එතෙක් මෙතෙක් මේ මිහිපිට සිදුවූ ඉතාම ගුප්ත, අභිරහස් සහ නොවිසඳුණු ගුවන්යානා අනතුර ලෙස මැලේසියානු MH 370 යානයේ අතුරුදහන් වීම සැලකෙනවා.
2014 මාර්තු 8 මැලේසියාවේ ක්වාලාලාම්පුර් වලින් චීනයේ බිජිං බලා ගමන් ඇරඹු එම යානාව එම ගමන් අවසානයට ලඟා වූවේ නැහැ. එසේ නියමිත පරිදි ගමන් අවසන් නොකළ එම යානය අදටත් ඇත්තේ කොතැනද යන්න සැකයක්. ප්‍රෙහේලිකාවක්.
මෙතරම් තාක්ෂනය මිනිසා විසින් උසස් තත්වයට නංවා තිබුණත් මේ සා සංකීර්ණ සහ විශාල තාක්ෂණ වස්තුවක් හිටිහැටියේ අඳුරේ අතුරුදහන් වීම එක්තරා අයුරකින් විද්‍යාව අභියෝගයට ලක්කළා.
මේ අභියෝගය ජයගනු පිණිස දෝ මේ වනවිට සිය ගණනක් අධ්‍යනයන් මේ සම්බන්දයෙන් සිදුව තිබෙනවා. නොයෙක් නොයෙක් ආකාරයේ විෂය ක්ෂේත්‍රවල දක්ෂයින් මේ ගුවන්යානයේ දෛවය පිලිබඳ ප්‍රෙහේලිකාව (enigma) ලෝකයට විසඳාදීමට හෝ තමන්ටම විසඳාගැනීමට නොයෙක් ආකාරයෙන් තමන්ගේ විශේෂතා ප්‍රාගුන්‍ය ප්‍රධානය කර තිබෙනවා. සමහරු මිළක් සහිතව. සමහරු මිළක් රහිතව. සමහර විට කායික ශ්‍රමය. සමහර විට බුද්ධිමය ශ්‍රමය.
එම අතුරුදහන් වීමෙන් පසුව ඩොලර් මිළියන ගණනක් වැයකරමින් ලෝකය ඉන්දියන් සාගරය දෙවනත් කළද තවමත් නිවැරදි තොරතුරක් මේ ගැන දැනගැනීමට හැකිව නැහැ.
මේ අඳුරු ගුප්ත අතුරුදහන් වීමේ සත්‍ය සොයාගැනීමේ අරමුණ සහිතව ඇතැම් පුද්ගලයින් නියුරෝසිකකරණයට පවා ලක්ව තිබෙනවා. ඒක එක අතකට නෛසර්ගික මිනිස් ස්වභාවයක්. අපි හැමෝම අඳුරෙන් එළියට ඒමේ, අසත්‍යයෙන් සත්‍යයටත්, නොදනුමෙන් දැනුමටත් ගමන් කිරීමේ උත්සාහයක ඉන්නවා. පොදුවේත්. පුද්ගලිකවත්.
ඉතාම කුඩා කාලයේ ඉඳන් දරුවෙක් ''අම්මේ අර මොකක්ද'' කියල හඳට ඇඟිල්ල දික්කරලා අහන මොහොතේ ඉඳල ඒකට ලැබෙන උත්තරය එක්ක මිනිස් මනස තමන්ගේ ප්‍රශ්නයකට උත්තරයක් ඉල්ලා සිටිනවා. ඒක සබුද්ධික තාර්කික එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් ''ඒ ඉන්නේ හඳේ හාවා පුතේ/දුවේ'' කියන ෆැන්ටසි උත්තරයක් වෙන්නත් පුළුවන්. නමුත් ඉස්කෝලේ යන්න පටන් අරගෙන මනස වර්ධනය වෙනකොට ඒකට වඩාත් සබුද්ධික තාර්කික උත්තරයක් හොයනවා. මෙහෙම තමයි මිනිසා පරිණාමය වෙන්නේ.
මේ සියල්ල මෙසේ පවතිද්දී බ්‍රිතාන්‍ය ගුවන්යානා ඉංජිනේරුවෙක් වෙච්ච රිචඩ් ගොඩ්ෆ්‍රි (Richard Godfrey) තවත් එක තීරණාත්මක පර්යේෂණයක් ආරම්භ කරනවා. ඔහුගේ පර්යේෂණය මෙතෙක් කරන ලද පර්යේෂණයන් සමඟ සමාන්තරව ගමන් කරන්නක් උනත් ඔහු නව න්‍යායක් මේ සඳහා යොදා ගන්නවා.
රිචර්ඩ් කියන්නේ මෙහෙම දෙයක්. මේ ලෝක ගෝලයේ හැමතැනකම අපි දන්නා රේඩියෝ තරංග තිබෙනවා. ගුවන් යානා සහ තවත් දේවල් එක්ක ඒ ගුවන් තරංග බාධාවට ලක් වෙනවා. ගුවන් යානා තදබදය වැඩියෙන් තියන තැනක ටිකක් මේක අමාරු වුණත් ඈත ඉන්දියන් සාගරය පැත්තට යනකොට මේක අමාරු දෙයක් නෙවෙයි. කිසිම ගුවන්යානයක් පැය ගණනකට නොයන ඉන්දියන් සාගරයේ ඈත කොනක එක ගුවන් යානයක් විතරක් යනකොට ඒ රේඩියෝ තරංග බාධක අපිට ගණනය කරන්න පුළුවන් කියල.
ඉතිං ගොඩ්ෆ්‍රි එදා දවසේ ඒ පැයේ බාධා වෙච්ච රේඩියෝ තරංග (interrupted radio waves) පසුපස යන්න තීරණය කරනවා.
ගොඩ්ෆ්‍රිගේ සොයාගැනීම මිට පෙර ඉන්මාසැට් සැටලයිට් සන්නිවේදන දත්ත මඟින් කරන ලද ගවේෂණය සහ අනෙකුත් සමාන්තර අධ්‍යනයන් සමඟ එකඟ වෙන නමුත් ගුවන්යානයේ දැන් ස්ථානගත ස්ථානය ගැන වඩාත් නිශ්චිත උපකල්පනයන් ඇතුලත් වනවා. ඔහුගේ අධ්‍යනයට අනුව MH 370 යානය ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට කිලෝමීටර් 1933 ඔබ්බෙන් ඉන්දියානු සාගර පත්ලේ මීටර් 4000 ගැඹුරෙන්.
ඉතාම දුෂ්කර සමුද්‍ර පතුලක් වන මෙම කලාපයට ගමන් කිරීම ඉතාම අසීරු බව පැවසෙනවා.
වෙනත් විදියකට කිවහොත් ගුවන් යානයේ නියමු කැප්ටන් සහරී අහමඩ් ෂා මෙම දේශපාලන අරමුණකින් යුක්ත මරාගෙන මැරෙන ගමන ගොස් ඇත්තේ ආපසු නොඑන වගේම කිසිවෙකුට ලෙහෙසියෙන් ළඟාවිය නොහැකි තැනකට.
සිද්දිය සිදුවී ආසන්න වශයෙන් වසර දහයක් පමණ ඉක්ම ගොස් ඇතත් තවමත් මිනිසා මේ ගුප්ත, අඳුරු, ප්‍රෙහේලිකාත්මක ගැටළුව විසඳාගැනීම අතහැර නැහැ. එහි තාර්කික අවසානය දක්වා ගමන් කිරීමට මිනිසුන් කිහිපදෙනෙක් තවමත් අධිෂ්ටාන කරගෙන ඉන්නවා. ඒ මියගිය අය වෙනුවෙන් මෙන්ම ජීවත්වන අයද වෙනුවෙන්. යුතුකමක් හැටියට. වගවීමක් හැටියට. විශ්වීය වටිනාකමක් සම්පුර්ණ කිරීමක් හැටියට.
සියලු අසීරු තත්වයන් හමුවේ පවා තම ආදරණීයන් සහ ඔවුන්ගේ මතකය අත්නොහැරි ගැහැණුන් සහ මිනිසුන් වෙනුවෙන්. ලසන්ත, ප්‍රගීත්, නිමලරාජන්, සිවරාම් සහ තව බොහෝ ගණනක් මිනිසුන් වෙනුවෙන්. පාස්කු ඛේදවාචකය වෙනුවෙන්. එහි සත්‍යය වෙනුවෙන්.....
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)