leader s

රහසිගත කඩිමුඩිය


විනිසුරු වයස් සීමාව ඉහළ දැමීම, මින් මාස කිහිපයකට පෙරාතුව පැවතුනේ  යම් කිසි නිහඬතාවයක ගිලුණු රහස් සඟවා ගත් කන්දක් සේය.  විනිසුරු වයස් සීමාව වැඩි කිරීම සහ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නට යන බව පිළිබඳව නීති ප්‍රජාව, විද්වතුන් සහ විපක්ෂය ප්‍රමුඛ රටේ විවිධ පුද්ගලයන් මත පළ කරන විටත්, ආණ්ඩුවෙන් විමසා සිටින විටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන ඒ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරන විටත් අධිකරණ විෂය භාර ඇමැතිවරයා කියා සිටියේ එවැන්නක් පිළිබඳව කිසිදු අදහසක් හෝ සැලසුමක් නොමැති බවකි. එවැනි ප්‍රකාශ මගින් නැති බිල්ලෙක් මවා පාන බවටත් හෙතෙම චෝදනා කළේය.

"මේ හරහා යම් අයුක්තියක් අසාධාරණයක් යුක්තිය ඉෂ්ඨ කිරීමට බාධාවක්, අධිකරණයේ ස්වාධීණත්වයට බාධාවක් වෙයි කියලත් කරුණු දෙපාර්ශවයක් විසින් ඉදිරිපත් කරමින් සිටිනවා. මේ සියළු කරුණු අපි සලකා බලනවා. නමුත් මේ දක්වා මෙලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීම නිල වශයෙන් කැබිනට් තීන්දුවක් අරගෙන නෑ. එහෙම දීර්ඝ කරනවා නම් කොහොමද කරන්නේ, මොන ක්‍රමයටද කරන්නේ යන කිසිවක් තීන්දු කරලා නෑ. හැබැයි මේ වන විට වෘත්තිකයන් රාශියක් නොයෙකුත් ආකාරයේ කරුණු දක්වමින් සිටිනවා. සමහර ඒවා සාධනීය යි. සමහර ඒවා දේශපාලනික යි. නමුත් ඒ හැමදේම අපි සිතලා බලනවා," යනුවෙන් අධිකරණ  ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර  2026 ජූනි මස 11 වැනි දා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සහ විනිසුරු වයස වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද ප්‍රශ්නාවලියකට පිළිතුරු ලෙසය.

විනිසුරු වයස වැඩි කිරීම සම්බන්ධයෙන් ඒ දක්වාම  ආණ්ඩුවේ කිසිදු සුදානමක් හෝ සාකච්ඡාවක් හෝ නැතැයි විෂය  භාර ඇමැතිවරයා විසින් ජූනි 11 වැනිදා පවසනු ලැබුව ද එය මුසාවක් බව පැහැදිලි වන්නේ ඉන් අනතුරුව අදාල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවීමේ දිනයේ සිට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම  දක්වා වූ කාල රාමුව දෙස බැලීමේදී  ය.

විනිසුරු වයස වැඩි කිරීමක් පිළිබඳ සැලසුමක් නොමැති බවට 2026 ජූනී 11 දා පාර්ලිමේන්තුව අමතමින් නීතිඥ හර්ෂණ නානායක්කාර ඇමැති පවසා දින 45  ට පසුව , එනම් ජූලී 27 දා අදාල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර නලින්ද ජයතිස්ස ඇමැති  ජූලි 28 වැනි දා මාධ්‍ය හමුවේ දැනුම් දුන්නේය. ඉන් අනතුරුව අගොස්තු මස 03 වැනි දා අදාල පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය ලැබී තිබුණු අතරම,  අගෝස්තු 07 ගැසට් පත්‍රයේ පළ කරනු ලැබු කෙටුම්පත ඉන් දින 11 ට පසුව එනම් 18 වැනි දා පාර්ලිමේන්තුව  හමුවටද ඉදිරිපත් කරන ලදී.   නමුත් ගැටළුව ඇත්තේ මේ දින වකවානු තුළ නොව, ඒ දිනවකවානු අස්සේ සැඟවෙමින් යෝජනාවක් හෝ නැතැයි පැවසු පනත් කෙටුම්පතක් කිසිදු ජගතකු කියූවද ආපස්සට හරවා නොගන්නා බවට පවසමින් පාර්ලිමේන්තුව හමුවට ද  ඉදිරිපත් කිරීමය.

ජනපති ගෝරනාඩුව


රටේ අධිකරණ පද්ධතියට හෝ නීතිය ක්‍රියාත්මක ආයතනවල ක්‍රියාකාරිත්වයට කවර ආකාරයකින් හෝ ඇඟිලි නොගසන බවටත්, බලපෑම් නොකරන බවටත් විධායක පුටුවේ හිඳ ගන්නට පෙර දස අතේ දිවුරා කී  අනුර කුමාර දිසානායක, පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කෙරුනු පෙත්සම් විභාගය කට උඩ තිබියදීම දැඩිව සහ තර්ජනාත්මකව කියා සිටියේ කවුරු විරුද්ධ වුණද  විනිසුරු වයස ඉහළ දැමීමේ තම තීරණය ආපස්සට හරවා නොගන්නා බවකි. " කවුරු විරුද්ධ වුණද" යනුවෙන් දැක්වෙන අර්ථයට අධිකරණය සහ තීන්දුව ද අයත් විය යුතුය. නොඑසේ නම් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කුමක්දැයි තීන්දුවට පෙර දැන අවබෝධයෙන් සිටිය යුතුය.

මාලිමාණ්ඩුවේ දෑවුරුදු ජුබිලිය සමරමින් බේරුවල සහ බුලත්සිංහල ප්‍රදේශවල පැවති ජනහමු  අමතමින් ද ජනාධිපති අනුර කුමාර මහත් උද්‍යෝගයෙන් යුතුව මෙසේ කීය.

" ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. දැන් අධිකරණයේ විභාගයට ලක් වෙලා තියෙනවා. දින 21 ක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය දෙන්න ඕනේ. ඒ තීරණය දුන්න වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා 22 වැනි සංශෝධනය සම්මත කර ගන්නවා".

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන්නට නියමිත තීන්දුවක් ගැන අනුර කුමාර දිසානායක විධායක බලයේ මහිමයෙන් අද එසේ පැවසුවද, ඔහුම මෙයින් කලකට පෙර සාමාන්‍ය මන්ත්‍රීවරයකුව සිටියදී  තවත් එක් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව කියා සිටියේ මෙවැන්නකි.

" අපි විශ්වාස කරනවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙතෙක් ගෙන ආ සංශෝධන 19 න් කිසිවක් ජනතාවගේ අනුමැතියට ලක් කොට නෑ. නමුත් 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ජනතාවගේ අනුමැතිය, ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා අපගේ ඉල්ලීම වන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනා මේකට බාධා කරන් නැතුව 20 වැනි සංශෝධනය අවශ්‍ය ද නැද්ද කියලා පාර්ලිමේන්තුවේ 225  දෙනා තීරණය කරනවා වෙනුවට එක්කෝටි පනස් ලක්ෂයක් වන ජනතාවට එය තීරණය කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. මොකද 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවෙන් පරාද කරන්න හදනවා නම් කවුරු හරි එහෙම කරන්නේ ජනතාවට බය අය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි සියළු දේශපාලන පක්ෂවලට කියන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනා මේ ගැන තීරණයක් ගන්නවා වෙනුවට ජනතාවට, ජනමත විචාරණය සඳහා අවස්ථාව දෙන්න කියලයි."

එදා ජවිපෙ නායක අනුර සහ අද විධායක ජනාධිපති AKD පනත් කෙටුම්  පතක් සම්බන්ධයෙන් පල කර ඇත්තේ පරස්පර මත දෙකකි.

ජනාධිපති අනුර කුමාරගේ  එවැනි පෙර දැකුම් එක් නඩුවකට පමණක් සීමා වූවක් නොවන අතර, මෙයට පෙරද අවස්ථා කිහිපයකදීම  ඔහු විසින් අධිකරණ තීන්දු  පිළිබඳව කල්තියා මත ඉදිරිපත් කොට තිබේ. වරක් කියා සිටියේ ඉදිරියේ ලබා දීමට නියමිත තීන්දුවක් ගැන අත්පුඩි ගසන්නට බලා සිටින ලෙසයි. දේශපාලන වශයෙන් ආන්දෝලනාත්මක තවත් නඩු කිහිපයක් උපුටා දක්වමින් එම නඩුවල තීන්දු ලබා දෙන දින වකවානුද ඔහු විසින් පවසනු  ලැබුණි. අත්අඩංගුවට පත්වන්නන් ගැන මෙන්ම  සහ ඉන් අනතුරුව සිදුවිය හැකි දේ පිළිබඳවත් ඔහු විසින් පාර්ලිමේන්තුව තුළත් මහජන වේදිකා තුළත් ඉඟි පළ කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණයට විධායකය මට්ටු කළ නොහැකි ද?

 


හුදෙක් මෙය රටේ විධායක ධුරය විසින් ප්‍රකාශිත නිල මතයක්ද ‌නොඑසේ නම් දේශපාලන ගැලරිය පිනවීමට කරන ලද්දක්  යන වග කවර ලෙසකින්වත් ආදාල නොවේ. වැදගත් වන්නේ විධායකයට, අධිකරණය  විසින් ලබා දෙන්නට නියමිත  තීන්දුවක් හෝ ඒ  සම්බන්ධයෙන්  කවර හෝ පූර්ව මතයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිද යන වගයි. එය අතිශයින්ම බරපතල තත්වයක් වනවා සේම ව්‍යවස්ථා විරෝධී අනීතික ක්‍රියාවක්ද වන්නේ ය. ශ්‍රී ලංකාවේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන බල ත්‍රිත්වය සැකසි ඇත්තේ එකක් පරයා අනෙක ඉහළට එසවෙන පරිදි නොව සමාන  සහ එකිනෙකාට අනන්‍ය වූ බල සීමාවන් සහිතව බව පාසල් දරුවන් පවා දන්නා කරුණකි. එහි පදනම බලතල වෙන්ව තැබීමේ සහ ක්‍රියාවට නැංවීමේ (Separation of Powers) නෛතික මූලධර්මය යි.  

එහෙත් ව්‍යවස්ථාදායකය හෝ විධායකය විසින් ස්වකීය බලතල  අනිසි හෝ ව්‍යවස්ථා විරෝධී ලෙස හෝ ක්‍රියාවට නංවන්නේ නම් හෝ එසේ නංවන්නට සුදානම් වන අවස්ථාවක හෝ එය නෛතික වශයෙන් වළක්වාලන්නට, වාරණ පනවන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට අභිමතාණුසාරි බලයක් ඇති බවද අමතක නොකළ යුතුය. එම බලය පැවරෙන්නේ ව්‍යවස්ථාවෙන් පැවරෙන ජනතා පරමාධිපත්‍යය යටතේ වන අතර, ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වන අයුරින් නියෝග නිකුත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය කවර ලෙසකින්වත් අභියෝගයට ලක් කළ හැකි එකක් නොවේ. එහෙත් ව්‍යවස්ථාදායකය විසින් නිරන්තරයෙන්ම පවසනු ලබන්නේ තම කටයුතු සඳහා අධිකරණයට මැදිහත් විය නොහැකි බවයි. එය ව්‍යවස්ථාපිත බලයට මුවා වෙමින්  පුරවැසියන් රවටන්නට කරන්නාවූ කූඨ ප්‍රකාශයකි. ව්‍යවස්ථාදායකය පවසන්නේ සත්‍යයක් නම් ඔවුන් විසින් අත්තනෝමතිකව සිදු කරන ක්‍රියා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථා විරෝධී යැයි දක්වමින් ආපස්සට හරවන්නේ කෙසේද? එවැනි නඩු තීන්දු ගණනාවක්ම මෑත ඉතිහාසය පුරාම අප දැක තිබේ.

ව්‍යවස්ථාදායකය යනු රටේ උත්තරීතරම නීතිය නොවන අතර, එය නීති සම්පාදන ආයතනයක් ලෙස පමණක් ක්‍රියා කරයි. එනිසාම ව්‍යවස්ථාදායකය, ව්‍යවස්ථාවට පිටින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණ නියමයන්ට ඉහලින් හෝ ඇතැයි සිතීම මිත්‍යාවකි. ඒ බව මනාව පැහැදිලිවන  නෛතික අර්ථ කථන සැපයු  නඩු තීන්දු ගණනාවක්ම අපගේ නීති ඉතිහාසය පුරාම ලියැවි තිබෙන්නේ ය. මෑත යුගයේ එසේ ලබා දුන් එක්  නඩු තීන්දුවක්   වන්නේ 2013 වසරේදි දිවි නැගුම පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී බවට කරුණු දැක්වීමේ "වරදට" හිටපු අගවිනිසුරුවරියක වූ ශිරානි බණ්ඩාරනායක සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසින් දෙන ලද විනිශ්චය පරිදි ධූරයෙන් නෙරපා හරින්නට කටයුතු කිරීම  බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවයි.  තේරීම් කාරක සභාවේ තීන්දුව 'ස්වභාවික යුක්ති මූලධර්මය' ට පටහැනි අනීතික ක්‍රියාවක් ලෙස හැඳින්වූ ශ්‍රේෂ්ඨාකරණය පාර්ලිමේන්තුවේ නියෝගය බල රහිත කරන්නට කටයුතු කරන ලද්දේ පාර්ලිමේන්තුව  විසින් ගනු ලබන කවර හෝ තීන්දුවක් ප්‍රශ්න කරන්නට අධිකරණයට බලයක් නැතැයි යන තර්කය  බිඳ හෙලමිනි.

රනිල්ට අමතක උසාවියේ අධිකාරිය

එයාකාරයෙන්ම ඉහත පරිච්ඡේදයක දක්වා ඇති  2018 වසරේදි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර පාර්ලිමේන්තුවද විසුරුවා, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති මන්ත්‍රිවරයකු අගමැති බවට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී එකක් බවට දෙන ලද තීන්දුවයි. පාර්ලිමේන්තු කටයුතුවලට මැදිහත් වන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් හෝ අයිතියක් නැතැයි දිගින් දිගටම පුරසාරම් දොඩන රනිල් වික්‍රමසිංහට අමතකව ඇත්තේ විධායකය විසින් ඔහු අගමැති ධූරයෙන් නෙරපා හරින ලද විට එය බල රහිත කරමින් විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ  බලය අභියෝගයට ලක් කොට තමන් නැවත අගමැති පුටුවේ ඉන්දවනු ලැබුවේද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවකින්  බවයි.


ගෝලීය නීති සංස්කෘතියක් සහ  ගෝත්‍රික දේශපාලන සංස්කෘතියක්

විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ හෝ ඕනෑම ව්‍යවස්ථා විරෝධී සහ පරිපාලනමය ක්‍රියාවක් (Executive of Administrative Action)   අභියෝගයට ලක්කර එය අවලංගු කිරීම් බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුවන බව ඉතිහාසයේ තවත්  නඩු තීන්දු දෙස සැලකිල්ලෙන් බැලූ විට පෙනී යන්නේ ය. නමුත් ගැටළුව වන්නේ ඒ පිළිබඳව පුලුල් සමාජ හෝ නෛතික සංවාදයක් රට තුළ මේ තාක් මතු වී නොතිබීම ය.

1965 දි ප්‍රකාශිත ලියනගේ එදිරිව රැජිණ නම්  නඩුවද ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඇති බලතල බෙදීමේ මූලධර්මය පිළිබඳව ලබා දී තිබෙන ‌සුවිශේෂි නඩු තීන්දුවකි.

1962 වස‌රේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ  සැකකරුවන් සම්බන්ධ නඩු විභාගය වෙනුවෙන් එවක පාර්ලිමේන්තුව විසින් විශේෂ නීතියක් සම්මත කරන ලද අතර, නඩුව විභාග කිරීම සඳහා විනිසුරුවරුන් නම් කිරීමේ බලය විධායකය (එවක අගමැතිවරයා) සහ අධිකරණ ඇමැතිවරයා වෙත පවරා ගන්නට කටයුතු කරන ලදී. එම සිදුවීම එවකට ලංකාවේ ඉහළම අධිකරණය වූ ප්‍රිවි කවුන්සියලය (Privy Council)  දක්වා ඇදී ගිය අතර, පාර්ලිමේන්තුව  විසින් සම්මත කරන ලද අදාල නීතිය පසුව එම අධිකරණය විසින්  බල රහිත  කරනු ලැබුවේ ව්‍යවස්ථාදායකට හිතුමනාපයට නීති පනවන්නට ඉඩක් නැති බව පෙන්වා දෙමිනි.      

එහිදි මතු වුණු වැදගත්ම නෛිතක සිද්ධාන්තය වන්නේ නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුව තිබුණද නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් හෝ  ක්‍රියාකාරකම් මත යමින් "අධිකරණ කාර්ය පටිපාටිය" (Judicial Functions) තමන් වෙත පවරා ගන්නට ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට (එවකට අගමැති ධූරය) හෝ නොහැකි බව සහ එසේ කිරීම ම බලතල බෙදීමේ මූලධර්මය සෘජුවම උල්ලංඝනය කෙරෙන බව  පැවසීමයි.

 

WHAT IS LAW
අප මේ ජීවත්වන 21 වැනි සියවසේ දී ලොව  කිසිදු රටකට සියයට සියයක්ම තමන්ට පමණක්  අනන්‍ය වූ හෝ හුදකලා ලෙස පවත්වාගෙන යන්නා වූ හෝ නීති පද්ධතියකින් පමණක් ක්‍රියාක්මක වන්නට පුලුවන් කමක් නැත. එසේ පවතින්නේ ඉතාම සීමා සහිත වූ නීති ප්‍රතිපාදනයන් පමණි. වර්තමානය වන විට ගෝලීය වශයෙන් හෝ කලාපීය වශයෙන් හෝ නොඑසේ නම් ද්විපාර්ශවික වශයෙන් හෝ රටවල් එකිනෙකා සමග යම් කිසි ස්වාධීන රාමුවක් යටතේ හෝ  නීතිමය වශයෙන් බැඳි සිටිති. ඒවා ජාත්‍යන්තර තලයේ සම්මුති, ගිවිසුම් හෝ එවැනි ආකාරයේ ලිඛිත බැඳියාවල්ම පමණක් නොවේ.

යම් රටක් පුද්ගල නිදහස හෝ මානව හිමිකම් හෝ උල්ලංඝනය වන ලෙස නොඑසේ නම් මර්දනකාරී අණ පනත් භාවිතා කරමින් හෝ කටයුතු කරන විට එම නීති ඔවුන්ගේ ව්‍යවස්ථාදායකය හෝ විධායකයේ නියෝගයන් මත නෛතිකව බල ගන්වන ලද ඒවා යැයි කියමින් කටයුතු කරන්නට ඉඩක් නොලැබෙන්නේ ය. ඒවා ජාත්‍යන්තර තලයේදී නිරීක්ෂණයට මෙන්ම විවේචනයට ද හසු වන්නේ ය. අධිකරණ ක්ෂේත්‍රය ද මේ හා සමානය. 22 වැනි ආණ්ඩුක්‍රම සංශෝධන පෙත්සම් විභාග‌යේදී විනිසුරුවරුන්  විසින් නීතිඥ සංගමයේ  වාචික ප්‍රතිඋත්තර දීමේ අයිතිය උල්ලංඝනය කර ඇතැයි ද, එමගින්  ජාත්‍යන්තර අධිකරණ සම්ප්‍රදායන් බිඳ දමා ඇතැයි ද පොදු  රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිවරයා පැවසුවේ එබැවිනි. අධිකරණය අප රටේ වුණු පළියට, පෙත්සම් අපේ වූ පළියට ලෝක අධිකරණ සම්මතයට පිටුපා කටයුතු කරන්නට අපට පුලුවන් කමක් නැත.

දේශයේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීම

රටක අධිකරණයේ ස්වාධීනත්වය ඒ රටේ සමස්ත ජන සමාජයේම පැවැත්ම තීරණය කෙරෙන්නා සේම  එම රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව සෙසු රාජ්‍යයන්ට ද යම් විනිශ්චයක් කරන්නට ඉඩ හසර සලසයි. එමෙන්ම එවැනි තත්වයන් රටේ සිවිල් හා දේශපාලන මෙන්ම මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද තීරණාත්මක නිර්නායක සපයයි.

 

iccpr 34
ශ්‍රී  ලංකාවද අත්සන් තබා තිබෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 14 (1) වගන්තියට අනුව, සෑම පුරවැසියකුටම තමන්ගේ නඩුව 'සාධාරණ සහ අපක්ෂපාති අධිකරණයක්' ඉදිරියේ විභාග කරවා  ගැනීමට අයිතියක් තිබෙන අතර, එක්සත් ජාතීන් විසින් 1985 දී  සම්මත කර ගනු ලැබු මුලධර්මවල (UN Basic Principles on the Independence of the judiciary) 11 සහ 12 වගන්තිවලට  අනුවත් ' විනිසුරුවරුන්ගේ සේවා කාලය, විශ්‍රාම වයස සහ වැටුප් වැනි කරුණු නීතියෙන් නිසි පරිදි ආරක්ෂා කර යුතු වන අතරම, ඔවුන් ධුර දරන කාලය තුළ ඒවාට අහිතකර බලපෑම් කිරීමට විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට හෝ නොහැකි  බවත්’ සම්මතයකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ද පුරෝගාමිත්වයෙන් පිහිටුවන ලද පොදු රාජ්‍ය මණ්ඩලය  විසින් පිළිගෙන තිබෙන ලැටිමර් සභා  මූලධර්මය (Commonwealth Latimer House Principles ) ඇතුළු ජාත්‍යන්තර නීති සම්ප්‍රදායවල දැක්වෙන පරිදි අධිකරණ ව්‍යුහය වෙනස් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බලතල වෙන්ව තැබීමේ මූලධර්මය රැකගැනීම සඳහා  අධිකරණ කොමිෂන් සභාවේ සහ විනිසුරුවරුන්ගේ පූර්ණ එකඟතාවය හා  උපදෙස් ලබා ගත යුතුව තිබේ.  

අලුත් හෝ අපට දුරස්ථ හෝ නොවන මේ සංකල්ප සියල්ල ශ්‍රී  ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්  ද පිළිගෙන බලාත්මක කොට තිබෙන පුරවැසියන් සතු අයිතිවාසිකම් ය. ඒවා මූලික මිනිස් අයිතිවාසිකම් මෙන්ම සිවිල් හා දේශපාලන හිමිකම් ගණයට ද අයත් ය.

ඒ නිසාම මෙවැනි අත්තනෝමතික ක්‍රියාකලාපයන් මගින් ප්‍රජාතන්ත්‍රවාදී  දේශපාලන සහ සමාජ පැවැත්මකට සිදුවන හානිය සුළුපටු එකක් නොවන අතර, ඇතැම් කාරනා යළි නිවැරදි වන්නට නම් වසර ගණන්, ඇතැම්විට පරම්පරා ගණන් බලා හිදින්නට ද සිදුවිය හැක. කවදාවත් නිවැරදි නොවන්නටත් පුළුවන.

විශේෂයෙන්ම, මූලික අයිතිවාසිකම්වලට සීමා පැනවීම හෝ ඇතැම් හිමිකම් ක්‍රමාණුකූලව අහෝසී වීම, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම හෝ ඒ සඳහා බලපාන්නා වූ තත්වයන් ඇති වීම, ස්වාධීන මැතිවරණ  පැවැත්වීම වෙනුවට රාජ්‍ය බලය යොදා ගනිමින් ප්‍රචණ්ඩකාරිව හෝ අනීතික ආකාරයට මැතිවරණ ජයග්‍රහණය මෙන්ම ව්‍යවස්ථානූකූලව බලය පැවරුනු ස්වාධීන කොමිසම් සභා සහ රාජ්‍ය ආයතන දේශපාලන මෙන්ම විධායක බලයට නතු වීම ආදිය මෙවැනි තත්වයකින් පසුව රටකට දායාද විය හැකිය. අධිකරණය විධායකයට හෝ පවතින ආණ්ඩුවට හිතකර නැතිනම් යම් පක්ෂග්‍රාහී බවකින් කටයුතු කිරිමට පොළඹවා ගත් විට ඉහත දක්වන ලද පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලදී එයට එරෙහිව කටයුතු කළ නොහැකි වනු ඇත.


2/3 ඒකාධිපතිත්වයක්

ඒ සියල්ල වර්තමානය හා මනාව සැසඳේ. ලෝක සම්මත නෛතික බැඳීම්, ව්‍යවස්ථා සම්පාදනයන් සහ අධිකරණ සම්ප්‍රදායන් නොතකමින්  ඒවාට පිටුපා  විධායකයේ හෝ එයට අවනත ව්‍යවස්ථාදාකයේ හෝ අභිමතය මත පමණක් යමින් අපට නීති සකස් කරන්නට හෝ ඒවා රටේ නීතී  පද්ධතියට එක්කාසු කරන්නට හෝ නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝක සම්මතයන් මෙන්ම ජාත්‍යන්තර තලයේ නෛතික බැඳියාවල් ප්‍රතික්ෂේප කරමින් යන ඒකාධිපති රාජ්‍ය පාලන තන්ත්‍රයකට එසේ කරන්ට පුලුවන. එහෙත් තේරුම් ගත හැකි භාෂාවෙන් පවසනු ලැබුව හොත් එවැනි ක්‍රියාවන්ට වැඩි ආයුෂ නොමැති බවට  උදාහරණ අපේ රටේම ඉතා මෑත ඉතිහාසයෙන් සොයාගත හැක.

ජාතික ජනබලවේග ආණ්ඩුවේ මෑත සම්මත හිතුවක්කාරි 22 වැනි පනත් කෙටුම්පත සහ එහි ගමන් මග අපට කිරා මැන බලන්නට සිදු වන්නේ එවන් වූ සමාජ දේශපාලන මෙන්ම නෛතික පසුබිමක ය.  

කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිලාභී ජනාධිපතිවරයා හා කරට කර සිටිමින් ,  එංගලන්තයේ බැරිස්ටර් විභාගය සමත්  යැයි  පැවසෙන, නීතිඥවරයකු ද වන  අධිකරණ ඇමැතිවරයා ද මුල සිටම දැඩිව කියා සිටියේ  "අපි මේක කතානායකට දාලා සම්මත කරගන්නවා " යනුවෙනි. ඔවුන්ගේ සමස්ත වාග් මාලාවන් පුරාම තිබුණේ සංයමයක් හෝ විචාරශීලිත්වයකින් තොර තර්ජනයකි, ගර්ජනයකි.  ඔවුන්ගේ එවැනි ප්‍රකාශ කෙටුම්පත සම්මතයටත් පෙරම අපට ඉඟි සපයන ලද්දේ වැදගත් වන්නේ නීතිය හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොව ඔවුන්ගේ  උඩඟු බලහත්කාරී දේශපාලනයේ ස්වභාවය යි. එහි සත්‍ය මේ වන විට පාර්ලිමේන්තුවේ 158/63 ක් ලෙස අප ඉදිරියේ තිබෙන්නේ ය. එනිසා නීතියට පිටස්තර සුදානම් වීම මගින් ඉඟි කෙරුනේ  අධිකරණ තීන්දුව කුමක් වුව තමන්ට අවැසි දේ කරන්නට පසුබට නොවන බව නොවේද?

ආණ්ඩුවට, පාර්ලිමේන්තුව තුළ  2/3 බලයක් හිමි බව සත්‍යයක් මුත් එයින්  තමන්ට අභිමත ආකාරයට සියල්ල කළ හැකි බව හැඟවෙන්නේ නැත. විධායකය තමන්ට බහුතර බලයක් හිමි ව්‍යවස්ථාදායකය යොදා ගනිමින් පනත් කෙටුම්පත්  පවතින නීති රෙගුලාසි අභිබවා සම්මත කර ගන්නට යන්නේ නම් එය වරදක් බව කිව යුතුම නොවේ. මන්ද, නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට හෝ එම නීති ක්‍රියාවට නංවන අධිකරණයට හෝ එදිරිව යමින් කටයුතු කරන්නට විධායකයට නොහැකි වන බැවිනි.මේ බල කණු ත්‍රිත්වයටම බලය පැවරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය වෙතිනි. විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට අධිකරණ බලතල  අභිබවා යාමට හෝ, අධිකරණය පවතින්නේ  තම බල සීමාවට පහතින් යැයි හෝ පවසන්නට නෛතික බලයක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම මෙයට පෙර ලබා දී ඇති නඩු තීන්දු ගණනාවකම පැහැදිලිව දක්වා තිබේ.


අනෙක් පසින් ව්‍යවස්ථාදායකයේ  පවතින බලය අනුවම ගොස් පනත් කෙටුම්පතක් හෝ නීතියක් සම්මත කළ පමණින් ම එයද යහපත් යැයි පැවසිය නොහැක. මන්ද බහුතර බලය යනු  ප්‍රජාතාන්ත්‍රවාදයම නොවෙන බැවිනි. බහුතර බලය යනු බහුතරය හිමි පාර්ශවයේ කැමැත්ත සහ අභිමතය යි. සැබෑ ප්‍රජාතාන්ත්‍රවාදය යනු සුළුතරයේ මතයට ඉඩ ලබා  දිමයි. ලංකා ඉතිහාසයේ දැවැන්ත සංහාර සිදුවූයේ " බහුතර රාජ්‍ය බලය හිමි  ප්‍රජාතන්ත්‍රවාදයේ" ආනුභාවයෙනි. රටේ සෑම බිම් අඟලකම සමුහ මිනිවළවල් මතු වෙන්නේ ඒ සුපිරි බහුතර ප්‍රජාතන්ත්‍රවාදයට පිං සිදු වන්නට ය. ඒ බහුතර කැමැත්ත නම් ප්‍රජාතන්ත්‍රවාදයේම ගොදුරු බවට අතීතයේදී පත්වූ  පිරිසක් වර්තමානයේ එයම මර්දනකාරී ‍අවියක් ලෙස යොදා ගනිමින් නීතිය අවභාවිතා කරන්නේ එහි ඇති මුග්ධ බව මනා  ලෙස  පෙන්වා දෙමිනි.

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම

1999 දී කරුණාතිලක එදිරිව දිසානායක නඩුවේ නිමිත්ත බවට පත්ව තිබුණේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද හදිසි නීති රෙගුලාසි භාවිතා කරමින් මැතිවරණ කල් දැමීමට දැරූ උත්සාහයක් අභියෝගයට ලක් කිරීමකි. එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලද්දේ පාර්ලිමේන්තුව  හෝ විධායකය හෝ කුමන නීති පැනවුවද ඉන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ නම් ඒ පිළිබඳව මැදිහත් වීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණය සතුවන බවයි.

Mark Fernandoමාර්ක් ප්‍රනාන්දු
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් තැබූ  මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමන් වරෙක කියා සිටියේ ‘නීතියේ ආධිපත්‍යය (Rule of Law) ට යටත් ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක කිසිදු ආයතනයක් හෝ පුද්ගලයකු ව්‍යවස්ථාවට ඉහළින් නොසිටින’ බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව වුව කටයුතු කළ යුතු වන්නේ ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමාවන් ඇතුලත පමණක් යැයි ද එතුමන් විසින් පවසන ලදී.    

නමුත් දැන් මේ සියල්ල ඉතිහාසයට එක්වී අවසන් ය. මේ කිසිවක් 22 පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සැලකිය යුතු කරුණු කාරනා හෝ හැරවුම් ලෙස හෝ සලකා නොමැති බව පැහැදිලි ය.

නඩු කන්දෙන් වසා ගත් ව්‍යවස්ථා සංශෝධනයක්

පනත සම්මත කරගැනීමට යන ගමනේ ආණ්ඩුවේ මතය  වූයේ, ගොඩ ගැසී තිබෙන මිලියනයකට අධික නොඑසේ නම් ලක්ෂ එකොලහ ඉක්මවන නඩු කන්ද ඉක්මනින් විසඳා යුක්තිය ඉටුවීමේ ක්‍රියාදාමය කඩිනම් කරවීමට නම් විනිසුරුවන්ගේ වයස් සීමා ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බවකි. විෂය භාර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අධිකරණ උපදේශක කාරක සභාව හමුවේ තබන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව දිවයින පුරා අධිකරණ වර්ග අටක ගොඩ ගැසි තිබෙන සමස්ත නඩු සංඛ්‍යාව එකොලොස් ලක්ෂ තිස් දෙදහස් නමසිය දහසයකි (1 1,32 916). ඉන් වැඩිම සංඛ්‍යාව වන අට ලක්ෂ දහඅට දහස් අටසිය අසු නමය  (818, 889) වාර්තා වෙන්නේ පහළම අධිකරණය වන මහේස්ත්‍රාත් අධිකරණයේ ය. ඉන් අනතුරුව වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ අපරාධ මහාධිකරණයේ සහ දිසා අධිකරණයේ වන අතර එය පිළිවෙලින් 27, 376 ක් සහ 260,007 කි. සිවිල් අභියාචනාධිකරණයේ ගොඩගැසි තිබෙන නඩු සංඛ්‍යාව 6591 කි. තවද වාණිජ මහාධිකරණයේ නඩු 6330 ක් සහ අභියාචනාධිකරණයේ නඩු 5216 ක් ලෙස විසඳන්නට ඉතිරිව තිබෙන අතරම, කම්කරු විනිශ්චය සභා නඩු 3131 ද ඉහත මුළු සංඛ්‍යාවට ඇතුලත් ය. විනිසුරු වයස වැඩි කිරීම පිළිබඳව ආණ්ඩුව වැඩි බරක් තබා කටයුතු කරන, අනිවාර්යෙන්ම වයස ඉහළ දැමිය යුතු යැයි පවසන ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැසි ඇතැයි ආණ්ඩුවම පවසන නඩු සංඛ්‍යාව 5396 කි.

ශ්‍රී ලංකාවේ අධිකරණ ඉදිරියට වැඩි වශයෙන්ම යන්නේ සිවිල් හෝ මූලික අයිතිවාසිකම් පිළිබඳ  නඩුකර නොව අපරාධ සිදුවීම්ලවට අදාල නඩු  බව සියල්ලන්ම දන්නා කරුණකි. එහෙයින් කඩිනමින් විසඳුම් සෙවිය යුතු වන්නේ මහාධිකරණය සහ ඉන් පහළ අධිකරණවල ගොඩ ගැසෙන අපරාධ  නඩු තදබදය අවම කිරීම වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ ඇතැම් මූලික අයිතිවාසිකම් නඩුකර ද වසර ගණන් ඇදෙන බව අවිවාදිත කරුණකි. ඒ නිසාම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ද අමතක කොට මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය  යුතු  නොවේ. නමුත් ප්‍රමුඛතාවය ලබාදිය යුතු වන්නේ අපරාධ නඩු විමසන අපරාධ මහාධිකරණය  සහ ඉන් පහළට ය. මන්ද එය හුදෙක් අධිකරණමය ගැටලුවක්ම පමණක් නොව අපරාධ විමර්ශනය සහ නඩු පැවරීම නම් කාර්ය  සිදුකරන  අනෙකුත් ආයතන සමගද බද්ධව පවතින්නක් වන බැවිනි.

මෙම නඩු ගොඩ ගැසීමේ සංඛ්‍යාවල  ඉදිරියෙන්ම සිටින්නේ  ත්‍රස්ත මර්දන පනත වැනි අණ පනත් මගින් සහ මත්ද්‍රව්‍ය චෝදනා යටතේ " නඩු නොමැතිව" දීර්ඝ කාලයක් සිරගතව සිටින පිරිස් ය. විශේෂයෙන්ම නිසි නඩු විමසීමකින් හෝ ඇප ලබා දීමකින් තොර ත්‍රස්ත මර්දන පනත යටතේ වසර 10/ 15 හෝ එයටත් වඩා වැඩි කාලයක් සිරගත කර සිටින රැඳවියන් ගණන අති විශාලය. එසේ නඩු නොමැතිව බන්ධනාගාරයේම අවුරුදු ගණන් ජීවිතය ගෙවමින් එහිම මිය ගිය රැඳවියන් පිළිබඳව ද අප අසා ඇත්තෙමු. එවැනි රැඳවියන් පිළිබඳව කිසිදු රජයකට, අභිචෝදකයන් ට, නීති ප්‍රජාවන්ට මෙන්ම විනිසුරුවරුනට කම්පාවක් ඇති නොවන්නේ ය.

එහෙත්, ආණ්ඩුව විසින් පනත් කෙටුම්පත අරබයා ගෙන හැර දක්වන ලද තර්ක විතර්ක මෙන්ම සංඛ්‍යා ලේඛන ද මේ වන විට අතීත කතාවන්ට සීමා වී තිබේ. නඩු ගොඩ ගැසීම හෝ ගොඩ ගැසෙන නඩු විසඳීම සඳහා ඉදිරිපත් කෙරෙන දත්ත කිසිවක් මේ මොහොත වන විට වඩා වැදගත් තාර්කික කතා බහකට ප්‍රයෝජනවත් නොවන්නේ එම සංඛ්‍යා ලේඛන සහ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මූලික සිද්ධාන්තය අතර සම්බන්ධයක් නොපෙන්වන නිසාම නොව, මේ වන විට ඒ සියල්ල පසෙකට විසි කොට අරගලය අධිකරණ ක්‍රියාවලියකට තල්ලු වී ගොස් අවසානයේ කෙටුම්පත සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය ද   අවසන්ව  සිටින  බැවිනි.  

‘අධිකරණයේ ස්වාධීනත්වය’ සඳහා විරෝධය දැන් කොයිබට ද?

එහෙත් එයින් සියල්ල අවසන් වන්නේ නැත. සෑම අවසානයක්ම තවත්  ආරම්භයක පදනම  වන්නා සේම ඉතිහාසය නැවත නැවත සිහිගන්වන්නට අවස්ථාවක් ද සලසන්නේ ය. 22 කෙටුම්පත අපට එම පාඩමද අනාගතයේදී උගන්වනු ඇත. ආණ්ඩුවේ දැන් වගකීම වන්නේ 22 වැනි සංශෝධනය හරහා අධිකරණය යොදා ගනිමින් තමන්ට අවැසි දේශපාලන දඩයම් හෝ ඉලක්ක ගත පුද්ගලයන් ට එරෙහි නඩු පමණක් කඩිමුඩියේ විසඳීම නොව ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛන මතින් දැක්වෙන ලක්ෂ එකොළහ ඉක්ම වන නඩු කන්ද ක්‍රමාණුකූලව විසඳීම සඳහා සැලසුම් සකස් කිරීමය. නමුත් අමතක නොකළ යුතු දෙයක් තිබේ. යුක්තිය ඉටු වූවාට මදිය. යුක්තිය ඉටු වන බව පෙනෙන්නට ද තිබිය යුතුය.

 

| කේ .විජේසිංහ
 

මෙම ලිපියේ අවසන් කොටස බලාපොරොත්තු වන්න..!
 

 

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්