leader s

(පළමු කොටස)

මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් පවත්වනු ලැබු සාහිත්‍ය දේශනය මේ වන විට පවත්වා (සැප් 10 වෙනි දින) ඇති අතර එය පොත් පිංචක් වශයෙන් ප්‍රකාශනයට පත් වී තිබේ. එය පවත්වනු ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙක් වන ලියනගේ අමරකීර්ති මහතා විසින් ය. එතුමා තමන්ගේ දේශනයේ මාතෘකාව වශයෙන් යොදා ගෙන තිබෙන්නේ - අප ගත් හා නොගත් මං - සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයනය ආශිතව බුද්ධිමය ඉතිහාසයේ ප්‍රධාන අවස්ථා සහ විභවතා - යන්නය.

මෙම දේශනය වාර්ෂිකව පවත්වන එකක් වන අතර ඒ ඒ කාලවල සාහිත්‍ය අනුමණ්ඩලය කරවන අයවලුන් හා හෝ ඒ ඒ කාලවල රජය කරවන අයවලුන්ගේ කැමැත්ත මත මේ සදහා කථිකයන් තෝරාගනු ලබයි.  ඉතිහාසය පුරා සමහර වසරවල මේ සාහිත්‍ය මාසයේ රාජ්‍ය සාහිත්‍ය දේශනය තෝරා ගත් කථිකයන් ‘සාහිත්‍ය විෂය සම්බන්ධයෙන්  ප්‍රාමාණික දැනුමක් නැති ඉතාමත් නොගැලපෙන සුලු හා එහෙත් දේශපාලන වශයෙන් ඒ ඒ ආණ්ඩුවලට සම්බන්ධ අය වූ’ අතර තවත් සමහර කාලයක මේ සදහා තෝරාගත් කථිකයන් ‘සාහිත්‍ය විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති හා එහෙත් දේශපාලන වශයෙන් ආණ්ඩුවලට සම්බන්ධ වූ’ අය වශයෙන් කාණ්ඩ දෙකකට දැමිය හැකි බව මගේ අදහසය. (මේ කාණ්ඩ දෙකටම අයිති නැති, ඒ කියන්නේ මේ විෂ්‍ය පිළිබදව දැනුම තිබෙන සහ අධිපති දේශපාලනයට සම්බන්ධයක් නැති අය, සාහිත්‍ය දේශනය පවත්වා නැත්දැයි සමහරෙක් ඇසිය හැකිය. මගේ පිළිතුර වන්නේ එසේ වී ඇත්තේ කලාතුරකින් බවයි.)

 

මා ඉහතින් කියු කාණ්ඩ දෙක  අතරින් මහාචාර්ය අමරකීර්ති මා ස්ථානගත කරන්නේ ‘මේ විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති සහ වත්මන් ආණ්ඩුවට  දේශපාලන වශයෙන් සම්බන්ධයෙක් ඇති’ අයෙක් වශයෙන් වූ දෙවෙනි කාණ්ඩයටය. විශේෂයෙන් මේ කාලයේ ජනප්‍රිය චෝදනාවක් වන්නේ ‘නිදහසින් පසු වසර 76 ක් පුරා මේ ආණඩුව හැර අනෙක්  හැම ආණ්ඩුවක්ම පාහේ බොහෝ තෝරා ගැනීම් සිදු කර තිබෙන්නේ දේශපාලනයද පසුබිමේ තියාගෙන’ බවය. එවැනි ‘වැරදි නොකරන’ ආණ්ඩුවක් ලෙසින් තමන්ව හදුන්වා ගන්නා අය තමන්ගේ කාලයේ සිදුකරන පළමු සාහිත්‍ය දේශනය සදහාම තෝරා ගත්තේ ද තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ සිටින හා තමන්ගේ දේශපාලන වේදිකාවේ  සිටින ප්‍රමුඛතම  කථිකයෙක් වීම තරමක් හාස්‍යජනකය. එහෙත් ‘වසර 76 යේ කෙරුවාවම අපිටත් අදාළ යැයි කීමේ අයිතිය’ ආණ්ඩුවට ඇති නිසා මේ තෝරා ගැනීම් ගැන ඊට වඩා වැඩි යමක්  කිව හැකි නොවේ.

මා මෙම සටහනින් උත්සාහ කරන්නේ අමරකීර්තිගේ දේශනය පිළිබදව යම් ආකාරයක නිරීක්ෂණ කීපයක් මතු කරන්නටය. එම දේශනය මේ වන විට ප්‍රකාශයට පත් වී ඇති නිසාත්, මහජන අවකාශය තුළ ඒ පිළිබදව යම් ආකාරයක සාකච්ජාවක් ගොඩනැගීම එහි අරමුණ බැව් පෙනෙන නිසාත්  ඒ පිළිබදව අදහසක් හෝ නිරීක්ෂණයක්  පළ කිරීම සුදුසුය.

වැදගත් මාතෘකාවක්

මුළින් ම කිව යුත්තේ මේ මාතෘකාව ඉතාමත් කාලෝචිත හා වැදගත් එකක් බවයි. මෙරට ඉතිහාසයේ ගමන් මග පිළිබදව විචාරාත්මක විමසා බැලීමක් අත්‍යාවශ්‍ය කාලයක අපි ජීවත් වෙන්නෙමු. ඒ අර්ථයෙන් අපේ ඉතිහාසයේ සමහර ක්ෂ්‍රේත්‍රයන් හි ගමන් මග විමසා බැලීම හරහා එම ක්ෂෙත්‍රයේ මතුවී ඇති ගැටලුකාරීතවයන් තෙරුම් ගැනීමටත් සහ නව මාවත් නිර්මාණය කිරීමටත්  අවස්ථාව සැලසෙනු ඇත. ඒ අර්ථයෙන් සිංහල සාහිත්‍ය සහ භාෂාව පැත්තෙන් සිදු කරන  පසු විපරමක් ලෙසින් මෙම මාතෘකාව මත සාකච්ජාවක් ගොඩ නැගීම ඉතාමත් වැදගත් ය. ඉතාමත් කාලෝචිතය.

තවත් පැත්තකින් බලන විට පෙනී යන්නේ මෙවැනි මාතෘකාවක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේදී යම් ආකාරයක වාදභරිතභාවයක් ඇතිවීම ද වැළැක්විය නොහැකි බවය. ඕනෑම රටක ඕනෑම සමාජයක් ස්වකීය ඉතිහාසයේ ගමන් මග තුළ ‘නොගත්’ මග කුමක්ද යන්න පිළිබදව විශාල වාදභරිත බවක් පවතින බවද සැබැවක් ය. ඒ කියන්නේ ‘නොගත් මග’ ගැන පසුකාලීනව සිතන විට එකිනෙකාට පෙනෙන දේවල් අතර විශාල වෙනස්කමක් පැවතිය හැකි වීමයි. උදාහරණයක් ලෙසින් ආර්ථික ක්ෂේත්‍රයේ මෙරට ‘නොගත්’ මග ගැන මේ වන විට ආර්ථික ක්ෂ්‍රේත්‍රයේ ඇතිවී තිබෙන ගැටලුකාරීත්වය පෙන්නා දිය හැකිය.

සමහරුන් කියන්නේ 1977 ආර්ථිකය විවෘත කිරීමට ‘ගත් මග’ වැරදි සහගත එකක් බවයි. ‘ගත යුතු මග මේක නොවන බවත් විවෘත ආර්ථික මග ගත්තේ නැත්නම් අද තිබෙන ආර්ථික අරබූදය මතු නොවෙනු ඇති බවත්’ ඒ ආකාරයෙන් සිතන අයගේ අදහසයි. එහෙත් තවත් සමහරුන් කියන්නේ 1977 විවෘත ආර්ථිකයක් සදහා ගමන් කිරීම ඉතාමත් නිවැරිදි ‘ගත යුතුවම තිබු’ මග කියාය. ඒ නිසා නොගත් මග ගැන සාකච්ජාව එහි නිර්වචානාර්ථයෙන්ම ගැටලු සහගත බව පිළිගත යුතුය. ඒ අර්ථයෙන් සළකන විට අමරකීර්ති මතු කරන සමහර ‘ගතයුතුව තිබු මං’ පිළිබදව අපගේ එකගතාවය තිබිය යුතුම යැයි කියා දෙයක් නැත. එහෙත් මේ මාතෘකාව ඉතාමත් වැදගත් එකක් වන්නේ ඉතියාසය තුළ ‘සිදුනොවු දේවල් සිදුවුනා නම්’ මොන වගේ තත්වයක් ඇතිවිය හැකිද යන පසු විපරම ඒ හරහා මතු  වන නිසාය. මේ සමහර ‘නොගත් මං’ ගැන සංවාදයක් මතුවීම සුදුසු යැයි හැගෙන නිසා මේ දේශනය පිළිබදව යම් අදහසක් පළකිරීම සිතුවෙමි.  

 

b567i

තවත් පැත්තකින් මහාචාර්ය අමරකීර්ති කියන්නේ (මා ඉහතින් කීවාක් මෙන්) මේ කාලයේ අධිපති දේශපාලන ධාරාවේ ප්‍රමුඛතම ප්‍රකාශකයෙක්ය. මේ ආණ්ඩුව මූළික වශයෙන්ම කියන්නේ නිදහසින් පසු  ගෙවුනු වසර 76 ය  පුරාම කිසිම හොද වැඩක් කෙරී නැති බවත් ඔවුන්ගේ ආණ්ඩුව බලයට පත්වුනේම ඒ හොද වැඩ ටික කරන්නට බවය. එවැනි තත්වයක අමරකීර්ති මෙසේ සාහිත්‍ය සහ භාෂාව පැත්තෙන් ‘නොකෙරුනු වැඩ’ හෙවත් ‘නොගත් මං’ ගැන කියන විට නිතැතින්ම හිත යන්නේ ආණ්ඩුව කියන වසර 76 නොගත් මං ගැන කථාවටය.  ඔහු  මේ කියන ‘නොගත් මං’ සහ ආණ්ඩුව කියන ‘වසර 76ක නොගත් මං’ අතර සම්බන්ධයක් තිබේදැයි මා දන්නේ නැත. එසේම  ඔහු කියන මේ සමහර ‘ නොගත් මං’ ආණ්ඩුව ඉදිරියේදී  ගන්නට සිතා  තිබෙන ‘මං’ දැයි මන් දන්නේ ද නැත.  එවැනි  සම්බන්ධයක් තිබියේවා හෝ නොතිබියේවා, ඔහු නගන සමහර ප්‍රශ්න සාකච්ජා කළ යුතු වැදගත් ඒවාය.

ඊටත් අමතරව මට පෙනෙන්නේ  අමරකීර්ති තමන්ගේ විෂයෙන් බාහිර කලාපයන්හි පවා ‘විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කිරීමේ වගකීමක් තමන්ගේ හිසමතට ගත්තෙකුගේ’ සේ බොහෝ අවස්ථාවල අදහස් පල කරන බවයි. ඒ අර්ථයෙන් ගත් විට ඔහු මතුකරන සමහර ප්‍රශ්න සහ ඔහු පෙන්වා දෙන සමහර ‘නොගත් මං’ පිළිබදව විමසීම ඉතා වැදගත් ය. මන්ද විශ්ව විද්‍යාල පද්ධතියේම අනාගතය යහපත් කිරීමේ වගකීමක් පෙන්වමින් වැඩ කරන  විද්වතෙකුගේ අදහස් සාකච්ජාවට කිරීම ඉතාමත් වැදගත්  විය හැකි නිසාය.

මේ දේශනයේ පළමු වාක්‍යයෙන් ම ඔහු කියන්නේ ‘තමන්ගේ දේශනය තනි තේමාවකට සීමා කිරීම වෙනුවට ඉතිහාසය යැයි සාමාන්‍යයෙන් හැදින්වෙන ක්ෂේත්‍රයට අයත් කරන්නට’ ඔහු කල්පනා කරන බවයි. (පිටුව 1).  ඒ ‘ස්ථානගත කරගැනීම ම’ පෙන්නුම් කරන්නේ තමන් කරන්නට යන වැඩේ තියෙන පැතිරුණු බව සහ බරපතල බව විය යුතුය. ඒ නිසාමත් මේ සම්බන්ධව යම් සාකච්ජාවක් සිදුකිරීම ඉතාමත් සුදුසුය.

දේශනයේ අන්තර්ගතය

මෙම දේශනය තුළ ප්‍රධාන කරුණු ලෙසින් කාරණා ගනනාවක් සාකච්ජා කරනු ලබයි. විශේෂයෙන් සිංහල සාහිත්‍ය පිළිබද පළල් කලාපය තුළ ‘ගත් හා නොගත් මං’ පිළිබදව කරන මෙම සාකච්ජාව තුළ ප්‍රධාන අනු මාතෘකා 8 යටතේ කරුණු ඉදිරිපත් ඉදිරිපත් කර ඇත.  
ඒවා වන්නේ,

Cover2 2
(1) සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රාචීන අධ්‍යපනයේ කොටසක් ලෙස

(2) සිංහල භාෂා අධ්‍යයන වෙත ප්‍රාචීන ප්‍රවේශ

(3) සංස්කෘත සාහිත්‍ය න්‍යාය ආධිපතීත්වය

(4) නූතන ප්‍රබන්ධ සාහිත්‍ය ආරම්භය

(5) ජාතිකවාදී ප්‍රබන්ධ කථාවේ සීමා හා විභවතා

(6) නූතනවාදී පරීක්ෂන කාමය : ප්‍රබන්ධ කථා

(7) නූතනවාදී පර්යේක්ෂන කාමය: කවිය

(8) පශ්චාත් යථාර්තවාදී ප්‍රබන්ධ,  වැනි ඒවාය. මේ සෑම ක්ෂ්‍රේත්‍රයක් පිළිබදවම යම් ආකාරයක සාකච්ජාවක් ආරම්භවීම ඉතාමත් වැදගත් ය.

මා අදහස් කරන්නේ මේ මතු කර ඇති ප්‍රශ්න අතරින් කීපයක් පිළිබදව සාකච්ජා කිරීමටත් ඔහුගේ කථාවේ තිබෙන මට තේරුම් යන ගැටලු සහගත තත්වයන් කීපයක් ගැන යම් නිරීක්ෂනයක්  ඉදිරිපත් කිරීමටය.  
 
1 . යටත් විජිත දේශපාලනය සහ සිංහල භාෂා පුනර්ජීවන ව්‍යාපෘතිය

අමරකීර්ති ස්වකීය දේශනයේ පලමු කොටස්වල (විශේෂයෙන්ම ඔහුගේ පළමු සහ දෙවන අනු මාතෘකාවන් තුළ) අඩු වැඩි වශයෙන් සාකච්ජා කරන්නේ මෙරට යටත් විජිත දේශපාලනය තුළ සහ පශ්චාත් යටත්විජිත කාල වකවානුව තුළ මතුවූ සිංහල භාෂා පුනර්ජීවන/ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතීන් සමග සම්බන්ධ කාරණා කීපයක් ය.

එම සාකච්ජාව මෙරට  භාෂා පුනර්ජීවන ව්‍යාපෘතීන් සම්බන්ධව සිදුවන්නක් වුවත් සමස්තයක් වශයෙන් යටත්විජිතයෙන් පසු මෙරට ගොඩ නැගුනු සිංහල ජාතිකවාදය සම්බන්ධයෙන් විවේචනයක් ලෙසින්ද තේරුම් ගත හැකිය. සිංහල භාෂාව, සාහිත්‍ය  සහ සංස්කෘතිය යන ක්ෂ්‍රේත්‍රයන් තුන මත තබා ආරම්භ වන මේ විග්‍රය 1941 වර්ෂයේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය පිහිටවීමෙන් පසුව ඒ ආයතනය තුළ සිංහල භාෂා, සාහිත්‍ය සහ සංස්කෘතිය යන විෂය ක්ෂ්‍රේත්‍ර 03 එකට කැටිව අධ්‍යයන ක්ෂ්‍රේයක් ලෙසින් වර්ධන වීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත.  

 

pgcf348tපියදාස සිරිසේන - ගුනදාස අමරසේකර

මෙහිදී අමරකීර්ති මතුකරන එක් ප්‍රශ්නයක් වන්නේ 20 වන සියවසේ මුල් භාගයේ යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත යුගයේ සිංහල භාෂා පුනර්ජීවන ව්‍යාපෘතිය තුළ ‘සිංහලත්වය සහ බෞද්ධත්වය’ යන ක්ෂ්‍රේත්‍රයන් වර්ධනය කරන්නට යාමේ ගැටලු සහගතභාවයයි.  ඒ නිසාම, (සිංහල භාෂා පුනර්ජීවන ව්‍යාපෘතිය තුළ සිංහලත්වය සහ බෞද්ධත්වය වර්ධනය කරන්නට යාම නිසාම)  අහිමි වූ පොදු ජනවාර්ගික කලාපයක් තිබී එය අපෙන් මග හැරී ගියේද යන්න ඔහුගේ ප්‍රශ්නයයි. මේ අදහස තවදුරටත් වර්ධනය කරමින් ඔහු දේශනයේම තවත් තැනක මේ අදහසම පියදාස සිරිසේනගේ සාහිත්‍ය මැදිහත්වීම සම්බන්ධයෙන් සහ ගුනදාස අමරසේකරගේ විචාරාත්මක මැදිහත්වීම සම්බන්ධයෙන් ද මතු කරයි.  

බැලු බැල්මටම මේ ප්‍රශ්නය යම් පදනමක් සහිත එකක් යැයි පෙනී යා හැකිය. එසේ වන්නේ අමරකීර්ති ඇතුලු මේ ආකාරයට සිතන තවත් සමහරුන් බොහෝ අවස්ථාවල අසන මේ ප්‍රශ්නය ඔවුන් ස්ථානගත කරන්නේ ම යම් ආකාරයක ‘යථානුභූතවාදී හා වාස්තවික පදනමක (positivistic, objective base)’ පදනමකය. ඒ කියන්නේ යටත් විජිත යුගයේ අවසාන කාර්තුව සහ පශ්චාත් යටත්විජිත යුගයේ ආරම්භය යන අවකාශය යනු ‘නිශ්චල, අගතිවිරහිත, උදාසීන දේශපාලනික අවකාශයක් (passive political space)’ ලෙසින් චිත්‍රණය කිරිමින් ප්‍රශ්නයට පිවිසීමය. මෙරට බොහෝ ‘පශ්චාත් යටත්විජිත විශේෂගයින්’ තමන් සාකච්ජා කරන අනෙක් හැම විෂයක්ම ගැනම පාහේ විචාර න්‍යායන් (critical theory) යොදමින් විමර්ෂණය කරන අතර 19 හා 20 සියවසේ සිංහල ජාතිකවාදයේ නැගීම යන කාරණය පිළිබදව බලන්නේ බරපතල ආකාරයක යථානුභූතවාදී ආකෘතියකින් ය.

අමරකීර්තිගේ ඉහත සදහන් ප්‍රශ්නකිරීමේ පදනම වන්නේත් එවැනිම වු අභ්‍යුපගමනයක් (assumption) යැයි මුළින්ම යෝජනා කිරීමට කැමැත්තෙමි. ඒ අභ්‍යූපගමනය තුළ සිට සිංහල ජාතිකවාදයේ නැගීම දෙස බැලීමෙන් මතුවෙන එක් නිගමනයක් වන්නේ ‘හැදෙන්නන්ට තිබු ජනවාර්ගික කලාපයක් මග හැරී ගිය’ බවය.

1958 pogrom

තවත් පැත්තකින් බැලුව හොත් අමරකීර්ති මතුකරන මේ ප්‍රශ්නය සිංහල සාහිත්‍ය පැත්තෙන් ඇසීම යම් ආකාරයක අලුත් දෙයක් විය හැකි වුවත් ජනවාර්ගික ඉතිහාසය පිළිබදව මෙරට පවතින සාකච්ජාවේ හා/හෝ සංවාදය තුළ මේ ප්‍රශ්නය අලුත් එකක් නොවේ. මෙතැන අමරකීර්ති අසන්නේ සිංහල සිංහල ජාතිකත්වයේ ආරම්භය සහ එහි වර්ධනය පිළිබදව සමහර බුද්ධිමතුන් විසින් වරින් වර මතු කරනු ලැබ ඇති ‘මෙරට සිංහල ජාතිකත්වය ඇතිවීම පිළිබද නූතනවාදී එළඹුම’ මත සිට අසන තරමක් පැරනි ප්‍රශ්නයම යලිත් මතු කිරීමයි. එහි අදහස වන්නේ මෙරට සිංහල ජනවාර්ගිකත්වය සහ සිංහල ජාතිකත්වය මේ තියෙන ආකාරයෙන් ගොඩ නැගුනේ දහනව වන සියවසේ මැද භාගයේ සිට විසි වන සියවසේ මැද භාගය දක්වා කාල පරිච්චේදය තුළ බවයි.

මීට පෙර බුද්ධිමතුන් ගන්නාවක්ම විවිධ සන්දර්භයන්ට අනුව යමින් මේ  ප්‍රශ්නය මතු කර ඇත. ඒ අතර ආර්. ඒ. එල්. එච් ගුනවරධන ගේ The People of the Lion: Sinhala Consciousness in History and Histriography  පිළිබද පත්‍රිකාව (1979); ජොනතන් ස්පෙන්සර්ගේ Sri Lanka: History and the Roots of the Conflict යටතේ වූ ලිපි සංග්‍රහය (1990); ප්‍රදීප් ජෙනනාදන් සහ ක්ව්ඩ්‍රි ස්මයිල් ගේ සංස්කාරකත්වයෙන් පලකළ Unmaking the Nation: The Politics of Identity and History in Modern Sri Lanka ග්‍රන්ථය (1995); ඩේවිඩ් ස්කොට් ගේ Refashioning Futures: Criticism after Postcoloniality  (1995)  වැනි අධ්‍යයනයන් මේ සම්බන්ධව ඉදිරිපත් වී ඇති ශාශ්ත්‍රීය කථිකාවට නිදර්ශනයන් කීපයක් ය. තරමක් මෑතදී මේ කාරණයම පිළිබදව සුජිත් සිවසුන්දරම්ගේ රචනා තුළත් (2007) දිලීප විතාරණගේ ‘බලය කේවල් කිරීම සහ ජාතිය ගොඩ නැගීම’ (2022)  කෘතියේ ද කරුණු ඉදිරිපත් කර ඇත.  

ආර්. ඒ. එල්. එච් ගුනවර්ධනගේ ‘The People of Lion පත්‍රිකාව මගින් වඩාත් දීර්ඝව සහ ඓතිහාසික කරුණු මත ඉදිරිපත් කරන අදහස වන්නේ සිංහල ජාතිකත්වයට මෙරට තුළ ඉදිරිපත් වන තරමේ ඉතිහාසයක් නොමැති බවත් අනුරාධපුර යුගයේ අභිලේඛන සහ පැරනි සිංහල සාහිත්‍ය මූලාශ්‍ර මගින් ඒ බව පෙන්නුම් කරන බවත් ය. මේ පත්‍රිකාව මත පදනම්ව  ගුනවර්ධන සහ කේ එන් ඕ ධර්මදාස  අතර ගොඩනැගුනු ශාස්ත්‍රීය සංවාදය මේ වන විට මේ ක්ෂ්‍රේත්‍රයේ විශාල අවධනයකට ලක් වු එකක් බව සමහරුන් දන්නවා ඇත.

The People of the  Lion: Ethinic Identity, Ideology and Historical Revisionalism in Contemporary Sri Lanka (1989) යන තේමාවෙන්  ධර්මදාසගේ පත්‍රිකාව මගින් ගුනවර්ධනගේ මතය ප්‍රතික්ෂේප කරන අතර ධර්මදාස එහි  ඉතිරිපත් කරන සමහර තර්කයන් හා සාහිත්‍ය මූලාශ්‍ර ඉතාමත් ශක්තිමත් ඒවා බව ඒ පිළිබදව සාකච්ජා කරන අය පිලිගනු ලැබේ. ගුනවර්ධන - ධරමදාස සංවාදය පිළිබදව දීර්ඝව කරුණු ඉදිරිපත් කරන්නට මා මෙහිදී අදහස් කරන්නෙ නැත. එහෙත් සදහන් කළ යුතු කාරනයක් වන්නේ අමරකීර්ති විසින් මතුකර ඇති එක් ප්‍රශ්නයක් වන 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුළභාගයේ මෙරට ජනවාර්ගික ජාතිකවාදයක් ලෙසින් ‘සිංහල හා බෞද්ධ ආත්මීයතාව නැවත සොයා යෑම’ පිළිබද කාරණය වෙනත් කෝණයකින් මේ වන විටත් පළල් සංවාදයට ලක්වූ කාරණයක් බවය.  

SWRD825122 600x531
අමරකීර්ති මතුකරන මේ ප්‍රශ්නය එනම් 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මැද භාගයේ (විශේෂයෙන්ම මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිහිටවනු ලැබු කාලයේ) මතුවු “සිංහල ජනයාගේ සංකෘතික උරුමය නැවත සොයා ගැනීමේ අවශ්‍යතාවය” සහ “සිංහල ආත්මීයතාව නැවත සොයා ගැනීමේ අවශ්‍යතාවය” නිසා සිංහල ජාතිකත්වය ව්‍යාපෘතිය මතුවූ බවට ඉදිරිපත් කරන තර්කයට ජනවාර්ගිකත්වය සම්බන්ධයෙන් වූ නුතතවාදී එළඹුම (modern approach in forming nationalism) කියාය. එම තර්කයේ අන්තරගතය වන්නේ මෙරට ඉතිහාසකරණයේදී 19 වන සිසවසේ මැද භාගයේ සිට ‘නිර්මාණය කරගත්’ ජාතිකත්වයක් මත වත්මන් ආකාරයෙන් ‘සිංහල ජාතිය’ නිර්මාණය වූ බවයි. ඒ නිර්මාණය සදහා ‘පැරණි සාක්ෂී, පුරාවිද්‍යා දත්ත සහ සාහිත්‍ය පඨිත්‍යන් ප්‍රතිවරණගනය කරමින් මේ ව්‍යාපෘතිය සිදු කළ බව’ පිළිගන්නා නමුත් අද තිබෙන සිංහල ජාතිය සහ භාෂාව යනු පශ්චාත් යටත් විජිත නිර්මිතයක් බව එම තර්කයයේ පදනමයි.

ජනවාර්ගිකත්වය සම්බන්ධයෙන් මේ නූතතවාදී න්‍යායේ පදනම් සකස් කළ චින්තකයින් අතර බෙනඩික් ඇන්ඩසන් (Benedict Anderson 1983) ඉදිරිපත් කළ ජාතියක් යනු කල්පිත ප්‍රජාවක් හෙවත් imagined community  තර්කය පදනම් වන්නේ අමරකීර්ති වැනි අය මතු කරන ඉහත සදහන් ආකාරයේ ‘නිර්මිතයක් ලෙසින්’ ජාතිය ආරම්භවීමය. මේ තර්කයේම තවත් දිගුවක් න්‍යායිකව ඉදිරිපත් කළ චින්තකයෙක් වන එරික් හොබ්ස්බොම් (Eric Hobsbaum 1983) ගේ අදහසක් වන්නේ ජාතිකවාදය, ජාතික අන්‍යන්‍යතාව යනු ‘සම්ප්‍රදායෙන් හාරා ගනු ලබන නව නිර්මණයක් හෙවත් invention of tradition’ එකක් කියාය. හොම්ස්බෝම් ඉදිරිපත් කරන මේ අදහස තුළ ඔහු තර්ක කරන්නේ ආසියාතික සමාජවල සමහර ජනවර්ග පැවතියේ pre-political people  හෙවත් පූර්ව දේශපාලනික මිනිසෙක් ලෙසින් බවත් ඒ පූර්ව දේශපාලනික මිනිසා ජාතිකත්වය තුළට අන්තර්ගතකරනය කරන්නේ ඉහතින් කිව ආකාරයේ ‘සම්ප්‍රධාය නැවත සොයා ගැනීමක්’ හරහා බවය.

9780195631579 usඑහෙත් මේ මතය ලංකාව ඉන්දියාව වැනි සමාජ තේරුම් ගැනීම සදහා යොදා ගත හැකිද යන්න විමසිය යුතු කාරණයක් ය. රනජිත් ගුහා Elementary Aspects of Peasant Insurgency in Colonial India කෘතියේ මේ ගැටලුව සාකච්ජා කරනු ලබයි. ලංකාවට සාපේක්ෂකව මේ කාරණය මතු කරමින් පී වි ජේ ජයසේකර ස්වකීය Conforntation with Colonialism (2017) කෘතියෙන් මතු කරන ප්‍රධන තර්කයක් වන්නේ මෙරට ඉතිහාසයේ 19 හා 20 වන සියවස් තුළ මතුවු සිංහල ජාතිකවාදය යන ප්‍රපංචය තේරුම් ගැනීමේදී යටත්විජිත යාන්ත්‍රණය සමග සිදුකරන ‘විරෝධය හා ගැටුම’ පදනම් වූ සන්දර්භයෙන් පිටත තබා කියවීම හරහා උනතිවාදයක් නිර්මාණය වන බවයි.  

ඒ අනුව මා කල්ප්නා කරන්නේ මේ 19 හා 20 වන සියවසේ මුල කාලයේ මෙරට මතුවු සිංහල ජාතිකවාදයේ නැගීම් සහ (කෝපරහේවාගේ වචනයකින් කිවහොත්) සිංහල භාෂා භාෂානුරාගයේ දේශපාලනය යන ක්ෂේත්‍රයන් පිළිබදව සිදුකරන සාකච්ජාවන් එම යුගයේ දේශපාලන යථාර්තයන්ට සාපේක්ෂකව තේරුම් ගත යුතු බවයි. ‘විරෝධය හා පැවැත්ම’ යන පළල් වපසරිය තුළ මිස එයින් පිටතට ගෙන අදාළ සමාජ ප්‍රපංචය තේරුම් ගැනීම හරහා සිදුවන්නේ මෙරට සිංහල ජාතිකවාදයේ වර්ධනයන් පිළිබද වු චිත්‍රය නිසි ආකාරයෙන් නොපෙනී යාමයි.

එසේම අමරකීර්ති මතුකරන තවත් වැදගත් කාරණයක් වන්නේ මෙරට පැරනි සාහිත්‍ය පාඨ ග්‍රන්ථ ප්‍රතිවර්නගනය කිරීමේ ක්‍රියාවලිය තුළ මතුවූ සමහර එළබීම් සහ ‘ආර්ය ජනවර්ගයන්’ පිළිබද යුරෝ කේන්ද්රීය චින්තකයින් ගේ බලපෑම කුමන ආකාරයෙන් වර්ධනය වූවේද යන්නය. එසේම එඩ්වඩ් සයිද් විසින් මතු කළ ආකාරයේ ප්‍රාචීනවාදය පිළිබද න්‍යායික පදනමකින්   තත්කාලින මෙරට ශාස්ත්‍රවන්තයන්ගේ ක්‍රියාමාර්ගයන් තේරුම් ගැනීමේ ඌනතාවයක් මෙරට තුළ මතුවූයේද යන්න ද අමරකීර්තිගේ මේ ප්‍රශ්නාවලිය තුළ තව දුරටත් ඇත.

මෙම කාරනා පිළිබදව ඉදිරි කොටසේ දී සාකච්ජා කිරීමට අදහස් කරමි

(සටහන | මහාචාර්ය චරිත හේරත්)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(උපුටා ගැනීම- අනිද්දා පුවත්පතින්..)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්