ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ජනවාරි 3 වැනිදා නිකුත් කළ එක් නියෝගයකින් ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL)
සිටි එකම බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයා වූ මුස්ටෆිසුර් රහ්මාන්ගේ එම තරගාවලියේ ක්‍රීඩා වාරය ආරම්භ වීමටත් පෙර අවසන් වුණා. මේ බංග්ලාදේශ වේග පන්දු යවන්නා වහාම ඉවත් කරන ලෙසට IPL තරගාවලියේ තරග කරන බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) ෆ්‍රැන්චයිසියට ඉන්දියා ක්‍රිකට් බලධාරීන් උපදෙස් දුන්නා.
ඒ, එම ක්‍රීඩකයා ආබාධයට ලක්ව සිටීම, උසස් ක්‍රීඩා මට්ටමක නොසිටීම හෝ කොන්ත්‍රාත් ප්‍රශ්නයක් නිසා හෝ නොව මුළු වටපිටාවේ ම හට ගනිමින් තිබූ උණුසුම්කාරී තත්ත්වයන් නිසායි. බලයෙන් නෙරපා දමනු ලැබූ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ට ඉන්දියාව 2024 අගෝස්තුවේ දේශපාලන රැකවරණ ලබා දුන් තැන් පටන් ඉන්දියාව හා බංග්ලාදේශය අතර නොඉවසුම් ගතිය වැඩිවී තිබෙනවා.
දින කිහිපයක් ඇතුළත මුස්ටෆිසුර් පාකිස්තාන සුපර් ලීගය සමග අත්සන් කළා. බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) දැඩි විරෝධය පළ කළා. IPL තරග විකාශය බංග්ලාදේශයේ තහනම් කෙරුනු අතර ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීයව පාලනය කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) ජාත්‍යන්තර සබඳතා අර්බුදයකට තල්ලු කෙරුනා.
මෙය හුරුපුරුදු ක්‍රීඩක ගනුදෙනුවක්ව තිබිය යුතු දෙයක්. නමුත් ඒ වෙනුවට සිදුවුනේ එම සිද්ධිය දකුණු ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩාව රාජ්‍යතාන්ත්‍රික අවියක සිට දේශපාලනික පීඩනයේ ආයුධයක් ලෙසට වෙනස් වීමේ සංකේතයක් බවට පත්වීමයි.
බොහෝ කලක සිට ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියා උපමහාද්වීපයේ මෘදු-බලයේ භාෂාවක් බවට පත්ව තිබුනේ යුද්ධවලින් නොනැසී පැවතීම, දේශසීමා වසා දැමීම් හා තානාපති සබඳතා අක්‍රිය වීම් දැඩි ලෙස දරාගැනීමේ ශක්තිය බෙදා ගනිමින්. අද, ඒ භාෂාව නැවත ලියැවෙමින් තිබෙනවා.
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මූල්‍ය හා දේශපාලන කේන්ද්‍රය වන ඉන්දියාව ක්‍රීඩාවේ ඔවුන්ගේ තිබෙන ආධිපත්‍යය විශේෂයෙන් පාකිස්තානය හා බංග්ලාදේශය ඇතුළු අසල්වැසි රටවලට සංඥා කිරීමට, දඬුවම් කිරීමට හා බලයෙන් නම්මා ගැනීම සඳහා පාවිච්චි කිරීම වැඩිකර ඇතැයි දේශපාලන නිරීක්ෂකයන් පවසනවා.
ඉන්දියානු රුපියල් මිලියන 9.2කට (ඩොලර් මිලියනයක්) KKR විසින් මිලදී ගනු ලැබූ මුස්ටෆිසුර්ව IPL තරගාවලියෙන් ඉවත් කිරීමේ BCCI මැදිහත්වීම අසාධාරණ හා අපහාසාත්මක ක්‍රියාවක් බව BCBය කියා සිටියා.
ධකා අගනුවර මේ කාරණාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ගෙන යමින් ලබන මස ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ තරග ක්‍රීඩා කිරීම ආරක්ෂක හේතුන් මත ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ට වෙනස් කරන ලෙසට ICCයෙන් ඉල්ලා සිටියා.
ඊටත් වඩා දුරකට ගිය බංග්ලාදේශය රජය, IPL තරග රට පුරා විකාශය කිරීම තහනම් කළා. මෙය දකුණු ආසියාවේදී ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනය හා මහජන මනෝභාවය සමග කොතරම් ගැඹුරට ඡේදනය වනවා ද යන්න අවධාරණය කළ දුර්ලභ පියවරක්.
ඉන්දියාවේදී බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ යහපැවැත්ම හා ආරක්ෂාව ගැන මෙන්ම තරග වෙනත් ස්ථානයකට මාරු කිරීම ඇතුළු තමන් මතුකළ කාරණා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ICCය, සුවිශේෂ ආරක්ෂක සැලැස්මක් සකස් කිරීමේදී බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය සමග සමීපව කටයුතු කිරීමේ ඔවුන්ගේ කැමැත්ත පළ කරන අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ සහභාගිත්වය සුරක්ෂිත කිරීම පිණිස තිබෙන ඔවුන්ගේ කැපවීම ද නැවත වරක් තහවුරු කළ බව BCBය ප්‍රකාශ කළා.
එසේ තිබියදීත් මේ වනවිටත් බංග්ලාදේශ කණ්ඩායමේ තරග කොල්කටා හා මුම්බායි නගරවල පැවැත්වීමේ තීරණය තවදුරටත් නොවෙනස්ව තිබෙනවා.
බංග්ලාදේශයේදී හින්දු ජාතිකයන් සහ සුළු ජාතීන්ව ඉලක්ක කරගෙන තිබියදී බංග්ලාදේශයේ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ කීර්තිමතෙකුට ඉන්දියාවේදී සංග්‍රහ නොකළ යුතු බව භාරතිය ජනතා පක්ෂයේ නායිකා නව්නීට් රානා පවසා තිබෙනවා.
මේ අතර, මුස්ටෆිසුර් රහ්මාන් ක්‍රීඩකයාව IPL තරගාවලියෙන් ඉවත් කිරීම පිළිබඳව ප්‍රශ්න කර ඇති ඉන්දියා කොන්ග්‍රස් නායක ෂාශි තරූර්, ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීම හා වෙනත් රටක ඇතිවන සිදුවීම්වලට තනි ක්‍රීඩකයන්ට දඬුවම් කිරීමට එරෙහිව අනතුරු අඟවා තිබෙනවා.
මුස්ටෆිසුර් මතභේදය වඩාත් පළල් පරාවක්‍රයකට ගැළපෙන බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
සියලුම ක්‍රිකට් පාලක මණ්ඩල දේශපාලනික යථාර්ථයන් ඇතුළත ක්‍රියා කරද්දී, ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබෙන අද්විතීය මූල්‍ය බලය ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ අනෙක් කිසිම පාලක මණ්ඩලයකට සමාන කළ නොහැකි බලපෑමක් ලබා දී තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක පාලකයින් වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධානියා වන ජේ ෂා, ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් පසුව ඉන්දියාවේ සිටින දෙවැනියට බලවත්ම පුද්ගලයා ලෙසින් බොහෝ දෙනා විසින් සලකනු ලබන ප්‍රබල ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂාගේ පුත්‍රයායි. මේ අතරතුර, IPL යනු ලෝකයේ දැනට තිබෙන ධනවත්ම ෆ්‍රැන්චයිස් ලීගයයි.
බිලියන 1.5ක ජනතාවක් සිටින ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන ලොකුම වෙළෙඳ පොළයි. එය ක්‍රීඩාවේ ආදායමෙන් ඇස්තමේන්තුගත සියයට 80ක් උත්පාදනය කරනවා.
මේ සියලු කාරණා නිසා ඉන්දියාව ට ක්‍රිකට් තරගාවලියන් හා තරග, ක්‍රීඩාංගණ හා ආදායම් බෙදාගන්නා සැලසුම් ෂෙඩූල් කිරීම තමන්ගේ අභිමතය පරිදි හැඩ ගස්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙයින් ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියා රජයට උපක්‍රමශීලී වාසියක් බවට පත්කර තිබෙනවා.
දේශපාලනික සබඳතා පළුදු වන විට ක්‍රිකට් ක්‍රීඩාව දැන් තවදුරටත් හුදෙකලා කෙරෙන්නේ නැහැ.
මෙය වඩාත්ම පැහැදිලිව දිස්වන්නේ මේ මොහොතේ බංග්ලාදේශය සමග ඉන්දියාව ට තිබෙන සබඳතාවෙන්. හිටපු අගමැතිනි හසීනා සමග ඉන්දියාව ෙඑතිහාසික වශයෙන් සමීපව කටයුතු කර තිබෙනවා.
ඉන්දියාව ට පැනගත් හසීනා ට ධකා නුවර අධිකරණ මණ්ඩලයක් පසුගිය වසරේදී මරණ දඬුවම නියම කර තිබියදීත්, ඇයව යළි බංග්ලාදේශය ට යැවීම ඉන්දියාව මේ දක්වා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ හේතුවෙන් ඉන්දියාව ට එරෙහි උද්ඝෝෂණ බංග්ලාදේශයේ වීදිවල හටගෙන තිබෙනවා. ඉන්දියාව ට විරෝධය පෑමේ කණ්ඩායමක නායකයෙකු දෙසැම්බර් මාසයේ ඝාතනය කිරීමෙන් පසුව ඉන්දියා විරෝධී හැඟීම් උත්සන්න වී තිබෙනවා.
මේ අතර, 2024 අගෝස්තු මාසයේ සිට බංග්ලාදේශයේ හින්දු ජාතිකයින් සහ අනෙකුත් ආගමික සුළු ජාතීන්ට පහර දීමේ සිද්ධීන් නිසා ඉන්දියාව තුළ කෝපය වැඩි වී තිබෙනවා. පසුගිය මාසයේදී හින්දු බංග්ලාදේශ පුද්ගලයෙකුව නීත්‍යනුකූල නඩු විභාගයක් නැතුව මරණයට පත් කළා.
මේ පසුබිම යටතේ, මුස්ටෆිසුර් රහ්මාන්ව IPL තරගාවලියෙන් නෙරපා දැමිමේ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාව ඉන්දියාවේ මාධ්‍යවේදීන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. ක්‍රීඩකයින් තේරීමේ තමන්ගේ ක්‍රමවේදය වෙනුවෙන් සිටගැනීම වෙනුවට ඉන්දියා ක්‍රිකට් මණ්ඩලය භීතියට පත්ව වාර්ගික පීඩනයට යටත් වෙමින් ක්‍රීඩාමය ප්‍රශ්නයක් තානාපති මට්ටමෙන් ලජ්ජාවට පත්වීමක් බවට හරවාගෙන ඇතැයි එක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ඔහුගේ පුවත්පත් තීරුවේ සටහන් කර තිබෙනවා.
බංග්ලාදේශය ට ක්‍රීඩා වර්ජනයක් අවශ්‍යව නැති බවට තර්ක කරන ඔහු ජනවාර්ගික දේශපාලනය ක්‍රිකට් සමග මිශ්‍රකර ගැනීමෙන් ඉන්දියාවේ කීර්තිය හා කලාපීය සබඳතාවන්ට හානි සිදුවීමේ අවදානමක් ඇතිවන බවට අනතුරු අඟවනවා.
මේ සැලකිලිමත් වීම දෝංකාරය කරමින්, ඉන්දියාවේ වැඩිම අලෙවියක් තිබෙන එක් දිනපතා පුවත්පතක් වන The Hindu හි ජාත්‍යන්තර සබඳතා කතුවරිය X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්, හිටපු බංග්ලාදේශ අගමැතිනි ඛලීඩා ෂියාගේ අවමඟුලට සහභාගි වීම පිණිස ඉන්දියා විදේශ කටයුතු ඇමති එස්. ජයිශන්කර් ට මෑතකදී බංග්ලාදේශය ට යාමට හැකි නම් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට (මුස්ටෆිසුර්ට) ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නොහැකි වන්නේ කෙසේදැයි පුදුමය පළකර තිබෙනවා.
කලක් ඉන්දියාව හා එහි අසල්වැසියන් අතර පාලමක් බවට පත්ව තිබූ ක්‍රිකට් ක්‍රීඩාව දැන් ඔවුන් අතර බෙදීමක් වැඩි කරමින් තිබෙන සැටි මේ ජවනිකාවෙන් පිළිබිඹු කරන බව ක්‍රිකට් විශ්ලේෂකයෙක් සඳහන් කරනවා.
මෙය විශේෂයෙන් දක්නට ලැබුනේ පසුගිය වසරේදී ගුවනෙහි හටගත් සිවු දින යුද්ධයෙන් මාස කිහිපයකට පසුව ඉන්දියාව හා පාකිස්තානය ක්‍රිකට් තරගවලදී එකිනෙකාට අතට අත නොදී සිටි අවස්ථාවේදීයි.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







