බංග්ලාදේශය ඔවුන්ගේ 2026 විස්සයි20 ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා ගැනීමේ
අවසන් උත්සාහයක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) ආරවුල් බේරුම් කිරීමේ කමිටුවට (DRC) ලිපියක් යවා තිබෙනවා.
එහෙත් මෙය අසාර්ථක වෑයමක් වනු ඇත්තේ ICCයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලබන තීරණයකට බලපෑමක් ඇති කිරීමට මේ කමිටුවට බලයක් නැති බැවින්.
බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට ඇතුළත් කිරීමට ICCය සූදානම්ව සිටින මේ මොහොතේ බලාපොරොත්තු සුන් වූ අමිනුල් ඉස්ලාම්ගේ ප්‍රධානත්වයෙන් යුත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ඔවුන්ගේ අවසන් උපාය ක්‍රියාත්මක කරමින් එංගලන්ත ජාතික රාජකීය නීතිඥ මයිකල් බෙලෝෆ්ගේ (Michael Beloff) මූලිකත්වයෙන් යුත් DRC වෙත යොමුව සිටිනවා.
යම් හෙයකින් DRCය බංග්ලාදේශ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහොත් ඊළඟට යොමු විය හැකි එකම ආයතනය වන්නේ ස්විට්සලන්තයේ තිබෙන ක්‍රීඩා බේරුම්කාර උසාවිය (CAS) බව BCBය කියනවා.
ඉන්දියාවේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ඔවුන්ගේ ක්‍රිකට් මණ්ඩලය පවසන තරමේ ප්‍රබල තර්ජනයක් නැති බවට ස්වාධීන ආරක්ෂක තක්සේරුවකින් ප්‍රකාශ වී තිබියදී බංග්ලාදේශ කණ්ඩායමේ තරග ඉන්දියාවේ පැවැත්වීමට පක්ෂව ICC අධ්‍යක්ෂ මණ්ඩලය 14-2ක ඡන්දයක් ලබා දී තිබෙනවා.
බංග්ලාදේශ කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමේ තීරණය ගෙන තිබෙන්නේ BCBය නොව බංග්ලාදේශ රජය බව එරට ක්‍රීඩා අමාත්‍යංශ උපදේශක හා දැඩි ඉන්දියා විරෝධියෙකු වන අසිෆ් නස්රුල් පවසනවා.
ICC ව්‍යවස්ථාවට අනුව ගෝලීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට එරෙහිව ඉදිරිපත් කරන ඇපෑලක් ඇසීමේ කිසිම අයිතියක් DRCයට නැහැ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ආරවුල් බේරුම් කිරීමේ කමිටුව ක්‍රියා කරන්නේ බ්‍රිතාන්‍ය නීතියට අනුවයි.
බොලෝෆ් යටතේ DRCය දුන් එක් ආසන්නතම තීරණයක් වාර්තා වන්නේ 2018 වසරේ. එහිදී, ඉන්දියා කණ්ඩායම ද්විපාර්ශික තරගමාලාවක් පාකිස්තානයේ ක්‍රීඩා නොකිරීමට වන්දි වශයෙන් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය අමෙරිකානු ඩොලර් මිලියන 70ක වන්දි මුදලක් ගෙවන ලෙසට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය කළ ඉල්ලීම DRCය වහාම ප්‍රතික්ෂේප කළා.
ආරවුල් බේරුම් කිරීමේ කමිටුව සාමාන්‍යයෙන් පරීක්ෂාවට ලක් කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඔවුන්ගේ නීතියට අනුව සියලු නීති අනුගමණය කර තිබෙනවා ද යන්න පිළිබඳවයි. එය අභියාචනා විභාග කරන මණ්ඩලයක් නෙවෙයි.
බංග්ලාදේශ අර්බුදය පිළිබඳව ICCය අද (සෙනසුරාදා) අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







