මීට දශකයකට පෙර බ්‍රිතාන්‍ය දැරියක දූෂණය කිරීමට වැරදිකරු වූ නෙදර්ලන්ත ජාතික ඔලිම්පික් වෙරළ වොලිබෝල් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවේ තරග කිරීම සඳහා වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තිස්එක් හැවිරිදි ස්ටීවන් වන් ද වෙල්ඩ (Steven van de Velde) ලබන මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර පැවැත්වෙන ලෝක වෙරළ වොලිබෝල් ශූරතාවලියේ ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා.
2016 වසරේදී 21 වැනි වියේ සිටි මේ ක්‍රීඩකයා මිල්ටන් කේන්ස් පෙදෙසේදී 12 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනා තුනකට වරද පිළිගත් අතර ඔහුට සිවු වසරක සිර දඬුවමක් නියම කෙරුනා. මුහුණුපොතොන් මේ බාලිකාව හඳුනා ගත් ඔහු ඇම්ස්ටඩෑම් සිට එංගලන්තයට පැමිණ ඇයව 2014 වසරේදී ඇගේ නිවසේදී දූෂණය කර තිබුනා.

මීට දෙසතියකට ඉහතදී, දකුණු ඔස්ට්‍රේලියාවේ නීතිපතිවරයා ෆෙඩරල් ආණ්ඩුවට ලිපියක් යවමින්, ස්ටීවන්ගේ වීසාව ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලා තිබුනේ ඔහුගේ අපරාධ “දැඩි පිළිකුල් සහගත” බව පවසමින්.
“විදේශීය ළමා ලිංගික වරදකරුවන්ට මේ රටට ඇතුළු වීමට අවසර ලබා දිය යුතු යැයි අපි විශ්වාස කරන්නේ නැහැ” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ ප්‍රජාවන් තුළ ආරක්ෂිතව සිටීම සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම රජය විසින් දිගටම සිදුකරන බව ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු ඇමති ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා.
2014 වසරේ දූෂණ සිද්ධියෙන් පසුව ස්ටීවන් වන් ද වෙල්ඩ නැවත නෙදර්ලන්තයට පැමිණිය ද, 2016 වසරේදී ඔහුව එංගලන්තය ට බාර දීමෙන් පසුව අත්අඩංගුවට පත්වුනා. බාලිකාව දූෂණය කරන විට ඔහු ඇගේ වයස දැන සිටි බව ඔහුට දඬුවම නියම කිරීමට පෙර උසාවියට අසන්නට ලැබුනා.
තමාගේ සිවු අවුරුදු සිර දඬුවමෙන් මාස 12ක් අවසන් කිරීමෙන් පසුව ස්ටීවන් ඔහුගේ වෘත්තීය ක්‍රීඩා දිවිය 2018 වසරේදී නැවත ආරම්භ කළේ ගෝලීය තරගාවලියන් කිහිපයක ඔහුගේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින්.
පසුගිය වසරේදී ඔහු පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නෙදර්ලන්තය නියෝජනය කළ අතර තරග නරඹන්නන් අතර සිටි සමහර පිරිස් ඔහුට සැලකුවේ “හූ” කියමින්. ඊට පෙර, ඔලිම්පික් උළෙල ඔහුට තහනම් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කෙරුනු මාර්ගගත පෙත්සමට අත්සන් 90,000ක් ලැබී තිබුනා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
මෙම පුවතට අදාල තවත් විස්තර :
පැරිස් ඔලිම්පික් උළෙලට එන නෙදර්ලන්ත කණ්ඩායමේ ළමා අපයෝජකයෙක්







