ආබාධයකට ලක්ව සිටින බ්‍රසීල සුපිරි තරුව නේමා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කටයුතු කරන්නේ working from home ක්‍රමයට නිවසේ සිට බවට බ්‍රසීලයේ ජනාධිපතිවරයා චෝදනා කරනවා.
බ්‍රසීල පාපන්දු සංචිතයට නේමා ඇතුළත් කිරීම පිළිබඳ මතභේදය උත්සන්න වෙමින් තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ ඔහු රාජකාරියට පැමිණ ඇත්තේ ඔහු විසින් පිළිගෙන තිබෙනවාට වඩා බරපතල කෙණ්ඩයේ ආබාධයක් සමග වන බැවින්.
හිටපු බාසිලෝනා හා පැරිස් සැන්-ජමෑන් පාපන්දු සමාජ ක්‍රීඩක 34 හැවිරිදි නේමා මොරොක්කෝව සමග පැවති බ්‍රසීලයේ ආරම්භක ලෝක කුසලාන තරගයට ක්‍රීඩා නොකළ අතර හයිටි කණ්ඩායමට එරෙහිව අද පැවති දෙවැනි තරගයටත් සහභාගි වුනේ නැහැ.
තරගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර ලූල (Lula) ලෙසින් දන්නා බ්‍රසීලයේ ජනාධිපති ලුවී ඉනාසියෝ ලූල ඩ සිල්වා (Luiz Inacio Lula da Silva) ආබාධිත පාපන්දු තරුව තදින් විවේචනය කරමින් මෙසේ කියා සිටියා.
“මම ඊයේ යමක් දුටුවා. ඒ, ගෙදර ඉඳන් වැඩ කිරීම සඳහා කැඳවා තිබෙන ලෝකයේ පළමු ක්‍රීඩකයා නේමා බවට. එයා වැඩ කරන්නේ ගෙදර සිටයි.”
“කවදා හරි දවසක අපට කණ්ඩායම් තේරීමක් කෘතිම බුද්ධිය පාවිච්චි කරලා කරන්න සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට අපට පේලේලා 11 දෙනෙක් ඉඳීවි.”
බ්‍රසීලයේ බෙලෝ රිසෝන්චි නගරයේ පැවති උත්සවයකට සභභාගි වීම සඳහා පැමිණ සිටි ජනාධිපතිවරයා, නේමාව බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩිකාව වන මාර්තා සමග සෘණාත්මක ලෙස සසඳමින් තවදුරටත් විවේචනයේ යෙදුනා.
“ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයා නේමා ද කියලා ඔබ මගෙන් ඇහුවොත්, මම යෝජනා කරන්නේ මාර්තාවයි.”
මෙය, ලූල ට පෙර ජනාධිපති ධූරය දැරූ සහ ඔහුගේ මැතිවරණ ප්‍රතිවාදියා වන පොදු ජන අදහස් දරන ජයීර් බොල්සොනාරෝ ට නේමා ප්‍රසිද්ධියේ සිය අනුමැතිය පළ කිරීමෙන් පසුව දෙදෙනා අතර හටගෙන තිබෙන වාග් සංග්‍රාමයේ අලුත්ම වෙඩි මුරය වනවා.
මේ දේශපාලනඥයන් දෙදෙනාට ම අනෙකාව අත්අඩංගුවට ගෙන හිරේ දැමීමේ ක්‍රියාවලිය මෙහෙයවීමේ චෝදනා එල්ල වී තිබෙන අතර වාමාංශික ප්‍රතිපත්ති දරන ලූලගේ චෝදනා අවලංගු කිරීමට පෙර ඔහු මාස 18ක් බන්ධනාගාරගතව සිටියා.
එහෙත් හයිටි සම තරග ආරම්භය සමීප වෙමින් තිබියදී බ්‍රසීල කණ්ඩායමේ සූදානමට හානිකිරීම පිළිබඳව නේමාගේ ක්‍රීඩා ලෝලීන් ජනාධිපතාවරයාට චෝදනා කළා. කෙසේ වෙතත් ගෝල් 3-0කින් එම තරගය ජය ගනිමින් හයිටි කණ්ඩායම ආපසු සියරට යැවීමට බ්‍රසීලය සමත් වුණා.
ඊළඟ තරගයට නේමා එනවා!

මේ අතර ස්කොට්ලන්තය සමග පැවැත්වෙන බ්‍රසීලයේ ඊළඟ තරගයට නේමා ක්‍රීඩා කරනු ඇතැයි බ්‍රසීල පුහුණුකරු කාලෝ ඇන්චලොටි සිකුරාදා රාත්‍රියේ ප්‍රකාශ කළා. එය මේ ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීලය ට නියමිත අවසාන මූලික වට තරගය වනවා.
නේමා අද තනි පුහුණුවීම්වලත්, සඳුදා කණ්ඩායම සමග පුහුණුවීමේත් නිරත වීමෙන් පසුව බදාදා ස්කොට්ලන්තය සමග බ්‍රසීලය ඔවුන්‌ගේ ‘සී’ කොටසේ ක්‍රීඩාව අවසන් කරන තරගය සඳහා සූදානමින් සිටිනු ඇති බව ඇන්චලොටි පවසනවා. පාදයේ ආබාධයට ප්‍රතිකාර ලබන අතරතුර බ්‍රසීල සංචිතයට වාර්තා කිරීමෙන් පසුව මේ දක්වා නේමා කණ්ඩායම සමග සම්පූර්ණ පුහුණු සැසියකට සහභාගි වී නැහැ. නේමා මේ ලෝක කුසලාන තරගාවලිය සඳහා කැඳවිය යුතු ද යනුවෙන් බොහෝ තර්කයන් තිබුණා.
නේමා නැතත් පෙම්වතිය වැඩ...
නේමා ක්‍රීඩා නොකළත් ඔහුගේ පෙම්වතිය ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය ඇද ගනිමින් සිටිනවා.
මොරොක්කෝව සමග පැවති බ්‍රසීලයේ ආරම්භක තරගයේදී නේමාගේ පෙම්වතිය බෲනා බියන්කාර්දි (Bruna Biancardi) දීප්තිමත් ඇඳුමින් සැරසී ඇගේ සිරුර ප්‍රදර්ශනය කරමින් සිටියා.
නේමා එම තරගය සඳහා නම් කර නොතිබුනත් ඔහු බ්‍රසීල සංචිතයේ ආධාරක කණ්ඩායම සමග නිව්යෝක් නුවර මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයට පැමිණ සිටියා.
ඔහුගේ ජීවන සහකාරිය හා දියණියන් දෙදෙනා ද ගෝල් 1-1ක් ලෙස සමව අවසන් වූ එම තරගයට පැමිණ සිටි අතර තරගය පැවැත්වෙද්දී 32 හැවිරිදි මේ කාළ වර්ණ කෙස් ඇත්තී ක්‍රීඩා මණ්ඩපයේ ‘චියර්’ කරමින් සිටියේ පිටියේ දර්ශනය ඇය වෙතට සොරා ගනිමින්.
පපුව විවර වන සේ හිරට අඳින ලස්සන මෝස්තරයක බ්‍රසීලියානු වර්ණ සහිත ගවුමක් ඇය පැළඳ සිටියා. මුහුණ අලංකාරයෙන් සරසාගෙන සිටි මේ නිරූපිකාවගේ රත්තරං තෝඩු හා මාලය දිලිසෙමින් තිබුණු අතර ඇය අසල සිටි ක්‍රීඩා ලෝලීන් විටින් විට ඇගේ විශාල පියයුරු දෙස හොරෙන් බලමින් සිටියා.
තරගය නැරඹීම සඳහා බෲනා ඇයගේ මිතුරියන් සමග ෆ්ලොරිඩා සිට පැමිණ සිටියේ නේමාගේ පෞද්ගලික ගුවන් යානයෙන්.
මිලියන 15කට අධික ‘ඉන්ස්ටග්‍රෑම්’ අනුගාමිකයන් පිරිසක් සිටින බෲනා බියන්කාර්දි නිරන්තරව ඔවුන් උන්මාදයට පත් කරන්නේ සිත් වසඟ කරන ඇගේ රූසපුව ප්‍රදර්ශනය කරන ඡායාරූප පෝස්ට් කරමින්.
‘ලෝක කුසලානයේ රැජින’ ලෙසින් සමහරු ඇයව හඳුන්වන අතර තවත් සමහරුන්ට ඇය ‘බ්‍රසීලයට හය වැනි ලෝක කුසලානය ගෙන එන කාන්තාව’ යි.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







