"ගෝල් කණුව පිටුපස නාග කලාපයක්" - අර්ලිං හාලන්ඩ් ඇතුළු නෝවේ කණ්ඩායමටත් සර්ප භීතිකාවක්!"
"සැන් ඩිඒගෝ රශ්මිය මදිවට විසකුරු සර්පයන් හතර වර්ගයකින් ක්‍රීඩකයන්ට තර්ජන!"
ස්විට්සලන්ත ලෝක කුසලාන පාපන්දු පුහුණු කඳවුරට අල්ලපු ඉඩමේ සර්පයන් සිටින බවට අනතුරු ඇඟවීමෙන් පසුව ක්‍රීඩකයින් සිටින්නේ දැඩි සෝදිසියෙන්.
කැලිෆෝනියාවේ සැන් ඩිඒගෝ නගරයේ තිබෙන ආර්ද්‍ර උෂ්ණත්වයන් සමග ගනුදෙනු කරමින් සිටින ස්විස් පාපන්දු කණ්ඩායමට තවත් බිය උපදවන ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව තිබෙන්නේ ඔවුන්ගේ පුහුණුවීමේ කඳවුරු සිතියමේ ‘සර්පයන්ගේ කලාපයක්’ සලකුණු කර ඇති බැවින්.
විවිධ බිම් කොටස්වල ලේබල සහිත සිය පුහුණු කඳවුරේ ඡයාරූපයක් ස්විට්සලන්ත කණ්ඩායම ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ පෝස්ට් කර තිබෙනවා.
කූඩාරමකින් ආවරණය කළ ජිම්නේසියම් පෙදෙස සමග පිටියේ පිටුපස ඇති ගෝල් රකින්නාගේ කලාපය ඔවුන් එයින් පෙන්වා තිබෙනවා. ජිම් කොටසට මඳක් පිටුපසින් වන ඇඳුම් අඳින ස්ථානය ද එහි දක්වා තිබෙනවා.
නමුත් මේ පෝස්ටුව මගින් සමහර ක්‍රීඩා ලෝලීන් විස්මයට පත්කර තිබෙන්නේ එයින් පෙන්වා තිබෙන විශාල සර්ප විමානයක ලේබලය යි. තද රතු ඉරිවලින් ලකුණු කර ඇති මේ හිරිහැරදායක කලාපයට යටින් තිබෙන කැප්ෂනයේ මෙසේ සඳහන් වනවා: “සර්පයන්ගෙන් ප්‍රවේශම් වන්න!”
සැන් ඩිඒගෝ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයට අනුව, විසකුරු සර්ප ජාති හතරක් මේ ප්‍රදේශයේ සිටිනවා.
තමන්ගේ ලෝක කුසලාන කඳවුරුවල සර්පයන් ගැන විමසිල්ලෙන් සිටින එකම කණ්ඩායම ස්විට්සලන්තය නෙවෙයි. උතුරු කැරලයිනා හි ග්‍රීන්ස්බොරෝ නගරයේ ග්‍රෑන්ඩ්ඔ්වර් හෝටලයට ඇතුළු වීමෙන් පසුව නෝවේ කණ්ඩායමට ද භයානක උරගයන් ගැන සෝදිසියෙන් සිටින ලෙසට දන්වා තිබෙනවා.
ග්‍රීන්ස්බොරෝ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන සර්පයන් ප්‍රකෝප නොකරන ලෙසට අර්ලිං හාලන්ඩ්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට අනතුරු අඟවා තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







