වසර 68ක් ඇතුළත වැඩිම වේගයෙන් ගෝල් 100ක් වාර්තා වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බවට දැන් පැවැත්වෙන තරගාවලිය පත්ව තිබෙනවා.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 1958 වසරෙන් පසුව ප්‍රථම වතාවට වැඩිම වේගයෙන් ගෝල් 100ක් සටහන් කර තිබෙන අතර එම කඩඉමට පිවිසියේ එහි 33 වැනි තරගයේ.
ස්වීඩනය ට එරෙහිව සෙනසුරාදා ලැබූ ගෝල් 5-1ක ජයග්‍රහණයේදී නෙදර්ලන්තයේ සිවු වැනි ගෝලය ලබා ගනිමින් ලිවපූල් සමාජ කණ්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩක Cody Gakpo ශතක ගෝලය වාර්තා කළා.
ඉලක්කම් තුනේ ගෝල් සංඛ්‍යාවක් කරා පිවිසීම පිණිස ලෝක කුසලාන තරගාවලියකට තරග 33ක් වැය වූ වසර 68ක් තුළ පළමු අවස්ථාව මෙය වනවා.
මීට වඩා වේගවත් වූ එකම තරගාවලිය වන්නේ 1954 වසරේ ස්විට්සලන්තයේ පැවති ලෝක කුසලානය. බටහිර ජර්මනිය ජයග්‍රහණය කළ එම තරගාවලියේ ගෝල් 100 සම්පූර්ණ වීමට ගතව තිබෙන්නේ තරග 20ක් පමණයි.
2014 වසරේ බ්‍රසීලයේ පැවති තරගාවලියේ ගෝල් 100 වාර්තා වන විට තරග 36ක් ක්‍රීඩා කර තිබූ අතර 1982 තරගාවලියේ ද එම තරග ප්‍රමාණය ම ගතව තිබුණා.
1978 ආජන්ටිනා සහ 1994 අමෙරිකා ලෝක කුසලාන තරගාවලියන් හිදී ගෝල් ශතකයක් වාර්තා වීමට තරග 38ක් පවත්වා තිබුණා.
අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාව සම-සත්කාරකත්වය දරන මේ 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තරගයකට ගෝල් 3.09ක් බැගින් වන සාමාන්‍යයක් පවත්වා ගෙන යන අතර මේ අනුව මෙවර තරගාවලිය ගෝල් 300 පසු කිරීමේ මාර්ගයට අවතීරණව සිටිනවා. මීට සිවු වසරකට ඉහත කටාර් හි පැවති ලෝක කුසලාන තරගාවලියේ ගෝල් වාර්තා වී තිබුණේ තරගයකට ගෝල් 2.69ක් බැගින්.
ජූනි 11 වැනිදා දකුණු අප්‍රිකාව ට එරෙහි ගෝල් 2-0ක ජයග්‍රහණයකදී මෙක්සිකෝවේ Julian Quinones ලබා ගත් ගෝලයෙන් මෙවර තරගාවලියේ ගෝල් වාර්තා වීම ඇරඹුනා. එදා මෙක්සිකෝ නගරයේ පැවති ඒ සමාරම්භක තරගයෙන් පසුව ගෝල් පියාසර කරමින් තිබෙනවා.
ජර්මනිය මේ තරගාවලියට පළමු වරට සහභාගි වන කියුරසාවු පිල ගෝල් 7-1කින් ජූනි 14 වැනිදා හියුස්ටන් හි පරාජය කිරීමේ සිට ඊට සිවු දිනකට පසුව වැන්කුවර් හිදී කැනඩාව ගෝල් 6-0කින් කටාර් දේශය පැරදවීම දක්වා ගෝල් වාර්තා වී තිබෙන්නේ විශාල ප්‍රමාණයෙන්.
මේ අතර, මේ තරගාවලියේ මෙතෙක් ගෝල් නැති තරග වාර්තා වී තිබෙන්නේ ඉතාමත් අඩුවෙන්. තරග 104ක් දක්වා අලුතින් ප්‍රසාරණය වී තිබෙන තරගාවලියේ තරග 33ක් අවසන් වන විට ගෝල් රහිත තරග සටහන්ව තිබෙන්නේ එකක් පමණයි.
එය 2010 ලෝක ශූරයින් වන ස්පාඤ්ඤය සමග ජූනි 15 වැනිදා ඇට්ලන්ටා හි පැවති තරගය ගෝල් රහිතව අවසන් කර ගැනීමට සමත් වූ මේ තරගාවලියට පළමු වරට සහභාගි වන තවත් රටක් වන කේප් වර්ඩ් ට අමතක නොවන රාත්‍රියක්. කණ්ඩායම් 48ක් දක්වා වැඩි කර තිබෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට මංගල වතාවට සුදුසුකම් ලබා සිටින අනෙක් රටවල් දෙක වන්නේ ජෝර්දානය හා උස්බෙකිස්තානය.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ශ්‍රේණිගත කිරීම්වල 68 වැනි ස්ථානයේ සිටින ජෝර්දානය ඔවුන්ගේ ලෝක කුසලාන මෙහෙයුම ඔස්ට්‍රියාව හමුවේ ගෝල් 3-1ක පරාජයකින් ආරම්භ කළ අතර උස්බෙකිස්තානය ඒ ප්‍රතිඵලයෙන් ම කොලොම්බියාව ට පැරදුනා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







