පුවත සජීවීව ගෙන ආ නිවේදිකාව ඉල්ලා අස්වෙයි
ආජන්ටිනාවේ ආරම්භක ලෝක කුසලාන පාපන්දු තරගය පැවැත්වෙන අතරතුර නායක ලයනල් මෙසීගේ පියා මිය ගිය බවට අසත්‍ය විස්තරයක් කළ ආජන්ටිනා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන ෆ්ලොරෙන්සියා පෙනියා (Florencia Pena) සේවයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ආජන්ටිනාවේ ලූසූ රූපවාහිනී නාලිකාවේ (Luzu TV) සජීවී තරග විස්තර ප්‍රචාරයක් අතරතුර ඇය මෙසේ කියා තිබුණේ ඇල්ජීරියාව ට එරෙහිව ආජන්ටිනාව ලැබූ ජයග්‍රහණයෙන් පසුව.
“මට නරක ප්‍රවෘත්තියක් ගෙන එන්න අවශ්‍ය නැහැ, නමුත් මෙසීගේ පියා මේ දැන් මිය ගියා. එය සිදුවුනේ ක්ෂණිකවයි. ලෝක කුසලාන තරගය මධ්‍යයේයි” යනුවෙන් පෙනියා වාර්තා කළේ එම වැඩසටහන මෙහෙයවමින් සිටියදී.
ඒ තොරතුර ස්ථිර කර නැති බවට පෙනියා පැහැදිලි කිරීමට පෙර එම පුවත සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර ගොස් තිබුණා.
පසුව මෙසීගේ පවුලේ අය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩකයාගේ පියා වන හෝහේ මෙසී (Jorge Messi) අනාවරණය කර නොගත් සෞඛ්‍යමය තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව දන්වා සිටියා.
වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින 68 හැවිරිදි හෝහේ මෙසී සුවය ලබමින් සිටින බව දක්වමින් ඔහුගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් වන අනුමාන කිරීම් පිළිබඳව දොස් පැවරූ එම නිවේදනය මේ අපහසු කාලසීමාව තුළ පෞද්ගලික භාවයට ඉඩ දෙන ලෙසට ඉල්ලා සිටියා.
ප්‍රසිද්ධියේ සමාව ගත් පෙනියා, වැඩසටහන පැවැත්වෙන අතරතුර මේ තොරතුරු තමා වෙත යොමු කළේ ඇත්ත ප්‍රවෘත්තියක් ලෙසින් බව ප්‍රකාශ කළා.
“මම මෙසීගේ පවුලෙන් සමාව ඉල්ලනවා” යනුවෙන් ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. “මේ වැරැද්දට පැටලෙන්න සිදුවීම ගැන මම ඉතාමත් ලැජ්ජා වෙනවා.”
තමාට ලබා දී තිබුණේ ඇත්ත නැත්ත විමසා නොබැලූ තොරතුරු බවට මේ 51 හැවිරිදි රූපවාහිනී නිවේදිකාව හා නිළිය දැන් පවසනවා.
“වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායම විසින් තහවුරු කර ගත් එකක් ලෙසිනුයි මම සජීවීව කටයුතු කරමින් සිටියදී ඔවුන් මට මේ අසත්‍ය තොරතුර ලබා දුන්නේ කියලා මම පැහැදිලි කළ යුතුයි” යනුවෙන් පෙනියා සමාජ මාධ්‍යයේ සටහන් කර තිබෙනවා.
“එසේ වුනත්, ඒ වැරැද්දට කොටස්කරුවෙක් වීමේ වගකීම මම බාර ගන්නවා. ලූසූ සමග කටයුතු කිරීම අවසන් කරමින් එයින් ඉවත් වීමට මම තීරණය කළේ ඒ නිසායි. මම නැවත වරක් මගේ හද පත්ලෙන්ම සමාව ඉල්ලනවා. මම වැරදියි.”
ලූසූ රූපවාහිනිය ද කනගාටුව පළ කරමින් සිද්ධිය සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබෙන්නේ සංවේදී තොරතුරුවල හරි වැරදි පිරික්සා බැලීමකින් තොරව එය පතුරුවා හැරීම පිළිගත නොහැකි දෙයක් බව සඳහන් කරමින්.
මේ හේතුවෙන් මීට වගකිව යුතු සියලු දෙනාගේම රැකියාව අවසන් කිරීමට ලූසූ රූපවාහිනියේ කළමනාකාරිත්වය තීරණය කර ඇති බවත් ෆ්ලොරෙන්සියා පෙනියා සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් එම ආයතනය කියා සිටියා.
මේ මතභේදය හටගත්තේ ඇල්ජීරියාව ට එරෙහිව ආජන්ටිනාව ගෝල් 3-0ක ජයක් ලැබූ තරගයේ මෙසී ‘හැට්-ට්‍රික්’ ගෝල දක්ෂතාවක් වාර්තා කිරීමෙන් පසුව. එම තරගය අතරතුර 38 හැවිරිදි මෙසීගෙන් දිස්වුනේ හැඟීම්බර පෙනුමක්. තමා පාපන්දුවට සම්බන්ධ නැති පෞද්ගලික හේතු මත “අමාරු දවස්” අත්විඳින බව මෙසී තරගයෙන් පසුව කියා තිබුණා.
ඔහුගේ පියා ගැන පළ කළ අසත්‍ය වාර්තාවෙන් ආජන්ටිනාව පුරා විවේචන පැතිර ගිය අතර එම පුවත විකාශනය කිරීමට පෙර එහි සත්‍යතාව පිරික්සා නොබැලීම පිළිබඳව ආජන්ටිනා පාපන්දු ලෝලීන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ අප්‍රසාදය පළ කළා.
එය “වැදගැම්මකට නැති කතාවක්” ලෙස හඳුන්වමින් X වේදිකාවේ සටහනක් තැබූ ආජන්ටිනා ජනාධිපති හබියර් මිලෙයි, මෙය පුරවැසියෙකුගේ පෞද්ගලික ජීවිතයට අදාළ දෙයක් නිසා ඒ තොරතුර හරි වුනත් එය සජීවී වැඩසටහනකින් එසේ ප්‍රචාරය කිරීම දැඩි පීඩාවක් ගෙන දෙන්නක් බවත් පෙනියාගේ ඒ කම්පනයට පත් කරවන හා ප්‍රතිපත්ති රහිත, තහවුරු නොකළ ප්‍රකාශයෙන් අපට මතක් කරන්නේ තමන්ගේ අතේ මයික්‍රොපෝනයක් හෝ පෑනක් තිබූ පමණින් තමන්ට දඬුවමකින් මිදී කටයුතු කළ හැකි බවට සමහරු විශ්වාස කරන නිදහස ගැන බවත් සඳහන් කර තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







