පෙරේදා (08) ජනාධිපතිතුමයි, ශ්‍රීලනිපයයි එකඟ වෙච්චි විදිහට ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවට දිනත් නියම කරලා ඉවරයි. මාර්තු 23 වෙනිදා තමයි දවස.
 

ශ්‍රීලනිපය නං පට්ට හැපී එකේ ඉන්නේ. අද පාර්ලිමේන්තුවේ සමහර ප්‍රශ්නවලට ශ්‍රීලනිප මන්ත්‍රීවරු උත්තරය විදිහට කිව්වේ සර්ව පාක්ෂික සමුළුව ගැන. එයාලට දැන් කෝකටත් තෛලය වෙලා තියෙන්නෙත් සර්ව පාක්ෂික කමිටුව. කොච්චර උනත් ශ්‍රීලනිපය නං වැඩේට ඇඟෙන්ම බැහැලා ඉන්නවා.

මෙච්චර ඉක්මනට තමන්ගේ යෝජනාවට රාජපක්ෂලා ප්‍රතිචාර දක්වයි කියලා ශ්‍රීලනිප කට්ටිය හීනෙන්වත් හිතන්න නෑ. ඇත්තටම ඔය සෙනෙහස මුල ඉදලම තිබුණා නම් කොච්චර හොඳද? අර ආණ්ඩු බලයෙන් 30% ක පංගුව ඉල්ලනකොට ඔය ආදරය තිබුණා නම් නේද?


හැබැයි දැන් තමයි ශ්‍රීලනිපය මොළේ පාවිච්චි කරන්න ඕනි වෙලාව. එයාලා හිතන්න ඕනි මෙච්චර කල් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ කුණු කූඩයට දාලා තිබුණ ශ්‍රීලනිපය ගැන එයාලට එක පාරට උපන් සත්ව කරුණාව මොකද්ද කියලා. එහෙම නැතිව තාවකාලිකව ලැබුණු චූන් එක විතරක් ගන්න එයාලට අයිතියක් නෑ.


රටේ රාළ කියන්නේ නෑ ශ්‍රීලනිපය ඉදිරිපත් කරපු යෝජනාවලිය රාජපක්ෂලා ගැන හිතලා ඉදිරිපත් කරපු එකක් කියලා. එහෙම චෝදනාවක් ජාතික සංවිධාන එකමුතුව පැත්තෙන් කරලා තිබුණා. ඇත්තටම එහෙම චෝදනාවක් කරන්න ජාතික සංවිධාන එකමුතුවට සදාචාරමය අයිතියක් තියනවද කියන ප්‍රශ්නය රටේ රාළට නං තියනවා.

ජනාධිපති ගෝඨාභය බලයට ගේන්න ඔය ජාතික සංවිධාන එකමුතුව ආවේ සුදු රෙදි ඇදගෙන, කහ වතුරෙන් නාලා කිසිම කිල්ලකට අහු නොවී. එදා ගෝඨාභය එයාලා කොච්චර විශ්වාස කළාද කියනවා නං එයත් එක්ක වැඩ කලේ කිසිම දෙයක් ගැන එකඟතාවයක් හදාගෙන නෙවෙයි. එයාලා හරියට ගෝඨාභය රාජපක්ෂ දැක්කේ මතු බුදු වෙන්න පෙරුම් පුරණ බෝධිසත්වයෙක් වගේ.

හැබැයි දැන් ඒ සුදු පිරුවට ගැලවිලා කට්ටිය අමු හෙළුමෙන් ඉන්නකොටත් තවමත් හදන්නේ ප්‍රශ්නය අනුන්ගේ පිටේ තියන්න. ජාතික සංවිධානය එකමුතුව දැන් දේශපාලනය තෝරන්නේ ටිකක් මොංගල් ටයිප් එකකින්.


එයාලා හැමදාම කළේ තමන් විසින් බලයට ගෙනාපු කණ්ඩායමට එක තැනකදී ගහන එක. එහෙම ගහන්න ඕනි හැබැයි ඊට ඉස්සෙල්ලා ඒක නිවැරදි කරන වැඩපිළිවෙළකුත් තියෙන්න ඕනි. ඒ මොකවත් එයාලට නෑ. ඇදලගත්ත. දමල ගැසහූවා. මලක් පිපිණා. මල පරවුනා වගේ තමයි එයාලගේ වැඩ.


මහින්දගේ ආණ්ඩුවට එයාලා ඒක කළා. ඒ වගේම දැන් ගෝඨාභයගේ ආණ්ඩුවටත් ඒක කරනවා. ඊළඟට බොහොම අමාරුවෙන් එයාලම අටවගත්ත සුළු පක්ෂ සන්ධානයටත් දැන් එහෙම කරනවා. එයාලගේ න්‍යාය පත්‍රය එකඟ නැතිනම් බුල්ඩෝස් කරන එක තමයි තියරිය.

රටේ රාළ නං කියන්නේ සර්ව පාක්ෂික සමුළුව ගැන ශ්‍රීලනිපය කරපු යෝජනාව කුමන්ත්‍රණකාරී එකක් නෙවෙයි. එහෙම යෝජනාවක් පහුගිය කාලේ විපක්ෂය පැත්තෙනුත් ආවා. පහුගිය දවසක සජබෙ කට්ටියත් ඕක හැමතැනම කිව්වා. හැබැයි දැන් මෙතන කරන්න හදන්නේ ඒ යෝජනාව රාජපක්ෂලාට ඕනි විදිහට පාවිච්චි කරගන්න හදන එක. එයාලගේ අවසන් තුරුම්පුව වන ජාතික ආණ්ඩුවට ගොඩවෙන පාර එතනින් කපා ගන්න. ඒකයි මෙතන නවත්ත ගන්න ඕනි.

ඒක නවත්තන්නේ කොහොමද? ඕක තමයි දැන් තියන ප්‍රශ්නය. ඒකට ඕනි කරන උපක්‍රම කියනවා වෙනුවට මේ වෙලාවේ මෛත්‍රීට ගහලා විමල් උස්සන්න හදලා වැඩක් නෑ.

මෛත්‍රීට ගහන්න ඕනි. ඒ මේ උපක්‍රමට කොටු උනොත්. ඊට ඉස්සෙල්ලා කරන්න ඕනි රාජපක්ෂලා තමන්ගේ උවමනාව වෙනුවෙන් ශ්‍රීලනිපය පාව්ච්චි කරන්න හදන හැටි පෙන්නලා දෙන ඒක.

දැන් සර්ව පාක්ෂික සමුළුවේ ඊළඟට Step එක තමයි ඒකට දේශපාලන පක්‍ෂවලට ආරාධනා කිරීම. ඒ ආරාධනා කිරීම හෙට අනිද්දා වෙන්කොට සිද්ධ වෙයි. දැන් මෙතනදී දේශපාලන පක්ෂවලට එන පළවෙනි ප්‍රශ්නය තමයි ආරාධනාව පිලිගන්නවද නැද්ද කියන එක. ඕනි නං පිලිනොගෙන වර්ජනය කරන්නත් පුළුවන්.


එතනදී ආයෙත් ප්‍රශ්නයක් එනවා. ඇත්තටම රට මේ වෙලාවේ වැටිලා තියෙන්නේ ඉතිහාසයේ මෙතෙක් නොතිබුණ බරපතලකම අර්බුදයකට. මේක ඉස්සරහා තමන්ගේ යෝජනා නොදී මගහරින එක හරිද කියන ප්‍රශ්නය ඊළඟට එනවා. දැන් මේකට ආවත් අමාරුවේ නාවත් අමාරුවේ. නාවොත් කියන්නේ රට ගැන හැගීමක් නෑ කියලා. ආවොත් රාජපක්ෂලාගේ උපක්‍රමයටම අහුවෙනවද නැද්ද කියන ප්‍රශ්නය එනවා.




රනිල් මේකට පැනගෙන එනවා...

රටේ රාළ කියන්නේ එනවා නං ඒ උපක්‍රමට අහු නොවී ඉන්න එක තමයි හොඳමදේ. ඒ කියන්නේ එන්න ඕනි දැනුවත්ව.

මේකට පැනගෙන රනිල් එනවා. රනිල් දැන් රටට කියමින් ඉන්නේ ඉස්සෙල්ලා රට බේරගමු. ඊට පස්සේ දේශපාලනය කරමු කියලා. ඒ අදහස කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ.

පහුගිය ශ්‍රීලනිප සමුළුවලදී මෛත්‍රීත් ඔය කතාව කිව්වා. හැබැයි මෛත්‍රීයි, රනිලුයි එකම අදහසින් එහෙම කිව්වා කියලා රටේ රාළ හිතන්නේ නෑ. මෛත්‍රී කියන්න ඇත්තේ රට ගැන හිතලා වෙන්න පුළුවන්. හැබැයි රනිල් නං කිව්වේ එජාපය ගැන හිතලා.

ඒක නිසා සර්ව පාක්ෂික සමුළුවේ පළවෙනි කඩයිම තමයි තමන්ගේ සහභාගීත්වය තීරණය කිරීම. දැන් ශ්‍රීලනිපයට කීයටවත් ඒක වර්ජනය කරන්න බෑ. ඊළඟ පියවර තමයි ඕකට එන පක්ෂවලට තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න කියන එක. ඊට පස්සේ ඒකටත් කාලයක් දෙයි. ඊළඟට යෝජනා සාකච්ඡා කරන්න කාලයක් ගනී. අවසානය විදිහට විපක්ෂයේ කණ්ඩායම් සර්ව පාක්ෂිකය සමුළුවෙන් නැගිටලා යයි.

ඕක තමයි සර්ව පාක්ෂික සමුළු නාට්ටිය. මෙච්චර කල් අපේ රටේ තිබුණ සර්ව පාක්ෂික සමුළුවලට උනේ ඕක. මේකත් එසේ නිමවීමට නියමිත එකක්. හැබැයි මේක නිම වෙන්නේ ජාතික ආණ්ඩුවක් ඕනි කියන තැනට පාර කපලා. ඒක වෙනුවෙන්ම තියන සර්ව පාක්ෂික සමුළුවක් මේක.


කොටින්ම කිව්වොත් ජාතික ආණ්ඩුවේ සර්ව පාක්ෂික කසකාරයා. ඒකට ඕනි කරන මතවාදය මේකට සමාන්තරව ගොඩනගයි. දැනටමත් මහින්ද, බැසිල්, රනිල් වැඩේ බෙදාගෙන යනවා. ඊට අමතරව එක තැනකදී අපේ වොයිෂ් කට් උන්නාන්සෙලා ටික සෙට් වෙයි. ඊළඟට ඒකටම හරියන විද්වතුන් ටිකක් හැදෙයි. අර මහාචාර්ය රංජිත් බණ්ඩාර හෙම ඒ වැඩේට මරු. අඩුවක් නැතිව ඒ වැඩේ සිද්ධ වෙයි.
 


මොකද තර්කයක් විදිහට වගේම ප්‍රායෝගිකවත් රටක් අර්බුදයට යද්දී ජාතික ආණ්ඩුවක් කියන ඒක යථාර්ථයක්. ඒ රට ගොඩ දැමීම වෙනුවෙන්.එ හෙම එකක් හැදෙනවා නම් කාටවත් මොකුත් කියන්න බෑ. කියන්න ඕනිත් නෑ.

මේ අවස්ථාව කියන්නේ ඒකට හොඳ වෙලාවක්. හැබැයි මෙතන වෙන්නේ එහෙම එකක් නෙවෙයි. මෙතන වෙන්නේ ගිලිහෙමින් යන රාජපක්ෂලාගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාතික ආණ්ඩුව සංකල්පය අවභාවිතා කිරීම. ඒක නිසා විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ඒ තත්වය පරාජය කිරීමට ලොකු වගකීමක් තියනවා, තමන්ගේ යෝජනාවක් හරහා එහෙම වෙන්න යනවා නම් ඒ තත්ත්වය මගහරවා ගැනීමේ වගකීම ශ්‍රීලනිපයට තියනවා.

ඇත්තටම ඒ වෙනුවෙන් මොකද්ද කරන්න ඕනි. එකක් තමයි පහුගිය කාලේ රටේ රාළ කට කැඩෙනකං විපක්ෂයට කිව්වේ. රටේ තත්වයට අදාළ පොදු යෝජනාවලියක් හදා ගන්න එක මේසෙකට එන්න කියලා. එහෙම තිබුණා නම් මේ අර්බුදය අස්සේ ජාතික එකඟතාවයකට ආණ්ඩුව තල්ලු කරන්න ලේසී, මේ වෙලාවේ රටට යම් හරි සහනයක් තියෙන්නේ ජාතික එකඟතාවයක් වෙනුවෙන් හදා ගන්න පොදු සම්මුතියක් ගොඩනගා ගන්න තැනට ආණ්ඩුව තල්ලු කරන්න පුළුවන් නම් තමයි.

ඒකට ඉතින් විපක්ෂයේ සමගිය ඕනි. ඒ වගේම රාජපක්ෂලාහේ බොරු පම්පෝරිවලින් වගේම හිතුවක්කාර වැඩවලින් මේ රට හදන්න බෑ. ලෝකේ මේ වගේ අවස්ථාවල රටවල් ගොඩගියේ ජාතික එකඟතාවයන් හා පොදු සම්මුතීන් හදා ගැනීමෙන්. ඒකට හොදම උදාහරණ තමයි ඉන්දියාව, ජපානය වගේ රටවල්.

එහෙම නැතිව බල උවමනාවන් වෙනුවෙන් ජාතික ආණ්ඩු සකල්පය අවභාවිතා කිරීමෙන් නෙවෙයි. අනික තමයි ආණ්ඩුව පැත්තෙන් කරන යෝජනාවලිය මොකද්ද? දැනට ඔළුගෙඩි මාරු කිරීම තමයි එයාලට තියෙන උත්තරය. ගම්මන්පිල වෙනුවට ලොකුගේ ගෙනත්, විමල් වෙනුවට එස්බී ගෙනත්. ආය පැත්තකට කරපු පවිත්‍රත් ගෙනත්.


මෙයාලා ජාතික ආණ්ඩුවක් හැදුවත් කරන්නේ ඕකම තමයි. මහින්ද සෙරමෝනියල් කරලා රනිල් අගමැති කරනවා කියන්නෙත් එහෙම වැඩක් තමයි. ඒක නිසා කඩා වැටෙන රාජපක්ෂ රෙජිමය ජාතික ආණ්ඩුවක් කියන ලේබලය යටතේ බේරනවා කියන්නේ කිසි කෙනෙකුට අනුමත කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.



ඒකෙන් ඉස්සෙල්ලා අවුල් වෙන්නේ පොහොට්ටුවේ බලවේගය. මේ මොහොත් රටට අවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ නොකර ඔය මොනවා කළත් වැඩක් නෑ.

අනික කවුරුත් ආණ්ඩුව කරන්න යන ඊනියා ජාතික ආණ්ඩුව ගැන ඔළුවේ තියාගෙන කටයුතු කිරීම වැදගත්. මොකද ආයෙත් මන්ත්‍රීලට කෝටි ගනන් වල ඔෆර් වගේ තනතුරු දොලපිදේනි දෙන කාලයක් ඉස්සරහට එනවා.

ආණ්ඩුව මේ ආර්ථික අර්බුදය පෙන්න පෙන්න එයාලාගේ ඉළක්කට යන්න ඕනි කරන පාර කපා ගන්නවා. මේ රටේ ජනතාව ආයෙත් ඒ ලණුව කනවා. පව්.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ෆ්ර්ස්බුක් පිටුවෙන්..)

 




Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්