෝඨාභය රාජපක්ෂ දැඩි අවධාරණයෙන් යුතුව ප්‍රකාශකළ අයුරු මේ රටේ සියලු මිනිසුන් දනී. 

එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් කොරෝනා ව්‍යසනය හමුවේ උද්ගතව ඇති ව්‍යවස්ථාමය ගැටලුව නිරාකරණය කරගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද ලිපියට පිළිතුරු ලබාදෙන ජනාධිපති ලේකම්වරයා එකී වගකීමෙන් බැහැර වී ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති. 

ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය මගින් පෙන්වා දෙන ආකාරයට ‘2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.‘ යනුවෙන් සඳහන් කර තිබේ. 

මෙම ප්‍රකාශය බරපතල හාස්‍යජනක මෙන්ම අතිශය ඛේදනීය තත්ත්වයක් බව දේශපාලන විචාරකයන් ‍විසින් අවධාරණය කරයි. මන්ද ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් පන‍තේ කරුණු උපුටා දක්වමින්, කොමිසමේ සභාපතිවරයා සිය වගකීම පැහැර ඇති බව පෙන්වා දීමට තරම් දැනුවත්ව හෝ නොදැනුවත්ව අනවබෝධයක සිට ක්‍රියාකර ඇති බැවිනි. 


Mahinda Deshapriya

මහින්ද ‍‍දේශප්‍රිය යනු ආධුනික රාජ්‍ය නිලධාරියකු නොවේ. ඔහු වසර 38කට අධික කාලයක්
 රාජ්‍ය පරිපාලන නිලධාරියකු වශයෙන් සේවය කර අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨතම රාජ්‍ය නිලධාරියෙකි.


මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් වැඩිදුරටත්පෙන්වා දෙන්නේ, මහින්ද ‍‍දේශප්‍රිය යනු ආධුනික රාජ්‍ය නිලධාරියකු නොවන බවත් හෙතෙම වසර 38කට අධික කාලයක් රාජ්‍ය පරිපාලන නිලධාරියකු වශයෙන් සේවය කර අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන බවත් මෙහිදී අමතක කර ඇති බවයි. 

නැතහොත් හිතාමතා මේ මොහොතේ රට තුළ මතුව ඇති සැබෑ තත්ත්වය ‍නොසලකා සිය අරමුණ වෙනුවෙන් කවරෙකු හෝ පිට වරද පටවා ඇඟ බේරා ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරතව ඇති බවයි.



මැතිවරණය කල් දැමීම:

ජනාධිපතිවරයා විසින් 2020-03-02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවන 2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් නිවේදනය නිකුත් කළ පසු ඊට අනුව මැතිවරණ කොමිසම සිය රාජකාරිය ඉටුකරමින් 2020-04-25 ඡන්ද විමසීම සඳහා වූ නාමයෝජනා භාර ගැනීම මාර්තු 19 දා සිදුකරන ලදී. 

කෙසේ නමුත් ඉන් අනතුරුව එළැඹියේ ඇඳිරි නීති සමයකි. ඒ අනුව මාර්තු 19 දා මාධ්‍ය හමුවක් කැඳවූ මැතිවරණ කොමිසම මැතිවරණය නියම කරගත් පරිදි අප්‍රේල් 25 පැවැත්වීමට ‍‍නොහැකි බව පවසා සිටියේය.

‘‘COVID-19 වෛරස් තත්ත්වය නිසා අපේ මැතිවරණ කැලැන්ඩරයේ පහුගිය දින 5ක්, 6ක් අඩාළ වුණා. දැනට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කිසි ම විදියකට අප්‍රේල් 25 නොපැවෙත්වෙන බවයි. කල් දමන ලද පාර්ලිමේන්තු මැතිවරණය යළි පවත්වන දිනය මැයි මාසය තුළ ද, ජූනි මාසය තුළ ද ඉන් ඔබ්බට ද යන්න තීරණය කරන්නේ අප විසින් නොව COVID-19 වෛරසය පාලනයට කාර්ය සාධන බලකායේ ඇති හැකියාව මත" යැයි ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.



නාමයෝජනා ප්‍රතික්ෂේප වීමේ අවධානමක් !


'' දැන් ආණ්ඩුව මුහුණ දී ඇති ගැටලුව නම් කොරෝනා වෛරසය මැඩලීම නොව මෙම සිය බල දේශපාලන අපේක්ෂා සාර්ථක කර ගන්නේ කෙසේද යන්නය.''

එළැඹ ඇති තත්ත්වයන් හමුවේ ව්‍යවස්ථානුකූලව පාර්ලි‍මේන්තුව විසුරුවා ඉදිරි මාස තුනක කාලයක් තුළ මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා කැඳවූ නාමයෝජනා සම්බන්ධයෙන් කුමක් සිදුකළ යුතුද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමක් සිදුකිරීම කළයුතු වනවා ඇත. ඒ ව්‍යවස්ථාමය අර්බුදයන් පියමං කිරීමේ අවසන් තීරකයා ‍ශ්‍රේෂ්ඨාධිකරණය වන බැවිනි. 

කොරෝනා ව්‍යසනය හමු‍වේ පළමු සහ ද්විතික වශයෙන් මට්ටම් දෙකක සිටින ස්පර්ශකයින් සහ පිටරට සිට පැමිණි ලියාපදිංචි වූ පිරිස් ඇතුළු සමස්ථ සැක කටයුතු පිරිස 42,000 ක් ඉක්මවා යන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවධාරණය කර ඇති පසුබිමක, එම තත්ත්වය හමුදාපතිවරයා සිය ප්‍රකාශයක් මගින් සනාථ කර ඇති වටපිටාවක මහ මැතිවරණය ජුනි 02ට පෙර පැවැත්වීමට නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.

තත්ත්වය එසේ තිබියදී ආණ්ඩුව සහ ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍ය විසින් කොරෝනා වැළැක්වීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තරයේ පැසසුම් හිමිකරගෙන ඇති බවත්, ලංකාව දැන් ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට එළැඹෙමින් සිටින බවත් හැඟෙවෙන පුවත් නිර්මාණය කරමින් සිටිනුයේ හුදෙක් මැතිවරණය කෙසේ හෝ අදාළ කාල සීමාව තුළ පැවැත්වීමට බව පැහැදිලිය. 

ජුනි 02ට පෙර කොටස් වශයෙන් හෝ ඡන්ද විමසීමක් සිදුකිරීමට නොහැකි වුවහොත් නාමයෝජනා සම්බන්ධ බරපතල අර්බුදයක් මතු වේ. එ‍සේ වුවහොත් ආණ්ඩුවේ බල දේශපාලන අපේක්ෂා භංගත්වයට පත් වීමේ ඉඩ විවර වීමක් එමගින් සිදු වනු ඇත.

 දැන් ආණ්ඩුව මුහුණ දී ඇති ගැටලුව නම් කොරෝනා වෛරසය මැඩලීම නොව මෙම සිය බල දේශපාලන අපේක්ෂා සාර්ථක කර ගන්නේ කෙසේද යන්නය.



දෙකෝටියක් මිනිස් ජීවිතවල වගකීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට

Anil.Jasinghe                      සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දේශපාලන අතකොළුවක් වේවි ද ?


සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එළඹෙන 19 වන දා තෙක් ලබා දුනහොත් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයට ගිලගැනීමට ඇති සියලු ඉඩකඩ අවසන් වනු ඇති බව මාධ්‍ය ඉදිරියේ පැවසුව ද මේ රටේ අමාත්‍යවරු වරියන්ගේ වගකීම් සහ වගවීම් සම්බන්ධයෙන් ඕනවටත් වඩා අත්දැකීම් රටේ පුරවැසියන්ට ඇති බැවින් මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශක් සිදුකළ යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි.  

කොවිඩ් 19 වෛරසයේ අවධානම තවමත් පහව ගොස් නැති තත්ත්වයක් යටතේ කාගේ හෝ වුවමනාවකට මහ මැතිවරණය පවත්වන්නේ නම්, එකී මැතිවරණ කාල සීමාව තුළ,

  1. මිලියන 21කට අධික ජනතාව අතරින් එක් අයකුට හෝ covid 19 අසාදනය නොවන බවට ද,

  2. 16,263,885 ක් වූ ඡන්ද දායකයන් අතරන් එක් අයකුට හෝ covid 19 අසාදනය නොවන බවට ද,

  3. මැතිවරණ රාජකාරියේ නියුතු එකදු රාජ්‍ය නිලධාරියකුට හෝ covid 19 අසාදනය නොවන බවට ද ,

  4. යම් හෙයකින් සිදුකරනු ලබන මැතිවරණ ප්‍රචාරක කටයුතු හරහා ඊට සහභාගි වන කිසිවකුට covid 19 අසාදනය නොවන බවට ද,

  5. ඡන්ද පොළ මධ්‍යස්ථාන තුළ දී, එහි රැඳී සිටින සහ එන යන කිසිවකුට  covid 19 අසාදනය නොවන බවට ද

  6. ඡන්ද ගණන්කරණ මධ්‍යස්ථාන තුළ දී එහි රාජකාරි කරන සහ විමර්ශනය කරන කිසිවකුට covid 19 අසාදනය නොවන බවට ද,

  7. මැතිවරණය පවත්වන බවට ප්‍රකාශ කරන දිනයේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වනතුරු සියලු ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිත බවට ද,

සහතික වෙමින් දැනට පවතින covid 19 වෛරසයේ අවධානම හමුවේ මහ මැතිවරණය පැවැත්වීම ගැටලුවක් නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් දියයුතුය.

 ඒ හුදු මාධ්‍ය කණ්ඩායමක් ඉදිරියේ නොව, සිය අත්සනින් යුතු දිව්රුම් ප්‍රකාශයක් මගින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමු‍වේය. 

මැතිවරණ කොමිසම් සභාවේ ඉදිරි ක්‍රියාකාරීත්වය වෙනුවෙන් මෙවැනි සහතිකයක් අත්‍යවශ්‍ය වනු ඇත. හුදු ‍දේශපාලඥයන්‍‍‍ගේ ප්‍රකාශ හෝ බලපෑම් ප්‍රකාරව කටයුතු කිරීම කොමිසන් සභාවකට තරම් නොවන බැවින් පවතිත වතාවරණය හමුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැනි වගකිවයුතු රාජ්‍ය නිලධාරියකුගේ මෙවැනි සහතිකයක් නොමැතිව මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු කිරීමට මැතිවරණ කොමිසන් සභාවට වගවිය හැකිද?

එසේ නොමැති තත්ත්වයක් තුළ මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම මුලු රටම,රටේ සියලු පුරවැසියාම බරපතල අනතුරකට ඇදගෙන යාමක් වනු ඇත.

(ද ලීඩර් දේශපාලන සටහන -2020 අප්‍රේල් 11) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්