අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය 15 වැනිදා කළ නියෝගයට අනුව හෙට (22) අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ.
එහෙත් කොළඹ, ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ නිර්දේශ මත එම භික්ෂූන් වහන්සේ හෙටත් අධිකරණයට ඉදිරිපත් නොකරන බවක් කියැවේ.
විශේෂඥ වෛද්‍යවරිය විසින් එවැනි නිර්දේශයක් ලබාදී, එම භික්ෂූන් වහන්සේ අධිකරණයට ඉදිරිපත් නොකළහොත් දන්නා තරමට අධිකරණයට කරන්නට දෙයක් නැත. හේතුව එය රෝගියාගේ යහපත වෙනුවෙන් වෛද්‍ය වෘත්තිකයකු විසින් ගන්නා ලද තීරණයක් ලෙස පිළිගැනීමට සිදුවීමයි. දුමින්ද සිල්වා වසර එක හමාරකට වැඩි කාලයක් බන්ධනාගාරයට නොගොස්, ජයවර්ධනපුර රෝහලේ සිටියේය. බන්ධනාගාරයෙන් අහන-අහන වෙලාවට ඔවුන්ට කියන්නට තිබුණේ අපට කරන්නට දෙයක් නොමැති බවකි. මේ භික්ෂූන් වහන්සේට අදාළවත් බන්ධනාගාර නිලධාරීන් ඒ කතාව කියන්නට ඉඩ තිබේ.
වාර්තා වන ආකාරයට එය එසේ සිදුවුවහොත්,
පල්ලේගම හේමරතන භික්ෂූන් වහන්සේගේ සිදුවීම ගැන මීට පෙර ලියූ සියලු තැන්හිදී කියූ දේ ම යළිත් කියන්නට තිබේ. ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්කරගැනීමේ ජනතා අභිලාශ අතර ඉහළින්ම තිබූ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ - නීතිය සියල්ලට ඉහළින් තැබීමේ විශ්වාසය බරපතළ පළුදුවීමකට ලක් වේ.
තවත් කාරණයක් තිබේ. ඉහතින් ද ලියා ඇති පරිදි වෛද්‍යවරියක අදාළ නිර්දේශය ලබාදෙන්නේ නම්, අධිකරණය එය පිළිගන්නේ නම් හෝ වෙනත් පවතින ක්‍රමවේද අනුව ඉදිරියට යන්නේ නම්, ආණ්ඩුවට කරන්නට දෙයක් නැත. මීට පෙර ගැටලුව වූයේ මේ භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට නොගැනීමයි. එය පොලිසිය විසින් කරන ලද මගහැරීමකි.
ඉන්පසු නවලෝක පෞද්ගලික රෝහලේ ඒ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද භික්ෂූන් වහන්සේ නතර ව සිටියේය. බන්ධනාගාරය භාරයට පත්කරන ලද සැකකරුවකුට ප්‍රතිකාර කළ යුත්තේ බන්ධනාගාර රෝහලේ හෝ ජාතික රෝහලේ ය. එතැනට භික්ෂූන් වහන්සේ යවන්නට අලුතින් අධිකරණ නියෝගයක් අවශ්‍ය විය. මේ අවස්ථාවලදී ගැටලුව තිබුණේ සෘජු ව ආණ්ඩුව ළඟ ය. එතකොට දැන්..?
මේ සංකීර්ණ තත්ත්වයේ වාසිය සැකකාර භික්ෂූන් වහන්සේ සහ අත්තනෝමතික දායක සභාව ගනිමින් සිටින බව පැහැදිලි ය.
නීතිය සහ යුක්තිය යනු දෙකකි. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. එහෙත් එපමණක් සෑහෙන්නේ නැත. යුක්තිය ඉටුවන බව පෙනෙන්නට තිබිය යුතුය. යුක්තිය ඉටු විය යුතුය. ආණ්ඩුව ඊට අවශ්‍ය සියලු පහසුකම් සැලසිය යුතුය.
(සටහන | ශාලික විමලසේන)
Shalika Wimalasena
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







