එංගලන්ත නායක හැරී බෲක්ගේ ප්‍රවේගකාරී පන්දු 57ක ශතකය ශ්‍රී ලංකාවේ පස් වසරක අපරාජිත ගමනක් නතර කළා.
ශ්‍රී ලංකාව ට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී බෲක් හා ජෝ රූට්ගේ නොදැවුනු ශතක ඉනිම මත එංගලන්තය ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කළේ දෙපිල අතර තරග තුනකින් සමන්විත තරගමාලාව ද 2-1ක් ලෙස ජය ගනිමින් පමණක් නොව ශ්‍රී ලංකාව වසර පහක දීර්ඝ කාලයක් තිස්සේ මව්බිමේදී පවත්වා ගෙන ගිය අපරාජිත ODI ගමන ද අවසන් කරමින්.
ශ්‍රී ලංකාව ඔවුන්ගේ භූමියේදී තරගමාලා 11ක් ජයග්‍රහණය කරමින් හා එක් තරගමාලාවක් ජය පැරදුමින් තොරව අවසන් කරමින් තරගමාලා 12ක් අපරාජිතව සිටිය ද, බෲක්ගේ ආක්‍රමණය ඒ ගමනට තිත තබමින් තරගයේ රිද්මය තීරණාත්මක අයුරින් එංගලන්තය දෙසට වෙනස් කළා.
“අපි බලාපොරොත්තු වුනාට වඩා මේ තණතීරුව ගොඩක් හොඳයි. තරගයට සහභාගි වූ හැම දෙනාගෙන්ම ලැබුනේ විශිෂ්ට දායකත්වයක්” යනුවෙන් බෲක් කියා සිටියා.
“විශේෂයෙන් ජෝ රූට් ප්‍රදර්ශනය කළේ සංවේදනය හට ගන්වන පිතිකරණයක්. දඟ පන්දු යවන්නන්ගේ ක්‍රීඩාව ගැනත් අපට හරිම සතුටුයි. එය ලෝක කුසලාන තරගාවලියට පෙර ලැබුනු හොඳ සංඥාවක්.”
ලකුණු 358ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේදී ශ්‍රී ලංකාව ඉනිම ආරම්භ කළේ ‘පවර් ප්ලේ’ ඔ්වර දහය ඇතුළත වේගයෙන් ලකුණු 104ක් කරා යමින්. එහෙත් ඉන්පසුව හතරේ පහරවල් අඩු වුණා.
අවශ්‍ය ලකුණු ලබා ගැනීමේ වේගය පවත්වා ගෙන යාමට දැරූ උත්සාහයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ගුවනෙන් යන මාර්ගයට අවතීර්ණ වීම නිසා එහි විපාක විඳිමට සිදුවූයේ එංගලන්තය හතරේ සීමාව අසලදී නිවැරදිව උඩ පන්දු රැකගත් බැවින්.
ඉනිම කඩා වැටෙද්දී නොසැලී සිටි යොවුන් පිතිකරු පවන් රත්නායක ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
දැවී ගිය අවසන් පිතිකරුවා බවට පත්වූ ඔහු හතරේ පහර 12ක් සහ හයේ පහරක් එල්ල කරමින් පන්දු 115කින් ලකුණු 121ක් රැස් කරද්දී ශ්‍රී ලංකාව ඔ්වර 46.4ක් ඇතුළත ලකුණු 304කට දැවී ගියා.
පළමු ODI තරගයෙන් එංගලන්තය පරාජය වූව ද, තරගමාලාව ඉදිරියට යද්දී රිද්මය සොයා ගත් ඔවුන් දැඩි උෂ්ණත්වය හා පන්දුව දඟ කැවෙන තණතීරුවලට සුදුසු ලෙස හැඩගැසුණා.
සෙනසුරාදා පැවති තරගයෙන් තරගමාලාව සම කරගත් ඔවුන් ඊයේ තරගයේදී ප්‍රදර්ශනය කළේ ඔපදැමූ තුන් ඉරියව් දක්ෂතාවේ ක්‍රීඩාවක්.
මේ පරාජයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ODI ශ්‍රේණිගත කිරීම්වල හය වැනි ස්ථානය දක්වා පහළට ලිස්සා ගියා.
පන්දු 66කින් පමණක් නොදැවී ලකුණු 136ක් ලබා ගත් බෲක්ගේ අතිශයින් දරුණු ප්‍රහාරය මගින් පන්දුවට සම්පූර්ණයෙන්ම නිවැරදි පහර එල්ල කිරීමක් ප්‍රදර්ශනය කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අන්දමන්ද කරමින් සහ හාරදහසකින් ශක්තිමත් එංගලන්ත ආධාරකරුවන්ගේ පිරිස කුල්මත් කරමින්. පළමුව පන්දුවට පහර දීම තෝරා ගත් එංගලන්තය කඩුලු 3ක් පමණක් අහිමි කරගෙන ලකුණු 357ක් රැස් කළා.
එංගලන්ත ජයග්‍රහණයට අත්තිවාරම දැමුනේ නායක බෲක් හිටපු නායක ජෝ රූට් සමග සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටුවූ ලකුණු 191ක නොබිඳි සබඳතාවෙන්. එමගින් එංගලන්තයට තරගයේ පූර්ණ පාලනය ලැබුණා.
අවසන් ඔ්වර 10දී ලකුණු 130ක් රැස් කරමින් එංගලන්ත කණ්ඩායම ශක්තිමත් මුළු ලකුණු ප්‍රමාණයක් යෝධ මුළු ලකුණු සංඛ්‍යාවක් බවට පත්කළා.
ජෝ රූට්ගේ 20 වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශතකයට වඩා ඉස්මතු වී පෙනුනේ බෲක්ගේ මාස්ටර් මට්ටමේ පිතිකරණය.
පළමු තරග දෙකේදී අර්ධ ශතක ලබා ගත් රූට් ශ්‍රී ලංකාව ට වේදනා දෙන ප්‍රධාන එංගලන්ත පිතිකරුවා ලෙස තම කාර්යයේ තවදුරටත් නියැලෙමින් නොදැවී ලකුණු 111ක් ලබා ගත්තා.
ඊට කළින්, රූට් සහ ජේකබ් බෙතල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126ක සබඳතාවක් ගොඩනගමින් ඉනිමේ පසුව එන විනාශකාරී ප්‍රහාරයට වේදිකාව සකස් කළා.
මීට උත්තරයක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සතුව තිබුනේ නැහැ. මෙය ජාත්‍යන්තර එක්දින තරග බිමේ ශ්‍රී ලංකාව ට එරෙහිව එංගලන්තය වාර්තා කළ ඉහළම මුළු ලකුණු ප්‍රමාණයයි.
ඊට අමතරව, 300 ට වැඩි ඔ්නෑම මුළු ලකුණු ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ජයග්‍රාහී ඉලක්කයක් වන ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සටහන් වූ සිවු වැනියට වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.
“හැරී බෲක් තරගය අපෙන් උදුරා ගත්තා. එය මවිත කරවන ඉනිමක්” යනුවෙන් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ප්‍රකශ කළා.
“නමුත් මෙහිදී අපට ධනාත්මක දේවල් බොහොමයක් තිබුණා. පවන් රත්නායක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉතාමත් හොඳින් ලකුණු රැස් කරමින් සිටියා. අද ඔහු ජාත්‍යන්තර තරග බිමේත් ඔහුට කරන්න පුළුවන් දේ ප්‍රදර්ශනය කළා.”
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







