ශ්‍රී ලංකාව තවදුරටත් විසඳුම් සොයන රටක් වෙනුවට, පත්වෙමින් සිටින්නේ තව තවත් ප්‍රශ්න උග්‍ර කරගන්නා රටක් බවටය. රටේ දේශපාලන නායකයෝ, රට වැටී ඇති අගාධයෙන් ගොඩගන්නා සහ රට ගොඩනැගීමේ මෙහෙයුමක නිරත නොවී තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳාගන්නා මාවත් සොයමින් සිටිති.

මේ නිසා මෙවර ජනාධිපතිවරණයද යොදාගනු ඇතැයි සිතිය හැක්කේ ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළක් දිනවන දේශපාලන ක්‍රියාකාරිත්වයකට වඩා චරිත දිනවන දේශපාලන ක්‍රියාකාරිත්වයක් උදෙසාය.

දිනන අපේක්ෂකයන් සෙවීම

සියලු පක්ෂ, දිනන අපේක්ෂකයෙක් සොයමින් සිටිනවා පමණක් නොව වැඩපිළිවෙළට, දී ඇත්තේද කුඩම්මාගේ සැලකිල්ලකි. වැඩපිළිවෙළක් සමග නායකයෙකු ගෙන එනවා වෙනුවට පළමුව අපේක්ෂකයා ඉදිරිපත් කර දෙවනුව ‘ආකර්ෂණීය’ වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේය. 

එවැනි වැඩපිළිවෙළකට කිසිදු වලංගුභාවයක් නොමැතිවා පමණක් නොව ඒවා ඉටු නොකළද පුරවැසියන්ට කෙසේවෙතත් එම අපේක්ෂකයාට ඡන්දය දුන් ජනතාවටවත් කළ හැක්කක් නොමැත. මක්නිසාද එලෙස ඉදිරිපත් කරන වැඩපිළිවෙළ පිළිබඳ එම අපේක්ෂකයා, ඡන්දය දුන් ජනතාව සමග නීතිමය බැඳියාවක් නොමැත්තේය. එම නිසා ඒවා ඉටු නොකළද ජනතාවට කළ හැකි දෙයක් ඇත්තේ නැත.MR text1 2019.09.05

ශ්‍රී ලංකාවේ ගොඩනැගී ඇති දේශපාලන සංස්කෘතිය සැලකීමේදී, පළමුව වැඩපිළිවෙළ ඉදිරිපත් කර දෙවනුව අපේක්ෂකයා ඉදිරිපත් කළද එහි වෙනසක් ඇතැයි සිතිය නොහැක. එහෙත් එය වැදගත් වන්නේ පළමුව වැඩපිළිවෙළක් වෙනුවෙන් ජනතාව ඒකරාශී වීමය. ඔවුන් අපේක්ෂකයා හඳුනාගන්නේ ඊළඟටය. එසේ වුවද එම අපේක්ෂකයාටද ඒවා ඉටු නොකර සිටීම නීති විරෝධී කටයුත්තක් නොවන්නා සේම ලජ්ජාවට කාරණයක්ද නොවන්නේය.

පක්ෂ, ගෞරවයට හානිකර ගැනීම

සංවිධානගත දේශපාලන පක්ෂ/ව්‍යාපාරවලට පැහැදිලි ප්‍රතිපත්ති තිබිය යුතුවාක් මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම උදෙසා වැඩපිළිවෙළක්ද තිබිය යුත්තේය. ඔවුන් සැමවිට ම ජනතා වරම ඉල්ලා සිටින්නේ එම ප්‍රතිපත්ති මත අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටය. 

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ එවැනි ස්ථිර ප්‍රතිපත්ති මත ක්‍රියාකරන්නේ යැයි සිතිය නොහැක. අතීතයේදී එවැනි හොඳ ලක්ෂණ දක්නට ලැබුණද දැන් ප්‍රධාන දේශපාලන පක්ෂවල ඇත්තේ අශෝභන ගතිලක්ෂණය. පොරොන්දු වූ ප්‍රතිපත්ති මත පොරොන්දු වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකළද එය ලැජ්ජාවට කාරණයක් ලෙස සලකන්නේ නැත. 

එය සිය පක්ෂයේ, නායකත්වයේ ගෞරවයට හානියක් ලෙස නොසලකනවා පමණක් නොව, බලය ලබාගැනීම උදෙසා සහ බලය පවත්වාගෙන යාම උදෙසා මෙන්ම විරුද්ධවාදීන්ට ඉඩ නොදීම උදෙසා ඕනෑම දෙයක් වෙනස් කිරීමටද සූදානමින් සිටින්නේය. 

එවැනි ක්‍රියාකාරීත්වයක් තමන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට හේතුවක් ලෙස ඔවුන් සලකන්නේද නැත. එම අශෝභන දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමේ පිළිවෙතකට නොයා එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස භාරගන්නා නිවට සහ උදාසීන පුරවැසි භූමිකාවක් දක්වා, ශ්‍රී ලංකාවේ ඡන්දදායකයා සිය ගෞරවය කෙළෙසාගෙන සිටින්නේ යැයිද කිව හැකිය.

රනිල්

text 2 MR 2019එජාපය ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළ තබා අපේක්ෂකයා පිළිබඳවද මුහුණ දී ඇත්තේ අර්බුදකාරී තත්ත්වයකටය. වික්‍රමසිංහ එජාප නායකයා ප්‍රකාශ කර ඇත්තේ පළමුව සන්ධානයක් ගොඩනගා වැඩපිළිවෙළ ඉදිරිපත් කළ යුතු බවය. සත්‍ය වශයෙන් ම ඔහු එවැන්නක් ප්‍රකාශ කරන්නේ එවැන්නක් අවශ්‍ය යැයි සිතන නිසා නොව අපේක්ෂකයා පිළිබඳ මුහුණ දී ඇති අර්බුදය නිසා යැයි සිතිය හැක. 

සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපෙක්ෂකයා ලෙස නම් කරන ලෙස, කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ එජාප මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් ඉල්ලා සිටින තත්ත්වයක තුළ වික්‍රමසිංහ මහතා මුහුණ දී ඇත්තේ බරපතළ ප්‍රශ්නයකටය. 

එයින් ගැලවී සජිත් වේදිකාවෙන් බිමට බස්සවා, තමන් කැමති අපේක්ෂකයා ඉදිරිපත් කිරීම උදෙසා ඔහු එක් අතකින් කල්මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේය. 

අනෙක් පැත්තෙන් පළමුව ඉදිරිපත් කළ යුත්තේ අපේක්ෂකයා නොව වැඩපිළිවෙළ බවද කියමින් සිටින්නේය. එහෙත් එය අවංක ප්‍රකාශයක් ලෙස සැලකිය නොහැකිය. 

ඔහුට ගෝඨාභය පරාජය කරනවාටත් වැඩියෙන් අවශ්‍ය වී ඇතැයි සිතිය හැක්කේ සජිත් පරාජය කිරීමටය. එවැනි දේශපාලන තීරණයක් සහ ක්‍රියාකාරිත්වයක් ඔහුගේ පෞද්ගලික යහපත පිණිස හේතුවිය හැකි වුවත් පොදු යහපත පිණිස හේතුවේ යැයි සිතිය නොහැක. 

මේ නිසා ඔහුගේ දේශපාලන මෙහෙයුම පෞද්ගලික ප්‍රශ්න බේරාගැනීමේ මෙහෙයුමක් මිස රට ගොඩනැගීමේ මෙහෙයුමක් ලෙස සැලකිය හැකිද ?

යහපාලනය

2015 දී යහපාලන ආණ්ඩුව ගොඩනගන විට ප්‍රධාන සටන් පාඨය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමය. එහි ප්‍රධාන වගකීම සිරිසේන ජනාධිපතිවරයාට පැවරීමට බොහෝදෙනා උත්සාහ ගත්තද සත්‍ය වශයෙන් ම එහි ප්‍රධාන වගකීම භාරගත යුත්තේ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය. 

රාජපක්ෂ පාලනය බිඳ දැමීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ එජාපය ප්‍රමුඛ එජාපෙ මිස සිරිසේන ජනාධිපතිවරයා නොවේ. සිරිසේන මහතා සැලකිය හැක්කේ ගඟෙන් එගොඩ වීමට භාවිත කළ ඔරුවක් ලෙසය. මේ නිසා විධායක බලතල සිරිසේන මහතාගෙන් උදුරා ගැනීමට කාලය, දැනුම යොදවනු වෙනුවට වික්‍රමසිංහ මහතා කළ යුතුව තිබුණේ පසුගිය ආණ්ඩු සමයේ වැරදි කළවුන්ට දඬුවම් දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ස්ථාපිත කිරීමය.                                                                                                                                                                                         text 03 MR 2019.09.05

19 වන ව්‍යවස්ථා සංශෝධනය වැනි අංගවිකල දරුවන් බිහි කරනු වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමය. මහ බැංකු බැඳුම්කර වංචාවේදී චූදිතයන් ආරක්ෂා කර ආණ්ඩුවේ සහ තම ප්‍රතිරූපය විනාශ කරගන්නවා වෙනුවට වහා වැරදිකරුවන්ට දඬුවම් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. පළාත් පාලන, පළාත් සභා ඡන්ද කල් දමනවා වෙනුවට නියමිත කාලයට ඡන්ද පැවැත්වීමේ වටපිටාව සකස් කිරීමය.

එහෙත් එවැන්නක් සිදුනොවුණා පමණක් නොව, රටේ ආර්ථිකයද හොඳ මට්ටමකට ගෙන ඒමට සමත් නොවීය. අවසානයේ ජාතික ආරක්ෂාවද නොසලකා හැරි ආණ්ඩුවක් බවට පත් වූයේය.

ප්‍රජාතන්ත්‍රවාදය

වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප නායකයන් ඡන්ද නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමක් ලෙස සැලකුවේ නැත. පළාත් පාලන ඡන්ද වසරකට වැඩි කාලයක් කල් දැමීමෙන් නොනැවතී පළාත් සභා ඡන්ද පැවැත්වීමද නොසලකා හැරියේය. 

එහි හාස්‍යජනක කාරණය වන්නේ, විධායක ජනාධිපති ක්‍රමය දුබල කර, ශක්තිමත් කරනවා යැයි කියූ පාර්ලිමේන්තුවෙන් ම ඡන්ද කල් දැමීමේ මාවත විවර කර ගැනීමය. සීමා නිර්ණ වාර්තාව මුළු පාර්ලිමේන්තුව ම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ ඊළඟට තිබූ නීත්‍යානුකූල විකල්පය වූයේ අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතු සමාලෝචන කමිටුවේ වාර්තාව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරයා වෙත භාර දීමය. 

එහෙත් එය ඕනෑකමින් ම මගහැරියා පමණක් නොව එය රටේ නීතිමය අර්බුදයක් බවටද පත් කළේය.

මෙය යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව හරහා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කළ බරපතළ අවස්ථාවක් ලෙස සැලකිය හැකි වුවද, කතානායක ජයසූරියද ඒ වෙනුවෙන් කිසිවක් කළේ නැත. සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පිටින් පසුගිය ඔක්තෝබර් 26 සිදු කළ බල පෙරළිය අවස්ථාවේ ජයසූරිය මහතා හැසිරුණු ආකාරයෙන් ක්‍රියාමාර්ග ගත්තේ නම් පළාත් සභා ඡන්දය පාර්ලිමේන්තුවේ සිරකිරීම නවතා ගැනීමට ඉඩ තිබිණි.


text 04 MR 2019.09.05මහින්ද සහ එජාපෙ

මෙයින් පෙනෙන්නේද ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ ප්‍රතිපත්තිමය දේශපාලනයට වඩා ‘යහපාලනය’ද තම පැවැත්ම වෙනුවෙන් අශෝභන ලෙස කටයුතු කළ බවය. එවැනි තත්ත්වයක් තුළ එජාපය ප්‍රමුඛ එජාපෙ උත්සාහ දරමින් සිටින්නේ යැයි පෙනෙන්නේ, තම වැරදි පිළිගනිමින් ඒවා නිවැරදි කර ගැනීමේ ප්‍රතිපත්තියක් වෙනුවට ජවිපෙට දෙන ඡන්දයේ දෙවැනි මනාපය හෝ යදිමින් පොජපෙ අපේක්ෂකයා වන ගෝඨාභය පරාජය කිරීමට මාවතක් විවර කර ගැනීමටය.

අනෙක් පැත්තෙන් යහපාලනයේ දුර්වලතා හේතුවෙන්, තම පාලන සමයේ වූ වැරදි කතා නොකර ජනාධිපතිවරණය ජය ගැනීමේ මාවතක් විවර වී ඇතැයි මහින්ද රාජපක්ෂ මහතාද සිතන බව අනුමාන කළ හැක. මෙම තත්ත්වය රටේ අනාගතයට යහපතක් නොවන්නා සේම ඊළඟට පිහිටුවන ආණ්ඩුවටද යහපතක් උදාකරන්නේ යැයි සැලකිය නොහැක. 

මේ නිසා වැදගත් වන්නේ රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳීමට කුමන ප්‍රතිපත්ති මත කුමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද යන්න ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම පැහැදිලි කළ යුතු වීමය.

අවංකවීම

අනෙක් පැත්තෙන් තමන් හෝ තම පක්ෂය මැතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් පසු ක්‍රියාත්මක නොකරන්නේ නම්, එය තනිකරම අවංකකම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. අවංක නොවීම නැතහොත් රැවටීම සහ වංචා කිරීම, දේශපාලන පක්ෂ නායකයන් පමණක් නොව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙසද සැලකිය හැකිය.


තවත් පැත්තකින් බැලුවහොත් එය විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් වන්නේය. සමාජයකට එවැනි තත්ත්වයක් උදා වී ඇත්නම් එය, ඒ සමාජය කෙතරම් පිරිහී ඇද්ද යන්න මැනගත හැකි මිනුමක්ද වන්නේය. මෙවැන්නක් වළක්වාගත හැක්කේ, පුද්ගල පිරිහීම මෙසේ සමාජ පිරිහීමක් දක්වා වර්ධනය වූ බව තේරුම් ගැනීමෙන් සහ ඊට හේතු වූ කාරණා ඉවත් කරගැනීමේ අධිෂ්ඨානශීලී ක්‍රියාකාරිත්වයකිනි. 

ඡන්දය ලබාගැනීම උදෙසා ඉදිරිපත් කළ මූලික ප්‍රතිපත්ති මත සිටිමින් රටේ පාලනය මෙහෙයවීමට ධෛර්යයක් පාලනයට පත්වූවන්ට තිබිය යුතුවාක් මෙන්ම ඒ උදෙසා අවංකකම නැමති දියුණු මිනිස් ගුණයද ඔවුන් සතුවිය යුතුය.


නීතිය                                                                                                                                    text 05 MR 2019.09.05
එසේ නොමැති නම් ඡන්ද සමයේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ, ජයග්‍රහණයෙන් පසු ක්‍රියාත්මක නොකරන්නේ නම්, එම අපේක්ෂකයාට හෝ දේශපාලන පක්ෂයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ඡන්දය දුන් ජනතාවට තිබිය යුතුය. 

එහෙත් ජනතාවට එවැනි නීතිමය රැකවරණයක් ශ්‍රී ලංකාවේ දැනට ඇත්තේ නැත. එවැනි නීතිමය රැකවරණයක් ඇත්තේ නම් පොරොන්දු වූ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන මහජන නියෝජිතයන්ට දඬුවම් ලබාදීමේ හෝ ඔවුන්ව ධුරයෙන් ඉවත් කිරීමේ බලයද, පත්කිරීමේ බලය සේ ම, ජනතාවට ලැබෙන්නේය. එවිට සත්‍ය වශයෙන් ම ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ යැයි කිව හැකිය.

එක්කෝ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක නියෝජනය කරන නායකයන් වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙන්ම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාද අලුතින් සිතන ප්‍රතිපත්තියකට මාරු විය යුතුය. එසේ නොවන්නේ නම් දූෂිත දේශපාලකයන් තබාගෙන සිටින්නේ යැයි දැනට ජනතා චෝදනාවට ලක්වී නොමැති ජනතා විමුක්ති පෙරමුණ මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුය. 

අනෙක් පැත්තෙන් ජනාධිපතිවරණයෙන් පසුව එන මහ මැතිවරණයේදී කුමන පක්ෂයකින් හෝ මෝඩයන් සහ දූෂිතයන් පාර්ලිමේන්තුවට නොයැවීමේ වගකීමද ජනතාව සතු වන්නේය. 

මේ සඳහා ජනතාවට කාරණා කියාදීමේ අවංක මහජන ව්‍යාපාර බිහිවීම වැදගත් වන්නා සේම ජනතාවද පක්ෂ හෝ දේශපාලකයන් ආගමක් සේ ඇදහීම නවතා රටේ අවශ්‍යතාවන්ට උචිත තීරණය ගැනීමට තරම් බුද්ධිමත් නම්‍යශීලීත්වයක් පෙන්නුම් කළ යුතු වන්නේය.


(රාවය - ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ)

කාටුන්

නවතම පුවත්