2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) තමාට පනවන තරග තහනමේ ප්‍රමාණය දැනගැනීම සඳහා ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට සති තුනක් පමණ බලා සිටීමට සිදුවනවා.
ඩබ්ලින් නුවරදී බ්‍රහස්පතින්දා පැවති පෘතුගාලය ගෝල් 2-0කින් පරාජය වූ තරගය අතරතුර අයර්ලන්තයේ ආරක්ෂක පෙල ක්‍රීඩක ඩරා ඔෂියා ට වැලමිටෙන් පහර දීම හේතුවෙන් රොනාල්ඩෝ ට පෙන්වනු ලැබූ රතු කාඩ්පතින් (Red Card) ඔහුට තරග දෙකක් හෝ තුනක් තහනම් වීමට ඉඩ තිබෙනවා.
රතු කාඩ්පත් සහ සෙනඟ කැලඹීම වැනි සිදුවීම් සඳහා වන විනය තීන්දුවල ගෝලීය ලැයිස්තුවක් පළ කිරීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටවලින් පසුව සති තුනක කාලයක් ගතකර තිබෙනවා.
කෙසේ වෙතත්, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තීරණය සඳහා කරන අතිරේක තරග (play-off) මාර්තු මාසය වනතුරු යෙදී නැති බැවින්, නඩු විභාග කිරීමේදී FIFA දැන් සිටින්නේ කාලය අතින් අඩු පීඩනයක් යටතේ.
රොනාල්ඩෝගේ නඩුව පිළිබඳව කාලරාමුවක් ප්‍රකාශ කිරීම FIFA සිකූරාදා ප්‍රතික්ෂේප කළා. රතු කාඩ්පත පෙන්වීමෙන් පසුව එක් තරග තහනමක් අනිවාර්ය වන අතර එය අද (ඉරිදා) පෘතුගාලය හා ආමේනියාව අතර පැවැත්වෙන තරගයේ ක්‍රියාත්මක වනවා.
මේ තරගයෙන් පෘතුගාලය ජයග්‍රහණය කළහොත් ලබන වසරේ අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට රොනාල්ඩෝගේ කණ්ඩායම සුදුසුකම් ලබනවා.
බරපතල නීතිවිරෝධී ක්‍රීඩාව වෙනුවෙන් අවම වශයෙන් තරග දෙකක තහනමක් හෝ ප්‍රචණ්ඩකාරීව හැසිරීම වෙනුවෙන් අවම වශයෙන් තරග තුනක තහනමක් පනවන බවට FIFA විනය නීතිවල සඳහන්ව තිබෙනවා.
අනිවාර්ය තරගයක තහනමට ඔබ්බෙන් වන එම අතිරේක තහනම ලෝක කුසලාන තරගාවලියේදී අත්විඳිය යුතුව තිබෙනවා. එසේ නැතිව ඊට පෙර පැවැත්වෙන ප්‍රදර්ශන තරග එම තහනමට ඇතුළත් වන්නේ නැහැ.
රොනාල්ඩෝ වැරදිකරු වන්නේ බරපතල නීතිවිරෝධී ක්‍රීඩාවට ද, එසේත් නැත්නම් ප්‍රචණ්ඩ හැසිරීමට ද, යනුවෙන් FIFA විනය විනිශ්චයකරුවන් දැන් තීරණය කළ යුතුව තිබෙනවා.
බරපතල නීතිවිරෝධී ක්‍රීඩාව සම්බන්ධයෙන් වන තරග දෙක හා තුනේ තහනම පසුගිය මාසයේ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදී පිටියෙන් නෙරපනු ලැබූ ක්‍රීඩකයන්ට පනවා තිබෙනවා.
ටරෙක් සල්මාන්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයෙකුව බරපතල ලෙස ‘ටැක්ල්’ කළ කටාර් ආරක්ෂක පෙල ක්‍රීඩක ටරෙක් සල්මාන් (Tarek Salman) ට තරග දෙකක තහනමක් ලැබුනා. තම පාද දෙක ම ගුවනේ තබාගෙන පන්දුවට ඉහළින් ගිය සල්මාන්ගේ බූට් සපත්තුව ඔහුගේ ප්‍රතිවාදියාගේ දණහිසින් පහළ කකුලේ ඉදිරිපස වැදුනා.
කෙන්යාවේ ගෝල් රකින්නා වන බ්‍රයන් බ්වයර් (Brian Bwire) ට තුවාල සිදුකිරීමේ වරදට Burundi ඉදිරි පෙල ක්‍රීඩක බොන්ෆිල්ස්-කේලබ් බිමෙනීමානා (Bonfils-Caleb Bimenyimana) ට තරග තුනක තහනමක් පැනවුනා. තණතිල්ල මතුපිටින් මඳක් ඉහළට එසවුනු බිමෙනීමානාගේ බූට් සපත්තුව වැදුනේ බ්වයර්ගේ මුහුණේ.
මීට පෙර ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරග 226දී කිසිම අවස්ථාවක රතු කාඩ්පත් දඬුවමට ලක්නොවීම පිළිබඳව රොනාල්ඩෝව පැසසුමට ලක්කළ යුතු බව පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාටිනස් කියා සිටිනවා. තරගය පුරාම අයර්ලන්ත ආරක්ෂක පෙල ක්‍රීඩකයන් රොනාල්ඩෝව ග්‍රහණය කරමින්, අදිමින්, තල්ලු කරමින් සිටි බව මාටිනස් ප්‍රකාශ කළා.

දෙසැම්බර් 5 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන කුසපත් ඇදීමෙන් පසුව රොනාල්ඩෝ පිළිබඳ FIFA තීන්දුව නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සබැඳි පුවතක් :
පෘතුගාලය වෙනුවෙන් පළමු රතු කාඩ්පත ලැබූ රොනාල්ඩෝට ලෝක කුසලානයේ පළමු තරගය අහිමි වීමේ අවදානමක්







