උගන්ඩාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීමේ සුදුසුකම ලබා ගෙන සිටිනවා.

මේ අනුව ඔවුන් ලබන වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා අමෙරිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ දක්නට ලැබෙනු ඇත්තේ පළමු වතාවට.

උගන්ඩාව මෙසේ ලෝක කුසලාන ක්‍රිකට් පිටියට ප්‍රවිශ්ට වීමේ විශේෂත්වය වන්නේ ජගත් ක්‍රිකට් පිටියේ නිත්‍ය සාමාජිකයෙකුව සිටින සිම්බාබ්වේ කණ්ඩායමට 2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වීම.

ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියට අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවති තරගාවලියේදී රුවන්ඩාව පරාජය කරමින් දෙවැනි ස්ථානයට පත්වූ උගන්ඩාව, නැමීබියාව සමග එක්ව තරගාවලියට පිවිසෙන්නේ සිම්බාබ්වේ ඉවත් කරමින්.

සුදුසුකම් ලබා ගැනීමේ ඊයේ පැවති තීරණාත්මක තරගයේදී රුවන්ඩා කණඩායමට එරෙහිව කඩුලු 9ක ජයක් ලබා ගැනීමට උගන්ඩාව සමත් වුනා. ලකුණු 65කට රුවන්ඩාව දවා ගත් උගන්ඩාව ඕවර 8යි පන්දුවකින් අවශ්‍ය ලකුණු රැස්කර ගෙන වාර්තා කළේ තරග හයකින් ඔවුන්ගේ පස්වැනි ජයග්‍රහණය. 

ලෝක කුසලාන තරගාවලි අටෙන් හයකට ම ක්‍රීඩා කර තිබෙන සිම්බාබ්වේ කණ්ඩායම විසින් කෙන්යාව පරදවා තිබියදීත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වුනා.

අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සත්කාරක රට වූ නැමීබියාව ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගත්තේ අඟවරුවාදා ලකුණු 58කින් ටැන්සානියාව පරාජය කරමින්. මේ අනුව නැමීබියාව මෙවර ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ පිට පිට තෙවැනි T20 ලෝක කුසලාන තරගාවලියට. 

 131837529 davidwiese
නැමීබියාව හා උගන්ඩාව යන කණ්ඩායම් දෙක ට ම පරාජය වූ සිම්බාබ්වේ ට මේ අනුව ලෝක කුසලාන තරගාවලි තුනකදී දෙවැනි වතාවටත් තරගාවලිය අහිමි වී තිබෙනවා. රජයේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිම්බාබ්වේ සාමාජිකත්වය අහෝසිය කිරීම නිසා ඔවුන්ට 2021 තරගාවලියට සහභාගි වීමට වරම් ලැබුනේ නැහැ.

2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම පිණිස අප්‍රිකාව ට වෙන්කර දී තිබුනේ ස්ථාන දෙකක් පමණයි. එම තරගාවලිය මීට පෙර ක්‍රීඩා කර ඇති සිම්බාබ්වේ හා නැමීබියාව මෙවර ද සුදුසුකම් ලබනු ඇතැයි යන්නයි ජනප්‍රිය විශ්වාසය වී තිබුනේ. කෙසේ වෙතත්, සිම්බාබ්වෙයානු සිහින බොඳව ගියේ උගන්ඩාව විසින් ඔවුන් කඩුලු පහකින් පරාජය කිරීම නිසා. ඉන්පසු උගන්ඩාව ඔවුන්ගේ ඉතිරි තරග පහෙන් හතරක් දිනා ගැනීමට සමත් වුනා. උගන්ඩාව පැරදුනේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය පුරා අපරාජිතව සිටි නැමීබියාව ට පමණයි.

සිම්බාබ්වේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ පැවති පසුගිය T20 ලෝක කුසලාන තරගාවලියේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් වන පාකිස්තානය පවා පරාජය කළා. එවන් සිම්බාබ්වේ කණ්ඩායමකට එරෙහිව ලබා ගත් ජයග්‍රහණය උගන්ඩාව එදා මෙදා තුර ජගත් ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකයෙකුට එරෙහිව වාර්තා කළ පළමු ජයග්‍රහණය වනවා. 

ug 1231
මේ අනුව, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩා කරන පස්වැනි අප්‍රිකානු රට බවට උගන්ඩාව ඉතිහාසගත වෙනවා. ලබන වසරේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් 20න් අන්තිම කණ්ඩායම වුනේ උගන්ඩාව.

ලබන ජූනි මස 4 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත 2024 T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම්:

අමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසිලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිණියාව, කැනඩාව, නේපාලය, ඕමානය, නැමීබියාව හා උගන්ඩාව.

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්