එංගලන්තය ඊයේ පල්ලෙකැලේදී ශ්‍රී ලංකාව ට එරෙහිව ලකුණු 12ක සටන්කාමී ජයග්‍රහණයක් අත්කර ගත්තේ ප්‍රමාණවත් නොවූ ලකුණු 128ක මුළු ලකුණු සංඛ්‍යාවක් රැක ගනිමින් වීම විශේෂත්වයක්.
මේ ජයග්‍රහණයත් සමග එංගලන්ත කණ්ඩායම තරග තුනකින් සමන්විත වූ ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාව 3-0ක ජයකින් සම්පූර්ණ කළා.
ජේකබ් බෙතල්ගේ දඟ පන්දුව හමුවේ ශ්‍රී ලංකාවේ දුබල මැද පිතිකරු පෙල නැවත වතාවක් කඩා වැටුණා.
18 වැනි ඕවරයට පිවිසෙන විට තරගය සමබරව තිබුනේ ශ්‍රී ලංකාව ට ජයග්‍රහණය සඳහා පන්දු 18කින් ලකුණු 21ක් අවශ්‍ය වෙමින්. ඒ වන විට ඔවුන් සතුව කඩුලු හතරක් ද තිබුණා. කෙසේ වෙතත්, බෙතල්ගේ ‘පාට්-ටයිම්’ දඟ පන්දුව තරගය අනපේක්ෂිත ලෙස එංගලන්තය දෙසට හැරවූවා.
අතිශය වැදගත් ඕවරයකදී මේ වමත් දඟ පන්දු යවන්නා කඩුලු තුනක් ලබා ගත්තේ තරගයේ තවත් පන්දු තුනක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ලකුණු 116කට දවාලමින්. බෙතල් ඔහුගේ ඕවර හතරක පන්දු යැවීම අවසන් කළේ ලකුණු 11කට කඩුලු 4ක සිය හොඳම පන්දු යැවීම සටහන් කරමින්.
“මෙය මම වැඩියෙන්ම විනෝදයක් ලැබූ එක් තරගයක්” යනුවෙන් එංගලන්ත නායක හැරී බෲක් පැවසුවා. “අභියෝගාත්මක තත්ත්වයන්ට හැඩගැහෙන්න පුළුවන් බව අපි පෙන්නුවා. අද අපි ශ්‍රී ලංකා කණ්ඩායමකට එරෙහිව ඔවුන්ට පුරුදු තණතීරුවේ ම දඟ පන්දු ඕවර 16ක් යැවීම ඇත්ත වශයෙන්ම අපේ අපේක්ෂාවන් සපුරාලීමක්.”
එංගලන්තය ට රැස් කරගත හැකිවූයේ ලකුණු 128ක් පමණක් වූවත් සිය නිපුණතාව ප්‍රදර්ශනය කළ ඔවුන් පන්දුව දඟ කැවෙන හා බවුන්ස් වන තණතීරුවක ප්‍රමාණවත් නොවන ලෙසින් දිස්වූ මුළු ලකුණු ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට සමත් වුණා.
වේග පන්දු යවන්නන්ගේ ඕවර හතරෙන් පසුව පාලනය අතට ගත් දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් හිරකර දවාලුවේ මේ තරගමාලාව ආරම්භයේ සිටම තිබූ ඔවුන්ගේ ආධිපත්‍යය අඛණ්ඩව පතුරුවමින්.
පසුගිය සතියේ කොළඹදී එංගලන්තය ලැබූ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලා ජයග්‍රහණයට ද දඟ පන්දු යවන්නන්ගේ සේවය අත්‍යාවශ්‍ය වූ අතර මහනුවරදී ද ඔවුන් එංගලන්ත කණ්ඩායමේ තුරුම්පුව තමන් බව නැවත වරක් ඔප්පු කළා.
බෙතල් ට කඩුලු තුනක් ලබා ගත් විල් ජැක්ස්ගේ සහාය ලැබුනු අතර අඩිල් රෂිඩ් සහ ලියාම් ඩෝසන් කඩුල්ලක් බැගින් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ට එල්ල කළ පීඩනය දිගටම තබාගෙන සිටීමට දායක වුණා.
පළමු තරගයේදී පිට පිට කඩුලු තුනක් ලබා ගෙන එංගලන්ත කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයා බවට පත්වූ සෑම් කරන් ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා මේ තරගයේදී ප්‍රදර්ශනය කරමින් ද, සිය හොඳම පිතිකරණයේ යෙදෙමින් ද, පන්දු 48කින් ලකුණු 58ක් රැස් කළේ එංගලන්තය 60/6ක අසීරු තත්ත්වයෙන් බේරා ගනිමින්.
ආබාධයකින් පසුව නැවත කණ්ඩායමට එක්වූ වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ ඔහුගේ මංගල කඩුලු පහ වාර්තා කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනුනු ක්‍රීඩකයා බවට පත්වුණා. ඔහු ලකුණු 24කට මේ කඩුලු 5ක් ලබා ගත් අතර මෙය ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගවල හොඳම පන්දු යැවීම වනවා.
ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි පන්දුවෙන් කමිල් මිෂාර දැවී ගිය ද, එයින් පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ට ඔවුන්ගේ මුල් පිතිකරු පෙලේ ක්‍රියාවලියේ නැවත යෙදීමට අවස්ථාව උදාවුණා. මේ දෙදෙනා පන්දු 23කින් ලකුණු 33ක් රැස් කළ ද නිස්සංකගේ දැවී යාම ශ්‍රී ලංකාවේ ලෙහෙසියෙන් බිඳෙන මැද පිතිකරු පෙලට මං විවර කළා.
එංගලන්තය දැන් ජයග්‍රාහී ගැම්මකින් යුතුව 2026 විස්සයි20 ලෝක කුසලාන මෙහෙයුම ක්‍රියාත්මක කිරීම පිණිස ඉන්දියාව බලා යද්දී ශ්‍රී ලංකාව ට සිදුව තිබෙන්නේ දඟ පන්දුවට ගොදුරු වීමේ ඔවුන්ගේ දුර්වලතාවට විසඳුමක් සොයා ගැනීමයි.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







