“මිනිස්සු මාව ලෙවකන්නේ මම තැපැල් මුද්දරයක් වුනොත් පමණයි” යනුවෙන් බොක්සිං ලෙජන්ඩ් මොහමඩ් අලි වරක් විහිළු කර තිබුණා.
ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ තෙවතාවක් හිමිකර ගත් ඔහුගේ ඒ උපහාසාත්මක කියමන දැන් යථාර්ථයක් බවට පත්ව තිබෙනවා.
ලොව මෙතෙක් බිහිවූ වඩාත්ම ජනප්‍රිය හා බලසම්පන්න බොක්සිං සටන්කරුවා මෙන්ම ක්‍රීඩා ප්‍රභාව දේශපාලන අවබෝධයෙන් හා අලංකාර සාමර්ථයෙන් විලීන කළ සංස්කෘතික බලයක් ලෙසින් ද බොහෝ දෙනා විසින් සලකනු ලබන මොහමඩ් අලි ට ප්‍රථම වතාවට අමෙරිකානු සමරු තැපැල් මුද්දරයකින් ගෞරව කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ලොනී අලි
“ඔහුගේ උරුමයේ ආරක්ෂකයා වශයෙන් මම මහත් උද්දාමයට පත්ව සිටිනවා. මම ඉන්නේ හරිම ප්‍රබෝධයෙන් හා ප්‍රීතියෙන්” යනුවෙන් වසර 30කට ආසන්න කාලයක් අලිගේ බිරිඳ වන ලොනී අලි පවසනවා. “මොකද, ජනතාව ඒ මුද්දරය දෙස බලන හැම වාරයකදීම ඔවුන්ට එයාව මතක් වේවි. එයා ඔවුන්ගේ මතකයේ ඉදිරියෙන්ම සිටීවි. මම එයින් ලොකු සතුටක් ලබනවා.”
![]()
මොහමඩ් අලි 74 වැනි වියේ පසුවෙමින් සිටියදී 2016 වසරේ මිය ගියේ පාකින්සන් රෝගය සමග දශක තුනකට වැඩි කලක් ජීවත් වීමෙන් පසුවයි. ඔහුගේ ජීවිත කාලය තුළ හා ඔහුගේ මරණින් පසුවත්, The Greatest නමින් ජනප්‍රියව සිටි මේ පුද්ගලයා 1960 වසරේදී ඔලිම්පික් රන් පදක්කම, 1998 වසරේදී එක්සත් ජාතීන්ගේ සාමයේ දූතයා සම්මානය හා 2005 වසරේදී නිදහසේ ජනාධිපති පදක්කම ඇතුළු සම්මාන ගණනාවක් හිමිකර ගත්තා.
ඔහුගේ මුහුණ මුද්දරයක තිබීම විශේෂ වැදගත්කමක් ගන්නා බව ලොනී අලි කියන්නේ එයින් ඔහුගේ කරුණාව පැතිරවීමේ මෙහෙවර සහ ජනතාව සමග සම්බන්ධ වීමට ඔහුට තිබුණු හැකියාව මතුකර දැක්වීමට අවස්ථාව ලැබෙන බව සඳහන් කරමින්.
‘මොහමඩ් අලි සදහටම’ – Muhammad Ali Forever - මුද්දරයේ පළමු දින නිකුත් කිරීමේ උත්සවයක් මේ කීර්තිමත් බොක්සිං සටන්කරුවාගේ උපන්ගම හා ඔහුගේ ජීවිතය හා උරුමය ප්‍රදර්ශනය කරන මොහමඩ් අලි මධ්‍යස්ථානය පිහිටි අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලූවිල් නගරයේ හෙට (බ්‍රහස්පතින්දා) පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී ජනතාවට, 1974 වසරේදී බොක්සිං ග්ලවුස් සමග සිටින අලිගේ ජනප්‍රිය සෙයියාවේ කළු-සුදු ඡායාරූපයෙන් යුත් මුද්දරය මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනවා.
මුද්දර 20කින් සමන්විත සෑම කඩදාසි කොළයකම මොහමඩ් අලි පටු ඉරි සහිත ඇඳුම් කට්ටලයකින් සැරසී සිටින ඡායාරූපයක් ද විදහා දැක්වෙන්නේ සමාජ ක්‍රියාකාරිකයෙකු හා මානව හිතවාදියෙකු ලෙස ඔහු සිදුකළ කාර්යභාරයට ප්‍රසාදය පළකරමින්. මුද්දර මිලියන විසි දෙකක් මුද්‍රණය කර තිබෙනවා. ඒවායේ අලෙවිය අවසන් වීමෙන් පසුව නැවත මුද්‍රණය කරන්නේ නැති බව අමෙරිකා තැපැල් සේවය (USPS) ප්‍රකාශ කරනවා. සිහිවටන එකතු කරන්නන් මෙන්ම එසේ නොකරන අයගෙන් ද විශාල උනන්දුවක් මේ මුද්දර විසින් උපදවනු ඇති බවට අපේක්ෂා කරනවා.
මොහමඩ් අලි මුද්දරයක් පිළිබඳ අදහස ප්‍රථමයෙන් පැමිණියේ මීට දශකයකට ආසන්න කාලයකට පෙර ඔහු මිය යාමෙන් පසුව බව USPS හි මුද්දර සේවා අධ්‍යක්ෂිකා Lisa Bobb-Semple ප්‍රකාශ කරනවා. නමුත් මුද්දරයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ එකක්. ජනාධිපතිවරු හැරෙන්නට මුද්දරවල පෙනී සිටින පුද්ගලයින් මිය ගොස් අවම වශයෙන් වසර තුනක් ගතව තිබීම USPS ට අවශ්‍ය වනවා.
මුද්දරයක් සඳහා USPS තිරයෙන් පිටුපස කටයුතු කරමින් සිටියදී මොහමඩ් අලිගේ මිතුරෙක් #GetTheChampAStamp මෙහෙයුම දියත් කිරීමට සහාය වී තිබෙන අතර එයින් මේ අදහසට ජනතාව තුළ උනන්දුවක් හටගෙන තිබෙනවා.
මේ මුද්දරය සඳහා යොදාගෙන තිබෙන්නේ Associated Press (AP) නමැති ගෝලීය ප්‍රවෘත්ති සංවිධානයේ නිර්නාමික ඡායාරූප ශිල්පියෙකු විසින් ගනු ලැබූ ඡායාරූපයක්.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







