අමෙරිකාව හා ඉන්දියාව අතර බ්‍රහස්පතින්දා (15) පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගයට පෙර ජාතික ගීතය ගායනා කිරීමේ අවස්ථාවට අද්විතීය රසයක් එක්ව තිබුණා. බුලවේයෝ නගරයේ ක්වීන්ස් ක්‍රීඩා සමාජයේදී ඉන්දියා ජාතික ගීය වාදනය වෙද්දී ඉන්දියා ක්‍රීඩකයින් සමග එක්ව අමෙරිකානු ක්‍රීඩකයින්ගේ මව්පියන් ද එම ගීතය ගායනා කළා.
අමෙරිකානු කොඩි දවටාගෙන සිටිය ද, එම පවුල් කිහිපයක්ම ඉන්දියා ජාතික ගීය හඬ නගා ගායනා කරන අයුරු දිස්වුණා. මීට හේතුව වී තිබුණේ අමෙරිකානු අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින සියලුම ක්‍රීඩකයින් ඉන්දියාවේ උපත ලැබූවන් හෝ ඉන්දියානු පෙළපතක් තිබෙන අය වීමයි.
ගුජරාටයේ උපන් මොනාන්ක් පටෙල් නායකත්වය දරණ සහ වඩාත් හොඳ ජීවිතයක් වෙනුවෙන් තම පක්ෂපාතකම් වෙනස් කළ හිටපු ඉන්දියා දේශීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත අමෙරිකානු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුගේ ද මව්පියන් වසර ගණනාවකට පෙර අමෙරිකාව ට සංක්‍රමණය වූ අයයි.

ඉන්දියානු පුවත්පතක් වාර්තා කර තිබෙන පරිදි, මේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන මහාද්වීප හතරේ ම කණ්ඩායම් 16 තුළ සිටින ක්‍රීඩකයින්ගෙන් තුනෙන් එකක් අග්නිදිග ආසියානු උරුමයක් තිබෙන අය වන අතර මින් බොහෝ දෙනෙකුම පැවත එන්නේ ඉන්දියාවෙන්. එබැවින්, මේ තරගාවලියේදී ඉන්දියාව අනෙක් කණ්ඩායම් සමග ඉදිරියේදී තරග වදින විට මේ හා සමාන තවත් දසුන් දැකගන්න ලැබීමට ඉඩ තිබෙනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







