යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ සැලකිය යුතු සාධනීය වෙනස්කම් රැසක් පවතින බවත්, තවදුරටත් කළ යුතු මූලික සංශෝධන කිහිපයක් පවතින බවත් මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දෙයි.
ඉතා හානිකර 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' අහෝසි කරගැනීමට වසර ගණනාවක් පුරා වත්මන් සහ පෙර රජයන් විසින් සකස් කරන ලද කෙටුම්පත් පිළිබඳ මැදිහත්වීම් හේතුවෙන් එම පනත සම්පූර්ණයෙන් අහෝසි කර ගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව අප තේරුම් ගෙන තිබුණි. පූර්ණ අහෝසි කිරීම පමණක්ම ඉල්ලා සිටීමෙන් සිදුවන්නේ වත්මන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත දිගට ම පවත්වාගෙන යාමය. අවසානයේ දී, සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබේ.
මෙතෙක් පනත ගැන වැඩි අවධානයක් යොමු නොකළ පෙරටුගාමී පක්ෂය දැන් වැඩට බැස ඉල්ලා සිටින්නේ මුළු ආකෘතියම ප්‍රතික්ෂේප කිරීමටයි. උදාහරණයක් ලෙස ආරක්ෂාවන් සහිතව හමුදා සාමාජිකයන්ට ත්‍රස්තවාදීන් යැයි සැක කරන පුද්ගලයන් අත් අඩංගුවට පනතෙන් සලසන ඉඩට ඔවුහු සම්පූරණයෙන් විරුද්ධ වෙති. දැනට ක්‍රියාත්මක දුෂ්ට පනත ඉවත්කර ගැනීමේ අවශ්‍යතාවය සහ GSP+ සහනය රැක ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන, යථාර්තවාදී නොවන ප්‍රවේශයන් පසෙක ලා මේ වසරේ මුල නිකුත් කල අප විවේචනයට ලක්වූ කෙටුම්පතට කර ඇති වෙනස්කම් විග්‍රහ කරනු ලැබේ.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යනු මෙම ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන් ස්ථාපිත කරන ප්‍රධාන ලේඛනය යි. ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වන දින ඊට එකඟතාව පළ කළේය. එබැවින්, එය හොඳ මිනුම් දණ්ඩකි.

මහේස්ත්‍රාත්වරයාට රැඳවුම් නියෝගයක් අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට අභිමතය ලබා දී තිබුණේ නම් සහ ස්වාධීන සමාලෝචන කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අභිමත බලතල ඉවත් කරනු ලැබුවහොත්, අනෙකුත් අඩුපාඩු තිබිය දීත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුකූල වන බව ප්‍රකාශ කළ හැකිය.
ත්‍රස්තවාදය නිර්වචනය කිරීම
කාරක සභාව වෙත ඉදිරිපත් කළ කරුණු වලදී, අධික ලෙස පුළුල් අර්ථ දැක්වීම්වල ඇති අවදානම් අපි පෙන්වා දුන් අතර එම අවදානම් අවම කර ගැනීම සඳහා යම් ක්‍රියාමාර්ග ද යෝජනා කළෙමු. මේ සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් අත්කරගෙන ඇත.
මානසික අංගය (mens rea) සැලකිය යුතු ලෙස සීමා කර ඇත. පෙර කෙටුම්පතේ තිබූ අංග හතර දෙකක් දක්වා අඩු කර ඇති අතර, "යම් ක්‍රියාවක් කිරීමට හෝ ඉන් වැළකී සිටීමට රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට බල කිරීම" යන ගැටලුකාරී වගන්තියට "අයුතු ලෙස" (unduly) යන සුදුසුකම් දැක්වෙන වචනය එක් කර ඇත. මින් පෙර ඉදිරිපත් කරන ලද නිර්වචනයන් ගැන අවබෝධයක් නැති පෙරටුගාමී ප්‍රකාශකයා මෙම වැදගත් එකතු කිරීම නොසලකා හරී. දියුණු කරන ලද නිර්වචනයට නිදර්ශන කිහිපයක් එකතු කිරීමෙන් සැක සංකා තුරන් කල හැක .
ජාත්‍යන්තර සංවිධානය' යන්නෙහි අර්ථ දැක්වීමක් ඇතුළත් කිරීම හෝ පිළිගත් අර්ථ දැක්වීමක් සහිත 'ජාත්‍යන්තර රාජ්‍ය සංවිධානය' (international governmental organization) යන පදය භාවිත කිරීම යෝග්‍ය වනු ඇත.
අප යෝජනා කළ පරිදි, ත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති මෙම පනතේ උපලේඛනයකට ඇතුළත් කර ඇත.
ව්‍යතිරේකය සාමාන්‍යකරණය කිරීම
ත්‍රස්තවාදී ප්‍රහාර ද ඇතුළුව, ස්වභාවික හෝ මිනිසා විසින් ඇති කරන ලද ආපදා වැනි අසාමාන්‍ය තත්වයන්ට මුහුණ දීම සඳහා 'විශේෂ තත්වයන්' (states of exception) ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ප්‍රායෝගිකවාදීහු (pragmatists) පිළිගනිති. ත්‍රස්තවාදී අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමේ සහ වැරදිකරුවන්ට සාර්ථකව දඬුවම් ලබා දීම සඳහා සාක්ෂි රැස් කිරීමේ දී පැන නගින දුෂ්කරතා හුදෙක් පැතුමකින් පමණක් මඟ හැරිය නොහැකිය.

2019 අප්‍රේල් 21 වැනි දින බෝම්බ පිපිරුණු මොහොතේ සිට භාවිත කළේ කුමන ආකාරයේ නීතිදැයි සොයා බැලීම වැදගත් වෙයි. පැය කිහිපයක් ඇතුළත දුරකථන ඇමතුම් ඔස්සේ තොරතුරු සොයාගත් අතර දෙමටගොඩ නිවස වටලනු ලැබීය. මෙම සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවේ මහජන ආරක්ෂක ආඥාපනතේ (140 පරිච්ඡේදය) විධිවිධාන යටතේ ය. මහජන ආරක්ෂක ආඥාපනත වැනි නීතිවල අරමුණ එය යි. එවැනි අසාමාන්‍ය තත්ත්වයක දී, සාමාන්‍යයෙන් අවසර නොදෙන ක්‍රියාවන්ට ඉඩ ප්‍රස්ථාව සැලසේ. හදිසි නීතිය ප්‍රකාශ කර මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවත්, එය වරකට වලංගු වන්නේ මාසයකට පමණක් බවත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. එම විධිවිධාන මඟින් මෙවැනි ව්‍යතිරේක අවස්ථාවල ඇති බරපතලකම පිළිගෙන තිබේ.
වර්තමාන පනත් කෙටුම්පතේ VII වන කොටස මගින් විසඳීමට අපේක්ෂිත කරුණු, ඉහත සඳහන් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්වචනය කර ඇති ක්‍රියාපටිපාටිය යටතේ ම දිගට ම විසඳීම වඩාත් යෝග්‍ය වනු ඇත. ඉතා ම යෝග්‍ය විසඳුම ක්‍රියාත්මක කර නොමැති වුව ද, මීට පෙර යෝජනා කරන ලද විධිවිධාන වැඩිදියුණු කර ඇත.
සංවිධාන තහනම් කිරීමේ අතිශය දැඩි බලය තවමත් ජනාධිපතිවරයා සතුව පවතී (59 වැනි වගන්තිය). එක ම දියුණුව නම්, දැන් අධිකරණ සමාලෝචනයට ඉඩ ලබා දී තිබීම යි. ස්ථාන පැය 72ක කාලයක් සඳහා "තහනම් ස්ථාන" ලෙස ප්‍රකාශ කිරීමට ලේකම්වරයාට බලය ලබා දෙන විධිවිධානය එලෙස ම පවතී. ඊට වැඩි වන විට, මහේස්ත්‍රාත්වරයෙකුගේ අනුමැතිය අවශ්‍ය වෙයි. පෙර කෙටුම්පත්වල ජනාධිපතිවරයාට පවරා තිබූ, මහජන ආරක්ෂක ආඥාපනත සහ ඊට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්ෂණ විධිවිධාන මඟහැර ඇඳිරි නීතිය පැනවීමේ බලතල ඉවත් කර තිබීම ප්‍රශංසනීය ය.
අවසන් නිගමන

නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ සාධාරණ සැකයක් ඇති කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවට විනිසුරුවරයෙකුට ඒත්තු ගැන්වීමේ වෙහෙසකර කාර්යයේ නොයෙදී, විවිධ වර්ගයේ සැකකරුවන් (ඉන් සමහරක් පැහැදිලිව ම ත්‍රස්තවාදය හා සම්බන්ධ නොවන අය වුව ද) රඳවා තබා ගැනීමට පොලිසියට ඉඩ සලසන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මගින් හිමිවන පහසුවට හුරු වී සිටින පාර්ශ්වයන්ගෙන් රජයට තවදුරටත් විරෝධතා එල්ල විය හැකිය. වධ හිංසාව, රඳවා තබන ස්ථාන, පාපොච්චාරණ ආදිය ගැන දැනට ක්‍රියාත්මක පනතේ විධිවිධාන සැලකිය යුතු ලෙස දියුණු කිරීම ගැන ප්‍රශංසා කරන අතර, අපගේ නිදහස සහ රටේ දෙවන වැදගත් ම අපනයන වෙළඳපොළ සුරක්ෂිත කිරීම සඳහා අවසාන වෙනස්කම් කිහිපයත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතුය.
26(3) වගන්තිය සංශෝධනය කිරීම මගින්, දේශපාලන සාධක මත පත් වූ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන රැඳවුම් නියෝග අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අවම වශයෙන් විනිසුරුවරයෙකුට (වඩාත් සුදුසු වන්නේ මහාධිකරණ විනිසුරුවරයෙකුට) බලය පැවරිය යුතු අතර, 30(8) වගන්තිය සංශෝධනය කිරීම මගින් ස්වාධීන සමාලෝචන කමිටුවේ තීරණ අමාත්‍යවරයාගේ අභිමතය මත වෙනස් කළ නොහැකි, අනිවාර්යයෙන් ම පිළිපැදිය යුතු තීරණ බවට පත් කළ යුතුය. ඇඳිරි නීතිය පැනවීමේ බලතල ඉවත් කළාක් මෙන් ම, සංවිධාන තහනම් කිරීමේ බලතල (59 වන වගන්තිය) ඉවත් කළහොත් VII කොටස යහපත් වනු ඇත.

(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/
Most recent publication: https://journals.sagepub.com/
Most recent book: https://www.idrc.ca/en/book/







