(සියලු විපක්ෂ දේශපාලන නායකයින් සහ සමාජ ක්‍රියාකාරීන් වෙත විවෘත ආයාචනයක්)
 
කොළඹ විශ්ව විද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු විසින් “කොළඹ ජාතික රෝහලෙහි වත්මන් තත්ත්වය පිළිබඳව ඔබව දැනුවත්කර තැබීම පිණිස” යැයි ඔහුගේ හිතවතුන්ට ජූලි 29 වන දින සවස ඉංග්‍රීසියෙන් යවනු ලැබූ සටහනක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බෙදා හදා ගනු ලැබ, ඊයේ අගෝස්තු 01 වන ඉරිදා දින මටද ලැබිණ. 
 
එහි පළමු කෙටි වාක්‍ය කිහිපය බරපතල අනතුරු ඇඟවීමක් විය. 
 
“සියලු පෞද්ගලික රෝහල් පිරී අවසන්. ඔවුහු හෝටල් කුලියට ගනිති. ඔබ නිරාවරණය නොවිය යුතුයි. තත්ත්වය අතිශය බරපතල්.” යැයි ඔහු එහි ආරම්භයේම කියා තිබිණ. ඉංග්‍රීසියෙන් ඔහු යොදා තිබූ වචනය වූයේ “Critical” යන්න ය.
 
Wearing Face Masks the right way Professor Shyam Fernando 
මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු
 
 
මහාචාර්ය ප්‍රනාන්දුගේ කෙටි දැනුම් දීමට අනුව ජූලි 28 වන දින කොළඹ මහ රෝහලෙහි කොරෝනා ආසාධිත රෝගීන් 380 ක් වූ අතර ඉන් තුනෙන් පංගුවක් ඔක්සිජින් අත්‍යාවශ්‍ය රෝගීහු වූහ. එහෙත් ඒ සඳහා අවශ්‍ය ඇඳන් නොවුනි. සාමාන්‍ය රෝගී වාට්ටුවල දස දෙනෙකු පමණ දිනපතා කොරෝනා ආසාධිතයින් ලෙස හඳුනා ගනු ලැබේ. ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලද පිරී අවසන්ය. 
 
 
එනිසා ඔවුන් අනෙක් රෝගීන් සමග එකට තැබෙන අතර, ඔවුන් හැම වැසිකිළි, කෑම කාමර හවුලේ භාවිත කරති. එය සාමාන්‍ය රෝගීන් අවදානමකට ලක් කෙරෙන්නකි. 
 
මහාචාර්ය ප්‍රනාන්දුගේ සටහනට අනුව, ඔවුන්ගේ වාට්ටු වන 41 ක සහ 48-බී වාට්ටුද කොරෝනා වාට්ටු බවට පත්කර ඇත. “එන්නත් දෙකම ලබා සිටි අපගේ කණිෂ්ඨයින් දෙපළක්ද ආසාධිත වූහ.” කණස්සල්ලෙන් යුතුව ඔහු ලියා තිබිණ.
 
දැන් තත්ත්වය ඔබට සිතා ගත හැක. එයට මේ තොතුරුද එකතු කර ගන්නා මෙන් ඉල්ලමි. 
 
පසුගිය ජූලි 20 වන දින “ඩේලි මිර” පුවත් පතේ අන්තර්ජාල පිටපතෙහි වූ වාර්තාවකට අනුව, පොලීසියේ 300 ට වැඩි පිරිසක් එන්නත් දෙකම ලබා සති කිහිපයකට පසු කොරෝනා ආසාධිතව ඇත. එදින ලංකාදීප අන්තර්ජාල පිටපතෙහි වූ වාර්තාවකට අනුව බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් 02 කු සහ හෙදියන් 05 කු එළෙසින්ම ආසාධිතව ඇත.
 
පසුගිය දිනවල දිනකට වාර්තා වූ ආසාධිත සංඛ්‍යාව 2,000 ට වැඩි බව ඔබද දන්නා කාරණාවකි. 
 
ඊයේ අගෝස්තු 01 වන දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් රාත්‍රි 08.30 ට නිකුත් කළ නිවේදනයට අනුව ඒ වන විට අලුතින් සනාථ වූ ආසාධිතයින් සංඛ්‍යාව 2,490 කි. ඊයේ දිනම සවස 05.25 ට නිකුත් කළ ඔහුගේ නිවේදනයට අනුව පෙර දින ආසාධිත මරණ සංඛ්‍යාව 67 කි.
 
මේ වනවිට තත්ත්වය වඩ වඩා බරපතල් වන බව පෙන්වීමට එවැනි සංඛ්‍යා තව බොහෝ ඉදිරිපත් කළ හැක.
 
එනමුත් මේ වනවිට සමාජය පුරා කොරෝනා වසංගතය ව්‍යාප්ත වන බව සෞඛ්‍ය බලධාරීන් හා සෞඛ්‍ය විශේෂඥයින් තවමත් පිළිගන්නේ නැත. 
 
 
ඔවුන් කියන්නාවූ මිනුවන්ගොඩ, මාළු කඩේ, අලුත් අවුරුදු පොකුරු, වැනි විකාර පොකුරු කතා ඊළඟට ආණ්ඩුවාදී මාධ්‍ය විසින් “ගුරු පොකුරු” නිර්මාණය කිරීමේ නිවට ප්‍රබන්ධ දක්වා දිගු ඇද ඇත. 
 
ඒ අතර, බලධාරීන්ගේ මේ කොරෝනා “පොකුරු” පාලනය කරන්නට පොලීසිය පියවර ගන්නේ සාමාන්‍ය මිනිසුන් සෞඛ්‍යාරක්ෂක පියවර උල්ලංඝණය කරන්නේ යැයි අත් අඩංගුවට ගැනීමෙනි. 
 
පසුගිය ජූලි 26 වන දින පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කළ ප්‍රකාශයකට අනුව ඉකුත් ඔක්තෝම්බරයේ සිට කෝවිඩ්-19 පාලනය සඳහා ආණ්ඩුව පනවා ඇති නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම් හේතුවෙන් 52,154 ක් ඒ වනවිට අත් අඩංගුවට ගෙන ඇත.
 
check 6094e8c4f201d 600 
නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම් හේතුවෙන් අත් අඩංගුවට ගැනීම් සිදුවන්නේ සාමාන්‍ය මිනිසුන් සම්බන්ධයෙන් පමණක් බව විවෘත පිළිගැනුමකි.
 
 
එහෙත් එවැනි අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ සාමාන්‍ය මිනිසුන් සම්බන්ධයෙන් පමණක් බව විවෘත පිළිගැනුමකි. කුරුණෑගල පොලිසියේ නිලධාරීන් නගරාධිපති සඳහා පොලිස් ස්ථානයේ සතියක් පිරිත් කියා පැවැත් වූ උපන් දින සාදයට සහභාගි වූවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ඉකුත් මැයි 31 වන දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යයට කියූ නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔබද දන්නා කාරණාවකි. 
 
සිංහල අලුත් අවුරුදු සමයේ නුවරඑළිය නගර සභාව විසින් අනුග්‍රහය දැක්වූ සැණකෙළි පැවති බවත් මෙරට ඉහළ පැලැන්තියේ ප්‍රභූ මට්ටමේ පිරිස් අධි මිලැති විලාසිතා ප්‍රදර්ශනය කරමින් නුවරඑළියේ තුරඟ තරග නැරඹූ බවත් ඒවාට නිරෝධායන නීති අදාල නොවුනු බවත් සමාජයේ විවෘතව කතා බහ කෙරුණකි.
 
 නීතිය අඳ-ගොලු-බිහිරිව සිටි එවැනි තවත් අවස්ථා ඔබද දන්නවා ඇත.           
 
සැමට සමානව නීතිය ක්‍රියාත්මක නොවන රටේ නිරෝධායන රෙගුලාසි රැකෙන්නේ නාම මාත්‍රිකව යැයි ඔබ නොදන්නවා විය නොහැක. 
 
 
පදිකයේ හමුවන සාමාන්‍ය වැසියෙකුගෙන් මුව ආවරණ පළඳින්නේ මන්දැයි ඇසූ විට ලැබෙන පොදු උත්තරය වන්නේ ”පොලීසිය අල්ලන නිසා” යන්න ය. ත්‍රීරෝද රියැදුරෙකු තිදෙනෙකු නංගවා ගැනීමට නොහැකි යැයි කියන්නේ පොලීසිය අල්ලන නිසාය. “නැත්තං මට ප්‍රශ්නයක් නැහැ” යැයිද ඔහු කියන්නේය.
 
 
මේ තත්ත්වය සඳහා සාමාන්‍ය වැසියනට දොස් පැවරීම දැන් නාගරික මැදපංතිකයින් හා ආණ්ඩු පක්ෂ හා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින් පහසු පිළිතුරක් කරගෙන ඇත.
 
එනමුත් කොරෝනා වසංගත පාලනය අවුරුද්දකුත් මාස 06 ට ආසන්න කාලයක් වැදගත් දැනුවත්වීමකින් තොරව සමාජය මත පටවා තිබෙන්නක් යැයි ඔබද ඇතුළු කිසිවකු මතු නොකරන්නකි.
 
ප්‍රජාමූල රෝග පාලන සැළැස්මක් :
 
 
අතීතයේ මෙවැනි වසංගත ගණනාවක් අපි නිට්ටාවටම තුරන්කර ඇත්තෙමු. ඒ ප්‍රජා සෞඛ්‍ය සේවා විසින් ප්‍රාදේශීයව බිම් මට්ටමින් ජනතාව හවුල් කර ගැනීමෙනි. ඒවායේ මූලික හා ප්‍රධාන අරමුණ වූයේ රෝග වැළඳීම වළකා ගැනීම මිස, දෛනිකව වැඩිවන ආසාධිතයින් රෝහල්ගතකර ප්‍රතිකාර කිරීම නොවන බැව් මීට මාස ගණනාවකට පෙර මම සවිස්තරාත්මකව මාධ්‍යයට ලීවෙමි. 
 
කෝරෝනා වසංගතය පාලනයට අවශ්‍ය වන්නේ ප්‍රාදේශීය කාර්යාල 370 ක් පමණ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග ප්‍රජා සෞඛ්‍ය සේවා පුහුණුවක් ලබා ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා මහජන සෞඛ්‍ය සේවා නිලධාරීනියන් යැයි මම අවධාරණය කළෙමි. ග්‍රාම නිලධාරින්ගේ සහායද ඇතිව වගකීම් හා පහසුකම් සමගින් ඔවුන් යොදා ගැනීම යැයි තොරතුරු සමගින් පැහැදිලිකර ඇත.
 
එවැනි කිසිදු සැළැස්මක් නොවූයෙන් කොරෝනා දෙවන රැල්ල 2020 ඔක්තෝම්බර 04 වන දින මිනුවන්ගොඩින් පුපුරා යන විට 3,394 ක් වූ මුළු ආසාධිත සංඛ්‍යාව සහ 14 ක් වූ කොරෝනා මරණ සංඛ්‍යාව, මාස 08 ට පසු තුන්වන රැල්ල සමග දැන් 3,11,000 ට වැඩි ආසාධිත සංඛ්‍යාවක් සහ 4,500 ට වැඩි කොරෝනා මරණ සංඛ්‍යාවක් බවට පත්ව ඇත. 
 
එය පැහැදිලිවම විධාන හා බලය සමගින් වසංගත පාලනය කළ නොහැකි බැව් ඔප්පු කරන්නකි.
 
maxresdefault 4 
 විශේෂඥ වෛද්‍ය රවී රන්නන්-එළිය
 
  
මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ හා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රවී රන්නන්-එළිය අවධාරණයෙන් කියන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ එකම විධික්‍රමය වන්නේ “පරීක්ෂණ කිරීම, ආශ්‍රීතයින් තීන්දු කිරීම හා හුදකලා කිරීම” (Testing, Tracing & Isolation) යැයි කියා ය. 
 
 
ඔහු ඉකුත් පෙබරවාරියේ කියුවේ අප දිනකට පී.සී.ආර් පරීක්ෂණ අවම 40,000 ක් කළ යුතු බවය. ඔස්ත්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සහ චීනයේ ගුඅංඩොං ප්‍රාන්තයෙහි කොරෝනා වයිරසයේ “ඩෙල්ටා ප්‍රභේදය” මර්දනය කිරීම ගැන පසුගිය මාස කිහිපයේ අත්දැකීම් සටහන් කරමින් ඔහු එය සනාථ කරන්නේය.
 
මේ දෙපොළෙහිම එන්නත් කිරීම් ප්‍රධාන නොවූ බවත් ඔහු කියන්නේය. ඒවායේ ප්‍රදේශ වසා තැබීම සීමා සහිත බවත් ජනතාවට නිවාස වලින් පිට වීම, සාප්පු යාම, කර්මාන්ත ශාලා පවත්වා ගෙන යාම සඳහා සීමා නැති අතර, මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවත් වෛද්‍ය රන්නන්-එළිය සඳහන් කරන්නේය. 
 
“එසේ නම් ඔවුන් කොරෝනා පාලනය කරන්නේ කෙසේද?” යැයි ඔහුම ප්‍රශ්නය ඉදිරිපත් කර කියන්නේ, උත්තරය ඉතා සරළ බවය. “ඔවුන් යෝධ පරිමාණයෙන් පරීක්ෂණ කිරීමත් ආශ්‍රිතයින් හඳුනා ගැනීම හා හුදකලා කිරීමත් කරනවා” ඔහු කියන්නේය.
 
වෛද්‍ය රන්නන්-එළිය කියන අයුරු චීනයේ ගුඅංඩොං ප්‍රාන්තයෙහි සති දෙක තුනක් ඇතුළත පී.සී.ආර් පරීක්ෂණ මිලියන 50 ට වඩා සිදුකර ඇත. දිනකට පී.සී.ආර් පරීක්ෂණ දස දහසක් කරමින් සිටි ඔවුන් 60,000 ඉක්මවා පරීක්ෂණ කිරීමට පටන් ගෙන ඇතැයිද ඔහු කියන්නේය.
 
කොරෝනා පාලනයට එවැනි දීප ව්‍යාප්ත සීඝ්‍රගාමී සැළසුමක් වහා සාර්ථකව ක්‍රියාවට නැගිය හැකි අප සතු එකම යාන්ත්‍රණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා මහජන සෞඛ්‍ය සේවා නිලධාරීනියන් ඇතුළත් ප්‍රජා සෞඛ්‍ය සේවාවන් පමණකි. 
 
ප්‍රජා මට්ටමින් රට පුරා එකවර, සති කිහිපයකින් “පරීක්ෂණ කිරීම, ආශ්‍රීතයින් තීන්දු කිරීම හා හුදකලා කිරීම” කළ හැක්කේත් එය නියාමනය කළ හැක්කේත් දෛනිකව ජනතාව සමග ගැටෙන එවැනි ප්‍රජා සෞඛ්‍ය සේවාවන්ට පමණි. එවැනි කාර්යන් සඳහා ජනතා විශ්වාසය හා සහාය දිනා ගත හැක්කේත් ඔවුන්ටය.
 
අපගේ අතීත අත්දැකීම්ද එකතුකර මෙහි කොරෝනා පාලනය කරන්නට අවුරුද්දකුත් අඩක් ගතව තවමත් සැළසුම් නොකිරීමේ වරදට විපක්ෂයේ ඔබද වගකිව යුතු යැයි මම කියමි. කොරෝනා පාලනයට වහා සැළසුම් සහගත ප්‍රායෝගික පියවර නොගත හොත් වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවන සතර වන රැල්ලටද මුහුණ දෙන්නට අපට සිදුවිය හැක. 
 
මේ වනවිටත් දිනකට ළමුන් 05 කුට වඩා ආසාධනය වන බවත් රිජ්වේ ආර්යා රෝහලේ සතියකට පෙර සංඛ්‍යා ලේඛන අනුව ඒ වනවිට ළමුන් 10 කු කොරෝනා හේතුවෙන් මිය ගොස් තිබුණු බවත් ඔබ අප දන්නා කාරණාවකි. ඒ තත්ත්වයද වඩාත් බරපතල වන්නකි.
 
 
එනිසා මෙය ඔබ වෙත මේ මොහොතේ යොමු කරන්නේ ඉතා හදිසි අවශ්‍යතාවක් ලෙස කොරෝනා වසංගත පාලනය සඳහා වහා ප්‍රජා මූල සෞඛ්‍ය සේවා සැළසුමක් ක්‍රියාවට නගන්නට ආණ්ඩුවට බලකර සිටින මෙන් ඉල්ලීමට ය. 
 
එවැනි ඉල්ලීමක් කිරීමට වර්තමාන අවදානම් තත්ත්වය හමුවේ විපක්ෂයේ සැමට හා සමාජ ක්‍රියාකාරීන්ට අයිතියක් ඇතැයි මම කියමි.
 
එසේ බලපැමක් නොකරන සියල්ලන් කොරෝනා වසංගතය සමගින් ඉදිරියේ මේ රටට මුහුණ දෙන්නට සිදුවන ආසාධන හා මරණ වලට පමණක් නොව, බරපතල සමාජ ආර්ථික පැවැත්මෙහි බිඳ වැටීමටද වගකිව යුතු වන්නේ යැයි අවධාරණයෙන් යුතුව කියමි.
 
 
kusal 1(කුසල් පෙරේරා)
දේශපාලන විචාරක හා මාධ්‍යවේදී
 
 
 
 
 
 
 
 
කියවන්න :
 
 
 
THE LEADER TV 
 
දිල්රුක්ෂි ඩයස්ගේ තවත් 'හඬපටක්' එලියට !
 
 
ජනාධිපති ලේකම් රටම අවධානමේ දායි !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්