ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කරන ලෙසට 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරක රටක් වන ශ්‍රී ලංකාව පාකිස්තානයෙන් ඉල්ලා තිබෙනවා.
තරගාවලියේ ඉහළින්ම තිබෙන ඉන්දියා - පාකිස්තාන තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, පාකිස්තාන රජය පෙබරවාරි 1 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මේ තරගය වර්ජනය කරන බව කියා සිටියා.
මේ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට ලිපියක් යවමින් තරගයට සහභාගි නොවීමේ තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

සත්කාරක රටක් වශයෙන් ශ්‍රී ලංකාව මේ තරගාවලිය දෙස අතිශයෙන් උනන්දු වූ ආසාවෙන් බලා සිටින අතර ශ්‍රී ලංකාව ට ලබා දී තිබෙන තරග සඳහා වන සියලුම ව්‍යාපාරික, කාර්යාත්මක, සැලසුම් සංවිධානය හා ආරක්ෂක කටයුතු දැනටමත් අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ලිපියෙන් අවධානයට ලක් කර තිබෙනවා. ආගන්තුක සත්කාරය සැලසුම් කිරීම හා තරග ප්‍රවේශ පත් අලෙවිය ද මීට ඇතුළත්.
විශේෂයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඇතුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා වන ටිකට් අලෙවිය කැපී පෙනෙන ප්‍රබල ඉල්ලුමකින් යුතුව අවසන් කර තිබෙන්නේ පෙර නොවූ විරූ මහජන උනන්දුවක් සහ සැලකිය යුතු වාණිජමය අපේක්ෂාවන් පිළිබිඹු කරමින් බව එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.
මෙවැනි විශාල තරගයකට සහභාගි නොවීම මගින් සැලකිය යුතු තරමේ මූල්‍ය නිරාවරණය, බලාපොරොත්තු වූ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවීම හා මහත් ආර්ථික භේද වීම ඇතුළු පුළුල් පරාසයක විපාකයන් සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනතුරු අඟවා තිබෙනවා.

අතීතයේදී සහයෝගයෙන් කටයුතු කළ ආකාරය ද මෙහිදී මතක් කර දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අනෙකුත් ක්‍රිකට් රටවල් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතුවූ ආරක්ෂාව සම්බන්ධ බරපතල සිදුවීම් හටගෙන තිබූ වකවානු ඇතුළු අභියෝගාත්මක හා සංවේදී තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම කිහිප වතාවක් ම පාකිස්තානයේ සංචාරය කළ බව පෙන්වා දී තිබෙනවා. එම තීරණ ගනු ලැබුවේ හොඳ විශ්වාසයකින්, ක්‍රීඩාශීලිත්වයේ ජීවගුණයෙන් සහ දෙරටේ ක්‍රිකට් මණ්ඩල අතර තිබෙන අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුවයි.
එබැවින්, එම අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වයේ ජීවගුණය ම තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන්නේ පූර්ණ ආරක්ෂාව, අපක්ෂපාත බව සහ අධි වෘත්තීයතාව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියලුම තරග සඳහා සහතික කරමින්.

ඉන්දියා - පාකිස්තාන තරගය වර්ජනය කිරීමට හෝ එයට සහභාගි වීමෙන් වැළකී සිටීම තෝරා ගැනීමට හෝ ගෙන තිබෙන ඕනෑම තීරණයක් පිළිබඳව යළි සලකා බලන ලෙසට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලියේ යහපත, එහි සංවිධායකයින් හා ලොව පුරා සිටින මිලියන ගණනක ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සියලු තරගවලට සහභාගි වන ලෙසට පාකිස්තානය ට කියා සිටිනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







