“ජනාධිපති තීන්දුව ක්‍රියාත්මක කරන්න බැරි නම් යන්න කියන්න. මම වෙන කෙනෙක් පත් කරන්නම්.”

ඊයේ පෙරේදා දිනක ජනාධිපති වික්‍රමසිංහ නියෝජ්‍ය තැපැල්පතිනියකට එළෙසින් දෝස් මුරයක් දාන විඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වල බෙදා හදා ගන්නවා දුටිමි.

එයට ප්‍රස්තුතය වී තිබූයේ නුවරඑළියේ තැපැල් කන්තෝරුව පිහිටුවා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් හෝටලයක් ආරම්භ කිරීම සඳහා පෞද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙනි.



ඒ විඩියෝව ඇසූ විට මට එය මෑත කාලයේ ඇසූ හොඳ විහිළුවක් විය. වසර 05 ට ජනතාවගේ ඡන්දයෙන් පත් කෙරෙන ධූරයක් පුරප්පාඩු වී ඒ සඳහා වසර දෙක හමාරක කාලයකට තාවකාලික පත්වීමක් පාර්ලිමේන්තුවෙන් ලබා ගත් පුද්ගලයෙකු රාජ්‍ය සේවාවේ ස්ථිර පත්වීමක් ඇති තැනැත්තියකට ඔහුගේ කීමට වැඩ නොකරන්නේ නම් තනතුරෙන් ඉවත්ව යන්න යැයි කීම විහිළුවක් නොවන්නේද?



ඒ විහිළුවට අමතරව එහි ස්වරය වූයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොදන්නා, ජනතාවට වග නොකියන හිතුවක්කාර අධිකාරී බලයක් අතට ගත්තකුගේ තර්ජනාත්මක ආවේගයකි. ඒ සමග මගේ ප්‍රශ්නය වන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයකි. ඇත්තටම ප්‍රශ්න දෙකකි.



පළමුවැන්න, ජනාධිපතිගේ තීන්දු සතු හරි වැරැද්ද, හොඳ නරක ප්‍රශ්න කිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය සේවකයින් බැඳී සිටින්නේද? රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ගේ එක් ප්‍රධාන වගකීමක් වන්නේ මැති ඇමතිවරුන්ට සහ ජනාධිපතිට නිවැරදි තීන්දු ගැනීම සඳහා සහාය වීමය. එනිසා කියන පමාවෙන් කටයුතු කිරීමට ඔවුන් බැඳී නැතැයි මම විශ්වාස කරමි. වහා කටයුතු කරන්නට බල කෙරුණහොත් ඒවායේ හරි වැරදි බැලීමේ ඉඩක් නොමැති වන්නටත් ජනතාවට වග නොකියන නියෝග ක්‍රියාවට දැමීමේ හවුල්කාරයින් වීමටත් රාජ්‍ය නිලධාරීන්ට බොහෝ සෙයින් ඉඩ ඇත. “සිල් රෙදි නඩු” පැවරෙන්නේ එවැනි විටය.



දෙවැන්න, නුවරඑළියේ පමණක් නොව, ජනාධිපති කියූ ආකාරයට මහනුවරද තැපැල් හල එය පිහිටුවා ඇති පෞරාණික ගොඩනැගිල්ලෙන් ඉවත් කළ යුතුය. එයද සංචාරකයින් සඳහා හෝටලයක් හැදීමටය. මේ තීන්දු වලට එරෙහිව මතුවන විරෝධය සමච්චලයට ලක් කරමින් ඇතැම් ජාවාරම්කාර මහත්වරුන් සංවර්ධනවේදීන් වන්නට කණ්ඩලම හෝටලයට සංචාරකයින් පැමිණ වැවේ බැස දිය කෙළියහොත් ගමේ මිනිසුන්ට ඒඩ්ස් රෝගය බෝවෙතැයි එදා මෙවැනිම ඔලමොට්ටල පිරිස් ඊට විරුද්ධ වූ බැව් කියනු ඇසින.

කණ්ඩලම පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති රජයේ ගොඩනැගිලි පෞද්ගලික සමාගමකට පැවරීම පිළිබඳ කතාවක් නොවුනි. එහි ඒඩ්ස් කතා අතන මෙතැන තියෙන්නටද ඇත. නමුත් කණ්ඩලම හෝටලයට එරෙහිව ඉදිරිපත් කෙරුණේ පාරිසරික ගැටළු පිළිබඳ කාරණවන්ය. කණ්ඩලම හෝටලයට පිවිසීමේ මාර්ගය අලිමංකඩක් හරස් කරන්නේය යන්න එක් චෝදනාවකි. දෙවැන්න වඳවී යන, අපට ආවේනික පක්ෂී වර්ගයක් හමුවන එකම ප්‍රදේශය එය වීම ය. තෙවැන්න, කසළ සහ අපවිත්‍ර ජලය ඉවත් කිරීම පිළිබඳ ප්‍රශ්නය විය. ඒවා සඳහා විසඳුම් ලබා දීමට අදාල සමාගම එකඟවී අලිමංකඩ මග හැර හෝටලයේ පිවිසුම වෙනස් කරන්නටත් අපවිත්‍ර ජලය හා කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කරන්නටත් පියවර ගත්තේය. කණ්ඩලම විරෝධය තුනී වූයේ එබැවිනි.  



එහිදී වඩාත් වැදගත් වන්නේ මීට අවුරුදු 30 ට පමණ ඉහතින් මධ්‍යම පරිසර අධිකාරයද ඔවුන්ගේ රාජකාරි කටයුතු යම් වගීමක් ඇතිව ඉටු කළ හෙයින්, කණ්ඩලම හෝටලයට අදාල ව්‍යාපෘතිය සඳහා අවසර දීමට පෙර සමාගම විසින් ඉදිරිපත් කළ සැළසුම ස්වාධීන පාරිසරික ඇගයුමකට ලක් කර ඒ සඳහා මහජන අදහස් විමසීමටද අවස්ථාව විවෘත කළේය. ඊට අවශ්‍ය සියලු තොරතුරු නොපමාව ප්‍රසිද්ධියට පත්කරනු ලැබිණ. එබැවින් ඒ සම්බන්ධ උනන්දුවක් දැක්වූ පාරිසරික සංවිධාන සහ ක්‍රියාකාරීන්ට අදාල අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට අතන මෙතන රස්තියාදුවීමක් නොවුනි.



මේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ගොඩනැගිලි හෝටල් සඳහා පෞද්ගලික සමාගම් වලට පැවරීමේ සැළසුමක් ගැන තවම කිසිදු පැහැදිලි නිල තොරතුරක් නැත. දැනට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරයේ (SLTDA) නිල වෙබ් අඩවියේ කෙළවර ඇති මීට වසර 03 ට කලින් සම්පූර්ණ විය යුතුව තිබූ “ශ්‍රී ලංකා සංචරණ උපායශීලි සැළැස්ම ඃ 2017 - 2020” සැළසුමෙහි එවැනි කිසිදු සඳහනක් නැත.

නමුත් මීට අවුරුද්දකට කලින් පසුගිය 2022 වසරේදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරය වෙනුවෙන් නගර සංවර්ධන අධිකාරය විසින් කරන ලද අධ්‍යනයක් මත “2022 - 2032 සමස්ථ නුවරඑළිය සංවර්ධන සැළසුම” යැයි දස අවුරුදු පරිපූර්ණ සැළස්මක් 2022 ජූලියේදී පළ කරනු ලැබිණ.

(https://www.uda.gov.lk/.../dev-plans.../Nuwara%20Eliya.pdf)  එහි සංචාරකයින් සඳහා ආකර්ශනීය ස්ථාන නම් කෙරුණු ලේඛනයේ තැපැල් කන්තෝරු ගොඩනැගිල්ලද (පිටුව 60) ඇති නමුත් එය හෝටලයක් කිරීමේ මොනයම්ම හෝ අදහසක් අහම්බෙන් හෝ සඳහන්ව නැත. එකී ගොඩනැගිල්ල 2007 පෙබරවාරි 23 වන දින ගැසට් පත්‍රයක් මගින් පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ලෙස නම්කර ඇති හෙයින් පෞද්ගලික සමාගම් වෙත පැවරිය හැකිදැයි සොයා බැලිය යුත්තකි.



මේ අතර, ඉකුත් අප්‍රේල් මාසයේ නුවරඑළිය සංචාරයක යෙදුනු ජනාධිපති වික්‍රමසිංහ, නුවරඑළිය ප්‍රධාන සංචාරක කේන්ද්‍රයක් ලෙස දියුණු කිරීමට කාර්යසාධන කමිටුවක් පත් කිරීමට ඇමති මණ්ඩලයට යෝජනා කර ඇත. ඒ අනුව මැයි මාසයේ සිට මධ්‍යම පළාත් ආණ්ඩුකාරයාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එය ක්‍රියාත්මක වීමට නියමිතය. කමිටුවේ වගකීම ලෙස එදා සඳහන් වූයේ මුළු අවුරුද්ද පුරා විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීමටත් ඔවුන්ට නිදහසේ විවේකීව කාලය ගත කිරීමටත් හැකි කලබලයකින් තොර නගරයක් ලෙස නුවරඑළිය සැළසුම් කිරීමය. මේ කාර්යසාධන කමිටුවට කුමක්වී දැයි සොයා ගැනීමට නොහැකි විය.  


එවැනි පසුබිමක මාධ්‍යවේදීන් රටේ ජනතාව වෙනුවෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත.

(1) මෙවැනි පැරණි ගොඩනැගිලි මෙතෙක් කළ සැළසුම් නොතකා පෞද්ගලික සමාගම් වලට පැවරීම ජනාධිපතිට තීන්දු කළ හැකිද?

(2) සංචාරක අමාත්‍යාංශයට සහ ඒ යටතේ පවතින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරයට ඒ සම්බන්ධ වගකීමක් නොමැතිද?

(3) මේ පවරා ගැනීම් තීන්දුකර ක්‍රියාත්මක කරන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ සංවර්ධන සැළසුමක් අනුවද?

(4) “2022 - 2032 සමස්ථ නුවරඑළිය සංවර්ධන සැළසුම” දැන් අහෝසි කෙරුණක්ද?

(5) ඒ සැළසුම තිබියදී ජනාධිපති 2023 මැයි මාසයේ පිහිටවු කාර්ය සාධන කමිටුව හැදූ සංවර්ධන සැළසුමක් තිබේ ද?

(6) එවැනි සැළසුමක් තිබේ නම්, එය ප්‍රසිද්ධියට පත්කර තිබේද? කෙළෙසද?

(7) එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ සංචාරක අමාත්‍යාංශයටද? ජනාධිපතිටද?


මේවාට උත්තර ලැබේ නම්, ඒ ඇසුරෙන් තව ප්‍රශ්න මතුවනු ඇත. ඒ සියල්ලට මාධ්‍යවේදීන් පිළිතුරු සොයන්නේ නම් මැනවි.

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 නොවැම්බර් 09

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්